ධම්මසඞ්ගණිප්පකරණය 1


නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස





මොකක්ද මේ ධම්මසඞ්ගණිප්පකරණය කියන්නේ





පින්වත් ස්වාමින් වහන්ස, අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අභිධර්ම පිටකයට අයත් ධම්මසඞ්ගණිප්පකරණයයි. ධම්මසඞ්ගණිප්පකරණය ඉගෙන ගන්න බලාපොරොත්තුවන තැනැත්තා තුළ මුලින්ම පටිච්චසමුප්පාදය හා හේතුඵල දහම පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. නැතිනම් මේ කාරණා ටිකත් පාඩමක් විදිහට ඉගෙන ගනියි මිසක තමන්ගේ ජීවිතයට යොදාගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධම්මසඞ්ගණිප්පකරණයෙන් පැහැදිලි කරන්නේ අපි මේ ජීවත්වෙනවා කියන සිද්ධිය තුළ ඇති යථාභූත ස්වභාවයයි.





එහිදී විස්තර වන ධර්මතා අප තුළින් දැක්කේ නැත්තම් මේක පාඩමක් විතරක් වෙයි. ඒ නිසා දර්ශනයක් විදිහට මේ කියන කරුණු ඉගෙනගෙන තිබීම වැදගත් වෙනවා. ඒ අනුව අවිද්‍යා, කර්ම, තණ්හා ආහාර කියන හේතුවලින් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන කියන ආයතන හය හැදුන හැටිත්, චක්ඛු ආදී එම ආයතන නිසා අපිට මේ ලෝකය හම්බවෙන හැටිත්, නැවත ඒ සිද්ධාන්තයම නොදන්නාකම නිසා අවිද්‍යා, කර්ම, තණ්හා ආහාර කියන කාරණා ටිකෙන් යළිත් අනාගත ඵලයක් ගෙනදෙන හැටිත් පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඒ කාරණාව ටිකක් විමසා බලමු.





මේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන කාරණා ටිකම තමයි තව පැත්තකින් ගත්තොත් පටිච්චසමුප්පාදයේ "අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං" කියන පෙළෙන් පෙන්නන චක්ඛු ආදි ආයතන හැදෙන හේතු ටික. ඒ ආයතනයන්ගෙන්ම ඔසවපු, ඒ ආයතනයන්ගෙන්ම ප්‍රකට වුනු, රූප, ශබ්ද, ගන්ධාදි අරමුණු ටිකක් තමයි ලෝකයක් කියලා අපිට හම්බවෙන්නේ. ඒ ටිකයි ලෝකය කියලා පරිහරණය කරන්නේ කියලා යම්කිසි කෙනෙක් දැනගත්තොත්, එළඹ සිටි ඥාණ දර්ශනයක් ඇති කරගත්තොත්, ඒකෙන්ම එයාට අවිද්‍යාව නිරුද්ධ වෙනවා. වර්තමානයේදී එයාට ඒ අරබයා සංඛාර නිමිති හිටින්නේ නැහැ. අවිද්‍යාව හේතුවෙන් සංඛාර නිමිති ඉතිරි වුනොත් ජරාමරණ දුක් වළක්වන්න නොහැකි වෙනවා.





තව පැත්තකින් ගත්විට ලෝකයා ජරාමරණ දුකමයි විඳින්නේ. ඒ ජරා මරණ දුක් විඳින ලෝකයා, ඒ ජරා මරණ දුක එන නිමිතිම අරගෙන, ඒවා තණ්හා මාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගෙන නැවත එබඳු ලෝකයක ඉපදිලා යළිත් දුක් විඳිනවා. ඉතින් මේ ලෝකයා දුකෙන් එතෙර කරවන්නමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවුනේ. උන්වහන්සේ පහළවෙලා, ‘තියෙන ලෝකයක හෝ තිබුනු ලෝකයක් හෝ ලෝකය තියෙන තැනක හෝ ඉන්නවා’ කියන මානසික මට්ටම අයින් කරලා මේ පටිච්චසමුප්පාදය හරහා පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නැතිවෙනවා ‘අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති’ යනුවෙන් ''නිමිති නො හිටින විදිහට'' මේ ධර්මතා ටික පෙන්නුවා. ඒක අපි ටික ටික ඉදිරියට තේරුම් ගන්න ඕනේ. ඒ දර්ශනය දැනගත් පමණින්ම, ඒ කියන්නේ ‘හටගත්ත හැමදෙයක්ම නැතිවෙනවා’ කියලා පෙන්නුවාට, ඒක අපිට පෙනෙන්නේ නැහැ.





කුමක් නිසාද කෙලෙස් ඇතිවෙන්නේ?





පටිච්චසමුප්පාදය නිසා ආයතන ටික හැදිලා, ආයතන ටිකෙන් උපද්දපු ධර්ම ටිකකුයි රූප, ශබ්ද…. කියලා අපිට විද්‍යමාන වෙන්නේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නාට, ඒක අපිට එකවිටම පෙනෙන්නේ නැහැ. අපිට හම්බවෙන්නේ ‘කලින් තිබුනු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ පසුව උපන්න ඇහැකින් බලනවා’ වගේ, ඒවා හැමකල්හිම තියෙනවා වගේ, තියෙන රූපය ඇහැට ගැටෙනවා වගේ, ඒවගේම කන හටගත්තහම කලින් තිබුනු ශබ්දය ගැටෙනවා වගේ අපිට තේරෙන්නේ. එතකොට මෙහෙම අපිට තේරෙන මට්ටම තමයි මුළු කාම, රූප, අරූප යන තුන් භූමියේම ඒ ඒ මට්ටම්වලට අනුව ඒ ඒ ආකාරයෙන් ලෝකයාට ‘ඇති බවට’ හමුවෙන්නේ. ඒ ඇති බව මතයි කෙලෙස් ඇතිවෙන්නේ.





ඒ බව භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා, ‘ඔය දකින විදිහ වැරදියි, මෙන්න මේකයි ඇත්ත’ කියලා, ‘චක්ඛාදි ආයතන හේතුන්ගෙන් හටගෙන, එම ආයතන නැතිවෙනකොට නැතිවෙන ධර්මතා’ ටිකක් පෙන්නුවා. මේ ආකාරයෙන් පෙන්නුව පමණින් දකින්න බැහැ. දැන් මේ දර්ශනය අහගත්ත පමණින් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැති හේතුව මොකක්ද? දැන් ස්කන්ධ ටික තියෙන්නේ කෙලෙස් එක්ක. ඒ කියන්නේ නීවරණ එක්ක. නීවරණ විතරක් නෙවෙයි. අනුශය හැරෙන්න අවශේෂ කෙලෙස් ටික ඔක්කොම දකින්න.





ජරාමරණ දුක නැතිවීමට





ස්කන්ධ පරියාපන්න වෙන්නේ ක්ලේශ අනුශය විතරයි. අවශේෂ කෙලෙස් නැහැ. මොකද, ස්කන්ධයන්ගේ උත්පත්ති ක්ෂණයේදී අනුශය ධර්ම විතරයි අනුසය වෙලා තියෙන්නේ. අනිත් කෙලෙස් නැහැ. අනිත් කෙලෙස් ආගන්තුක ඒවා. ස්කන්ධ පරිහරණයේදී ආගන්තුක කෙලෙස් නැතිවුනොත් හිත පිරිසිදුයි. එහිදී ‘මෝහ ස්වභාවය හෙවත් ඇත්ත නොදකිනකම විතරයි’ ඉතුරුවෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇත්ත දකින්න. දැක්කහම තමයි ඒ අනුශය කියන එක නැතිවෙන්නේ. ඒ ඇත්ත දකිනවා කියන්නේ ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැතිවෙනකොට නැතිවෙනවා කියන ස්කන්ධ නිරෝධය දැකීමයි. එහෙත් අපිට ඒ ඇත්ත දකිනවා කියන එකට ඉඩක් නො ලැබෙන්නේ මොකක් නිසාද? 'සංකිලේසි' බව නිසා හෙවත් කෙලෙස් සහගත බව නිසායි.





ධම්මසඞ්ගණිප්පකරණය කුමක් පිණිසද





එතකොට මේ කෙලෙස් සහගත බව යම් වෙලාවක නැතිවුනොත් ඇත්ත දකින්න පුළුවන්. මෙලෙස ඇත්ත දැකීමෙන් ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වීමත් සමඟ ජරා මරණ දුක නැතිවෙනවාමයි. ඒ නිසා මේ කෙලෙස් ටික නැතිකරන්න ඕනේ නම් ‘සත්ත්වයා, පුද්ගලයා’ කියලා ඇතිවෙන කෙලෙස් ටික නැතිකරන්න ඕනේ. ඉස්සෙල්ලාම පුද්ගලයා, සත්ත්වයා කියලා කියන තැනක මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නේද තියෙන්නේ කියලා දැකලා, ඒ සත්ත්ව පුද්ගල භාවය මත පිහිටීමෙන් ඇතිවෙන කෙලෙස් ටික නැති කරන්න තමයි මේ ධම්මසඞ්ගණිප්පකරණය තියෙන්නේ; දුක පිරිසිඳ දැකීම සඳහායි.





අනුශය ස්වභාවය රූපාදි ස්කන්ධ පඤ්චකය මත පතිතවෙලා තියෙනවා. මේ හේතු ටික නිසාමයි හටගන්නේ, මේ හේතු ටික නැතිවෙනකොට නැතිවෙනවා කියන දර්ශනය දැකීමෙන්මයි ඒ අනුශය ටිකත් නැතිවෙන්නේ. එතකොට දුක් වූ ස්කන්ධ ටිකත් එක්කමයි ඒ අනුසය ධර්මතා ටික නැතිවෙලා තියෙන්නේ. මේ ධම්මසඞ්ගණිප්පකරණය තියෙන්නේ සත්ත්වයා පුද්ගලයා කියන කාරණාව තුළ ප්‍රකටව පවතින සත්ත්ව පුද්ගලභාවය නිසා ඇතිවෙන කෙලෙස් නැති කරන්නයි. ස්කන්ධ ටිකක පැවැත්ම සිදුවෙන තැනක තියෙන හේතු ටිකක් තියෙනවා නම්, ඒ ටික තබලා අවශේෂ සියලුම කෙලෙස් ටික, ඒ කියන්නේ අනුශය කියන ධර්මතාවය තබලා අවශේෂ කෙලෙස් ඔක්කොම නැතිකරන්න පුළුවන් මෙතැනින්. අනුශය වශයෙන් ඉහතින් දැක්වූ කෙලෙස් ටික නැති වෙන්නේ ලෝකෝත්තර මාර්ග දර්ශනයකින්.





ඒ නිසා දුක පිරිසිඳ දකින්න. සත්ත්වයා පුද්ගලයා කියලා හටගන්න සිද්ධිය පිරිසිඳ දකින්න තමයි මේ ධම්මසඞ්ගණිප්පකරණය දේශනා කරලා තියෙන්නේ. මෙහිදී විස්තර කරලා තියෙන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම ගැනයි. ඒ අතරින් චිත්ත, චෛතසික, රූප යන තුන අයත් වන්නේ සංඛත පරමාර්ථ ධර්මවලටයි. නිබ්බාන නමැති සතරවන පරමාර්ථය අයත් වන්නේ අසංඛත පරමාර්ථයටයි. මේ සතර පරමාර්ථ සම්පුර්ණයෙන් ඉගෙන ගත්තොත් අපේ ජීවිත තුළ සැබෑ ලෙස පවතින්නේ චිත්ත, චෛතසික, රූප යන සංඛත පරමාර්ථ ටික බව අවබෝධ වෙනවා.





ඒ අර්ථය සම්පාදනය කරගෙන, ඒ අර්ථයට ඇවිල්ලා සත්ත්ව පුද්ගලභාවය තුළ ඉඳන් ඇතිවෙන ක්‍රියාකාරකම් ටික අතහැරෙන්න ඕනේ. එතකොට අසංඛත පරමාර්ථ ධර්මයට හිත තියලා යම් සත්ත්ව පුද්ගල බව නියෝජන වෙන ස්කන්ධ ටිකක් තියෙනවා නම් ඒ ටිකෙන් මිදෙන්න පුළුවන්. මෙලෙස ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායන්වල ''ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො'' යනුවෙන් දැක්වෙන ස්කන්ධයන්ගේ ලැබීමක් තියෙනවා නම්, ආයතනයන්ගේ පහළවීමක් තියෙනවා නම්, ඒ ටික අත්හරින්න වෙන්නේ අසංඛත පරමාර්ථය වූ නිවනට හිත තියලා. මේ ටික කියන්න ඉස්සෙල්ලා මම දළ වශයෙන් උපමාවක් කළොත් මෙහි අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.





ලස්සන උපමාවක්





අපි කියමු මහාසමුද්‍රය මැද්දේ දිවයිනක් තියෙනවා. දැන් මේ දිවයිනේ ගොඩබිම මැද්දේ පුරුෂයෙක් ඉන්නවා කියලා කියන්නකෝ. මේ ගොඩබිමේ ඉන්න පුරුෂයාට මේ ගොඩබිමේ තියෙන ගස්, වැල්, කඳු, ගොඩැලි, වළවල්, පර්වත ආදී මේ හැම දෙයක්ම දැකීම නිසා එන්නේ පීඩාවක්, දුකක් නම්, ඒවායේ ශබ්ද ඇසීමත් දුකක් නම් ඒවා නිසා ඒවායෙන් ඇතිවෙන ගන්ධයත් මහා දුකක් නම්, ඒ ගස් ගල් ගොඩැලි කෝටු කැටකැබිලි වැදීම නිසාත් එන්නේ දුකක් නම්, ඊට පස්සේ මනසටත් දැන් අරමුණු වෙන්නේ හැමවෙලේම ඇහෙන් දැකපු ගස් වැල් ගොඩැලි කෝටු, කැට කැබිලි නම්, මනසට අරමුණු වෙන්නේ හැමවෙලේම ගස්, වැල්, ගොඩනැගිලි, පර්වත ආදියේ ඇහුනු ශබ්දයමයි නම් සිහිවෙන්නේ. ඒවා නිසා එන කටුක රසයක්මයි සිහිවෙන්නේ.





ඒවා නිසා එන කටුක ස්ඵර්ශයමයි සිහිවෙන්නේ කියලා මනසත් මේකටම නැමිලා නම්, ස්ඵර්ශ ආයතන හයෙන් දැන් මේ පුද්ගලයා පීඩා විඳිමින් ඉන්නේ කියන්නකෝ. දැන් මේ දිවයින මැද්දේ දකින දර්ශනයකිනුත් මෙයාට දුක, අහන දෙයිනුත් දුක, ගඳ සුවඳ දැනෙන දෙයිනුත් දුක, රස විඳින දෙයිනුත් දුක, ස්ඵර්ශය දැනෙන දෙයිනුත් දුක, හිතෙනුත් දුක. මොකද, දැන් හිතට මෙයා දැකපු අහපු දැනුනු දේවල් මිසක වෙන එන්න තැනක් නැහැ.





එතකොට පහුකාලයේදී මෙයාට මඟක් හම්බෙනවා. ඒ මාර්ගය ඔස්සේ මේ දුක් වේදනා විඳගෙන, විඳගෙන ඒ අඩිපාර දිගේම ඉදිරියට එනවා. මෙලෙස දිවයින මැද්දේ ඉඳලා දිවයින කෙලවරට ඇවිල්ලා මුහුදු වෙරළේ වතුරත් කකුලේ වැදෙමින් මුහුද දිහාම බලාගෙන හිටගෙන ඉන්නවා. දැන් මෙයාට මුහුද දිහා බලාගෙන ඉන්න නිසා ඇහෙන් ගස්-කොළන්, වැල්-මුල් දැකලා එන දුකක් නැහැ. දැන් දුක් සහිත පරිසරයෙන් මිදිලා වෙරළ අයිනට ඇවිල්ලා නිසා එබඳු කටුක ශබ්ද නිසා, එබඳු ගඳ නිසා, එබඳු රස නිසා, එබඳු ධර්මයක් ස්ඵර්ශ වෙලා එන දුකක් නැහැ. හිතට සිහිවෙන්නේ, සිහි කරන්නත් පුළුවන් දැන් මුහුදම විතරයි. ඒ නිසා එයින්ද එන දුකක් නැහැ. හැබැයි තවම මෙයා හිටගෙන ඉන්නේ ගොඩබිමමයි.





ලෝකයාට දුක එන හැටි





කලින් දිවයින මැද්දේ ඉන්නකොට කැටකැබලිත් ඇඟේ වැදුනා නම්, ගලක් මුලක් ඇඟේ වැදුනා නම්, දැන් හිටගෙන ඉන්නකොට එබඳු ඇඟේ වැදීමක් කියන්න බැහැ. එයා වෙරළේ සිටින බව මිසක අමුතුවෙන් හැපෙන එකක් නැහැ. ඒ ගොඩබිම වගේ දකින්න කාම, රූප, අරූප යන තුන්භූමිය. දිවයින මැද්දේ ඉන්න පුරුෂයා වගේ තමයි සත්ත්වයා. ඒකේ ඇහෙන් දකින රූපය - ප්‍රියයි මනාපයි නම් ඒක නැතිවීමෙන් දුකට පත්වෙනවා. දකින රූපය අප්‍රිය අමනාප නම් ඒකේ ඇතිවීමත් දුකයි, ඇහැ නිසා ප්‍රිය-විප්‍රයෝග දුක්ඛයක් හෝ අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛයක්මයි ලැබෙන්නේ. ලෝකයා නොදන්නවා වුනාට ඕකමයි ඇත්ත. කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතනවල තියෙන්නෙත් ඔය ධර්මතා ටිකමයි.





ලෝකය තුළ රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම කියන මේ අරමුණු ටික දකින්න පුරුෂයා දිවයින මැද්දේ ඉන්නවා වගේ. දැන් ඒවා නිසා පීඩාවට දුකට පත්වෙලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොහුට ''අඩිපාරක් හම්බවුනා වගේ'' දකින්න. දැන් මේක තියෙන්නෙත් ගොඩබිම හරහා තමයි. ඔහොම ඔහොම කෙළවරට ඇවිල්ලා, එන්න තිබුන අඩිපාරත්, කෙළවරට ආපු ටිකත් දකින්න ''ආර්ය අෂ්ටාංගික මාර්ගය'' හැටියට. දැන් මේ වෙරළේ හිටගෙන ඉන්නවා, කකුලේද වතුර වැදී වැදී, මුහුද දිහා බලාගෙන වගේ දකින්න, "අපරියාපන්න භූමිය”. ඒක සංඛතයි.





මෙයා පොළොවේ මතයි හිටගෙන ඉන්නේ. හැබැයි පොළොවේ හිටගෙන හිටියාට එයාට අරමුණු වෙලා තියෙන්නේ මුහුදයි. ඒ වගේ සංඛත චිත්ත චෛතසික උදව් කරගෙන එයාට ප්‍රකට වෙන්නේ නිවනයි. ඒකට කියනවා සෝපදිසෙස නිබ්බාන හෙවත් ස්කන්ධ ඉතිරිවක් සහිතව නිවන් දැක්කා කියලා. ඒ කියන්නේ, පොළොවේ චුට්ටක් ඉතුරුවක් ඇතුවම මුහුද දකිමින් ඉන්නවා වගේ. එතකොට වතුරත් කකුලේ වදිනවා. ඒ වගේ නිවනේ සිසිල් බවත් දැනෙනවා. ඒ නිවන ද හොඳට ස්පර්ශ වෙනවා. ඒ නිසා අර ගොඩබිම මැද්දේ ඉන්නකොට වුනු දුක්දොම්නස් එකක්වත් මෙයාට නැහැ.





නමුත් මේ පොළොව උඩ ඉන්න මට්ටම තව පැත්තකින් ගත්තහම, දිවි කෙළවරකොට ඇති වේදනා, කය කෙළවරකොට ඇති වේදනා විඳින්න වෙනවා. ඒ පොළොව ඉන්න ටිකේ තව පොඩි දුකක් තියෙනවා. නමුත් වැඩි දුක අතහැරියා. යම් කලෙකදී වෙරළෙනුත් අයින්වෙලා මුහුදටම පනින අදහසින් ඉන්නේ. ඔන්න මුහුදටම පැන්නා හෝ මුහුදටම වැටුනා කියන්නකෝ. එදාට සම්පූර්ණයෙන් මේ ගොඩබිම නිසා එන දුක ශේෂයක් නැහැ. මුහුදටම පැන්නා වගේ තමයි ''අනුපාදා පරිනිර්වාණය''.එතකොට ඉස්සරවෙලා මේ ධම්මසඞ්ගණියෙන් පෙන්නනවා, දිවයින මැද්දේ ඉන්න පුරුෂයා වගේ තමයි (ධම්මසඞ්ණිප්පකරණය) ඉගෙනගන්න කෙනා, යෝගියා. එයාට ඉන්න තැන, ඒ භූමිය ගැන හොඳට පෙන්වනවා.





පිරිසිඳ දකින්න පෙන්නලා, ඊටපස්සේ අපරියාපන්න භූමිය කියන එකත් පෙන්නනවා. මුහුද අරමුණු කරලා, මුහුදට පැනලා වෙරළේ ඉන්න දුකෙන් ද මිදිය යුතුයි. ඒ වගේ, 'අපරියාපන්න භූමියට' පැමිණිලා, 'අපරියාපන්න භූමියේ' පිහිටලා, තුන් භූමියෙන්ම එන දුකෙන් මිදිය යුතුයි. නිවන අරමුණු කරලා, නිවනටම පැමිණිලා, මේ 'ස්කන්ධ පරිහරණ දුකෙන්ද මිදිය යුතුයි' කියන අර්ථයක් මේකේ තියෙන්නේ.





එතකොට පුද්ගලභාවය නිසා ඇතිවෙන ක්‍රියාකාරකම් අඩුවෙන්න මේ 'තුන් භූමිය' (කාම, රූප, අරූප) හොඳට පිරිසිඳ දකින්න ඕනේ. ඒ පිරිසිඳ දකින්න තමයි බුදුරජාණන් වහන්සේ මේ සංඛත ධර්මතාවය (සතර භූමිය) තුළ තියෙන, (අසංඛතය උගන්වන්න බැහැ, ඒක සාක්ෂාත්වෙන්න ඕනේ එකක්) ධර්මතා ටික එකතු කරලා පෙන්නන්නේ. ඒ ධර්මතා ටික සංග්‍රහ කරලා පෙන්නන එකට කියනවා "ධම්මසඞ්ගණිය'' කියලා. කර්ම විපාක ආදි වශයෙන් වචන 266 ක් උදව් කරගෙන මේ සංඛත ධර්මතාව (සතර භූමිය) තුළ ඇති ධර්මතා ටික පෙන්නනවා. ඒ ධර්මතා ටික පෙන්නන ක්‍රමය ඔක්කොම සංග්‍රහවෙලා තියෙන නිසා මේකට ''ධම්මසඞ්ගණිය'' කියලා කියනවා.





වචන 266 ක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා, ඒකෙදී ''තුනේ කාරණා'' (තික මාතිකා) 22කුත්, ''දෙකේ කාරණා'' (දුක මාතිකා) 100 කුත් වශයෙන් පෙන්නලා, ඒ වචනවල අර්ථය මොකක්ද කියලා බලාගන්න වචනවල ඇතුළත්වූ ඒ පදයේ තියෙන අර්ථය පෙන්වන "නික්ඛෙප" කාණ්ඩය පෙන්නලා, කුමන තැනකද ඒක විද්‍යමාන වෙන්නේ/තියෙන්නේ කියන තැන පෙන්නන අට්ඨකථාව පෙන්නලා, මේක අවසන් කළා. අපට දක්නට ලැබෙන ධම්මසඞ්ගණිප්පකරණයේ විස්තර වන මාතිකා 266 අතුරින් දක්නට ලැබෙන්නේ (සංඛත ස්වභාවය දැකිය හැකි ආකාරයට විස්තර කරන ලද) මාතිකා තුනක විස්තර විභාගයක් පමණයි. ඒ අනුව ඉතිරි මාතිකා විස්තර කරගන්න ඕනේ ආකාරයත් නික්ඛෙප කාණ්ඩය හා අට්ඨකථා කාණ්ඩයේ කෙටියෙන් දක්වලා තියෙනවා.





** පළමු තික මාතිකාව





ඒ මාතික 266න් පළවෙනි තික මාතිකා කුසලාධම්මා, අකුසලාධම්මා, අව්‍යකතාධම්මා කියන මාතෘකාව ලිහලා පෙන්නුවා සතර භූමිය ප්‍රකටවෙන විදිහට මේ ධර්මතා ටික බලාගන්න ආකාරය. ඒක ලිහලා පෙන්නුවා ''කුසලා ධම්ම'' කියන්නේ මොනවාද කියලා. කාම, රූප, අරූප, ලෝකෝත්තර කියන මේ භූමි සතරේ ම ඇති කුසලධර්ම ටික, ඒවායේ තියෙන ගති ටික, මෙන්න මේවාටයි කුසල ධර්ම කියලා කියන්නේ මේවාටයි කියලා පෙන්නුවා. 'අකුසල' කියන්නේ මොනවාද? මෙන්න මේ කාමභූමියේ තියෙන දොළොස් ආකාර අකුසල සිත්වලටයි කියලා පෙන්නුවා.





අව්‍යාකත කියලා කිව්වේ, ''ව්‍යාකෘත නොකරන ලද'' යන අදහසයි. ව්‍යාකෘත නොකරන ලද කියලා කියන්නේ, කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ නොකියන ලද අර්ථයෙනුයි. ඒ කියන්නේ කාම, රූප, අරූප, අපරියාපන්න යන සතරභූමි අනුව ගිය විපාක, ත්‍රෛභූමික ක්‍රියා, සියලු රූප හා අසංඛත ධාතුවයි. කාමභූමියෙත්, රූප භූමියෙත්, අරූප භූමියෙත්, ලෝකෝත්තර භූමියෙත් තියෙන 'විපාක' කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් කිව්වේ නැහැ. ඒ නිසා "විපාක, අව්‍යකත" කියන ධර්මතා පෙන්නලා, ඊටපස්සේ කාම, රූප, අරූප කියන තුන් භූමියේ තියෙන 'කුසල වශයෙන්/අකුසල වශයෙන් කිව්වේ නැති' ක්‍රියා සිත් කියන ටිකත් පෙන්නනවා.





ඔය ටිකට කිව්වා ''චිත්ත කාණ්ඩය'' කියලා. නමුත් තවම මේ මාතෘකාව විස්තර කරලා ඉවර නැහැ. ඊටපස්සේ, අව්‍යාකත වූ රූපයත්, අසංඛත ධාතුවත් පෙන්නලා, කුසලා ධම්මා - අකුසලා ධම්මා - අව්‍යාකතා ධම්මා කියන මාතෘකාව පුරවනවා. ධම්මසඞ්ගණිප්පකරණයේ - චිත්ත කාණ්ඩයේ ඉඳලා රූප කාණ්ඩය දක්වා මේ ටිකේ තියෙන්නේ කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා කියන මාතෘකා විස්තර කිරීමකුයි.මේකෙදී පෙන්නන්නේ, මෙන්න මෙහෙමයි අනිත් මාතිකාවල වචන 266 බලාගන්න ඕනේ කියලා, අනිත් අවශේෂ ධර්මයෝත් මේ වගේ බලාගත යුතුයි කියලා න්‍යාය තියලා නික්ඛේප කාණ්ඩය අතහරිනවා. 'නික්ෂේපයි' කියන්නේ අවසන් කරනවා.





එතකොට ඔය ටික බෙදලා පෙන්නුවා. පෙන්නලා දැන් කුසලාකුසල අව්‍යාකත ධර්මයෝ කියන්නේ මොනවද කියන වචනයේ තේරුම යන විදිහට නික්ඛේප කාණ්ඩයෙන් වචන තෝරලා පෙන්නුවා. ඊටපස්සේ ඒ සියලු කුසල ධර්මත්, අකුසල ධර්මත් මොන තැනකද තියෙන්නේ කියලා අට්ඨකථා කාණ්ඩයෙන් පෙන්නනවා. අර්ථය කියන්නේ මේ ඔක්කෝගේම අවසානයට ආපු උත්තරයයි. එතකොට මුළු ධම්මසඞ්ගණියම පද 266 කට මාතෘකා තබලා තියෙනවා. නික්ඛේප කාණ්ඩයේ සූත්‍රභාජනීය ක්‍රමයට අනුව, පුද්ගලභාවය තුලින්, පුද්ගලභාවයකට දකින්න පුළුවන් වචන ටිකකුත් තියෙනවා. තව පැත්තකින් ගත්තොත්, දුක - සමුදය - මාර්ගය කියන ධර්මතා ප්‍රකටවෙන වචන ටිකක් තියෙනවා.





මම මතක් කළේ අභිධර්ම පිටකයට අයිතිවෙන වචන ටික ගැනයි. පද 226 මේ විදිහට මාතෘකා කරලා විශේෂයෙන් චිත්ත කාණ්ඩයේ සිට රූප කාණ්ඩය දක්වාම මේකෙන් විස්තර කිරීමෙන් අනතුරුව එන 'නික්ඛෙප' කාණ්ඩය හා 'අට්ඨකථා' කාණ්ඩයෙන් මේක ඒ විස්තර කරපු එකේ වචනයත් තියෙන තැන පෙන්නලා අවසන් කළා. ඒ විදිහට අනෙක් මාතෘකා ගැනත් නයමුඛයක්, පෙය්‍යාලමුඛයක් අපට දීලා, ඒ මාතෘකාත් මේ වගේ බලාගන්න කියලා කියනවා. තේරුනා නේද? යම්කිසි කෙනෙක් සංඛතය (සතරභූමිය) මනාකොටම දැනගන්න අවශ්‍ය නම්, මෙන්න මේ පද 266ම මෙන්න මේ පරියායයන්ට ආදේශ කරලා දැනගන්න ඕනේ. එතකොට ඔහු දන්නවා හොඳටම සතරභූමිය ගැන.





එතකුදු වූවත් කෙනෙකුට එක් එක් පරියායකින් සතරභූමිය දැනගන්නත් දැකගන්නත් පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට සැප වේදනා සම්ප්‍රයුක්ත ධර්මයෝ, දුක් වේදනා සම්ප්‍රයුක්ත ධර්මයෝ, අදුක්ඛමසුඛ හා යෙදුණ ධර්මයෝ වශයෙන් දැනගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම්, කෙනෙකුට විපාක ධර්මයෝ; විපාක ධම්මාධම්ම, නෙව විපාක න විපාක ධම්මාධම්ම කියන පර්යායයෙන් අර්ථය දැනගන්නත් පුළුවන්. මේ ආදි ඕනෑම පර්යායක අර්ථය දැනගෙන යමෙකුට සතරභූමිය පිරිසිඳ දකින්න පුළුවන් වෙනවා. මේ ලෙස බුදුරජාණන් වහන්සේ මුල් කුසල, අකුසල, අව්‍යාකෘත යන ත්‍රිකය බෙදලා පෙන්නපු ආකාරයටම අවශේෂ ධර්මයෝත් ඒ ආකාරයෙන්ම බහාලා පර්යේෂණ කළයුතුයි.





මතු සම්බන්ධයි





අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධම්මසඞ්ගණිප්පකරණය ග්‍රන්ථය ඇසුරෙන් පිටපත් කිරිමකී.


Comments