කිංසුකොපම සුත්‍රය 1,2,3,4


කිංසුකොපම සුත්‍රය 1





නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස…





අති ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධ අපිට අද දවස ඉතාමත්ම වටිනාම වටිනා දවසක්. අද පොසොන් පුර පසළොස්වක පොහොය. අද වගේ දවසක තමයි අපි සියළු දෙනාටම දුක නිවීමේ මග, සසරින් මිදීමේ මග, ඒ පණිවිඩය ලංකා ද්වීපයට එදා මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවේ. එදා ඉඳන් තමයි අපිට ලෝකය තුළ හොද නරක කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගැනීමටත් ඒ වගේම ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍ර වූ සංසාර දුකෙන් අතමිදීම සඳහා ඒ ධර්ම ඥානය පහළ කරගන්නට අවස්ථාවක් සැලසුණේ.





ඉතින් අද වගේ දවසක ඒ මහෝත්තමයන් වහන්සේලා අපි කෙරෙහි ලබාදුන්නා වූ ඒ සද්ධර්මය අද අපේ ජීවිතයට ප්‍රතිපත්ති වශයෙන් එකතු කරගනිමින් ඒ මහෝත්තමයන් වහන්සේලාට ප්‍රතිපත්තියෙන් පූජා කරන්නට හොඳ දවසක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ඉතාමත්ම වටිනා, මේ සියළු සසර දුක පෙනෙන මානයකදීම ගෙවා ගන්නට පුළුවන් බොහොම වටිනා දර්ශනාත්මක පැත්තක් මම කියලා දෙන්නට උත්සාහවත් වෙනවා. මතක් කටයුතුයි මුලින්ම ඒ කරුණු අතිශයෙන්ම සියුම්. ඒ නිසා ඉතාමත්ම උවමනාවෙන්, ඕනෑකමකින් ඒ ටික ශ්‍රවණය කළ යුතුයි.





ඊටත් ඉස්සෙල්ලා අපි නොයෙක් නොයෙක් වැඩ කටයුතු, රාජකාරි කරමින් ඉඳලයි මේ බණ ටික අහන්න පැමිණුනේ. අපේ මනසේ යම්කිසි මානසික ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීමට පහසු වීම පිණිස කෙටියෙන් පොඩි ජාතක කතාවකුත් කියලා ජීවිතයට ඒ තුලිනුත් සංයමයක්, අත්දැකීමක් ලබාගෙන ඊටපස්සේ අපි අර දහම් කරුණු ටික කතා කරමු. මේ වෙලාවේ දී මට හිතුනා මේ හැමදෙනාටම මතක් කරන එක හොඳයි කියලා අසත්පුරුෂ ගති ලක්ෂණ අපි ගාව තබා නොගත යුතුයි. එසේ වුනොත් ඒකේ දුර්විපාක වැඩි බවත් පෙන්වන, සත්පුරුෂ ඇසුරම ඇසුරු කරන්නට ඕනේ කියන කාරණාව මතක් කරන විදිහට පෙන්වලා තියෙන කතාවක් කියන්නට.





පෙර බරණැස් නුවර කසී රාජ්‍ය වර්ධනය කරමින් බොහොම සශ්‍රීකව කටයුතු කරන එක්තරා රජ කෙනෙක් හිටියා. ඒ රජ්ජුරුවෝ දවසක් තමන්ගේ මැති ඇමතිවරු පිරිවරාගෙන උයනට යනකොට මගදී දැක්කා හරි පුදුම මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ මුළු ශරීරයම ඉතාමත් කෘෂ වෙලා, කළුවැල් පුරුකක් වගේ කෙට්ටු කෘෂ ස්වභාවයට ගිහිල්ලා. ඒ වගේම මුළු ශරීරයම ස්වේත වර්ණ වෙලා (සුදුම සුදු පාට වෙලා), හැමතැනම සැරව ගෙඩි හැදිලා පුපුරලා ඕජාව වැක්කෙරෙනවා. ළඟපාත, අහල පහල කිසි කෙනකුට ඉන්නවත් පුළුවන්කමක් නැහැ. මුළු ශරීරයම එකම කුණු ගොඩක් වගේ ඒ මනුස්සයා කුණුවෙලා වැක්කෙරෙනවා.





ඉතින් මේ රජ්ජුරුවෝ මෙයාව ඈත තියා ඉඳලා දැකලා අහනවා “නුඹ මනුෂ්‍යයෙක් ද, යක්ෂයෙක් ද, නුඹ වගේ කෙනෙක් මම මීට පෙර කවදාකවත් දැකලා නැහැ. නුඹගේ වැදූ මවවත් නුඹව තියාගන්න කැමතිවෙන එකක් නැහැ. ඒ තරම් නුඹ අප්‍රසන්න ස්වභාවයට පත්වෙලා. ඉතින් මේ වූ ස්වභාවයකට පත්වෙන්න නුඹ මොනවගේ අකුසලයක් කළාද?” කියලා. ඒ වෙලාවේදී ඔහු පිළිතුරු දෙනවා “රට කරවන්නා වූ දේවයන් වහන්ස, මෝඩ වූ, අනුවණ වූ, අව්‍යක්ත වූ මාගේ අතින් ඉවසිය නොහැකි මහා බලවත් වරදක් වුනා. ඒකේ ප්‍රතිවිපාකයයි මට මේ සිද්ධ වෙලා තියෙන්නේ” කියලා කතාව කියනවා. මේ වගේ මහා ව්‍යසනයකට, මුළු සමාජයම පිළිකුල් කරන, ප්‍රතික්ෂේප කරන ස්වභාවයකට තමන්ගේ ආත්මභාවය වැටෙන්නට හේතු වෙච්ච තමන් කළ කර්මය කියනවා.





මීට පෙර මම මගේ ගව රැළක් නැතිවෙලා ඒ ගවයෝ හොයමින් මම කැලේට ගියා. කිසියම් හෙයකින් පාර හොයා ගන්න බැරුව මංමුලා වෙලා කැලේ ඇතුලට ඇතුලට මම ගිහිල්ලා මනුෂ්‍යයෝ කිසි වෙලාවක යන්නේ නැති, නොයෙක් සිවුපාවෝ, චන්ඩ සත්තු ඉන්න හිමාලයේ ඈතකට මම ගිහිල්ලා තිබුණා. දින හයක් විතර කන්න බොන්න නැතුව නිරාහාරවම ක්ලාන්ත ස්වභාවයෙන් ඉන්නකොට මම දැක්කා එක ගහක ගෙඩි පිරිලා තියෙනවා. බඩගින්න අධික කමට බිම තියෙන ගෙඩියක් දෙකක් කෑවා. ඒක මට රුචියි, ගහෙත් ගෙඩි ඉදිලා තියෙනවා. ඒ ගහ පිහිටලා තියෙන්නේ මහා විශාල වලක් අයිනේ තමයි මේ පලතුරු ගහ තිබුණේ.





ඉතින් මම බොහොම අමාරුවෙන් ඒකේ අත්තකට නැගලා එක ගෙඩියක් කඩාගෙන කෑවා. දෙවැනි ගෙඩිය කන්න අත දිගහරින කොටම ඒ අත්ත කඩාගෙන මම අර ප්‍රපාතයට, වලට වැටුණා. ඒකෙ ජලය තිබුණ හින්දා මගේ අතපය කැඩුනේ නැහැ, මැරුණෙත් නැහැ. මේ විදිහට යන්න එන්න විදිහක් නැතුව, කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව අසරණව දින දහයක් මම හිටියා මේ වල ඇතුලේ. ඒ වෙලාවේදී ඒ කැලේ ඒ මේ අත ඇවිදින මහා විශාල වඳුරු රජෙක් මාව දැකලා මා කෙරෙහි අනුකම්පාවෙන්, “නුඹ බය වෙන්න එපා, මම කොහොම හරි නුඹව උඩට ගන්නම්” කියලා වලට පැනලා “මගේ බෙල්ල හොඳට අල්ලගන්න” කියලා ඒ වඳුරාට හැකි හැම වැරක්ම යොදලා මාවත් අරගෙන වලෙන් උඩට පැන්නා.





ඒ වෙච්ච මහන්සිය කොච්චරද කියනවා නම් ඒ වඳුරු රජාට ක්ලාන්ත ස්වභාවයක් ඇති වුණා. ඒ ක්ලාන්ත ස්වභාවයක් ඇති වුණ මොහොතේදී ඔහු මට කිව්වා “පින්වත, මට අමාරුයි, වෙහෙසයි. මම මෙහෙමම මොහොතක් සැතපෙනවා. එතෙක් මාව රකින්න. මේ කැලේ කොටි, ව්‍යාඝ්‍රයෝ වගේ සත්තු ඉන්නවා ඒ අය නින්දට වැටුණු මාව කන්න පුළුවන්. ඒ නිසා මාව මොහොතක් බලාගන්න” කියලා වඳුරු රජා ඒ මනුස්සයාගේ ඔඩොක්කුවේ හිස තියාගෙන නිදා ගත්තා. ඒ වෙලාවේ මම දින ගණනක් කන්න නැතිව බඩගින්නේ හිටියේ. මට හිතුනා කොටි, ව්‍යාඝ්‍රයෝ නෙවෙයි මේ වඳුරු මස් මනුෂ්‍යයෝත් කනවා. මට දැන් හොඳටම බඩගිනියි.





මේ සතාව මරලා මස් කෑවොත් බඩගින්නත් නැති වෙනවා, මට මාර්ගෝපකරණයක් හැටියට මගටත් ගෙනියන්න පුළුවන්. “ඒ නිසා මම මුව මරාගෙන කන්න ඕනේ” කියලා ඒ ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න වඳුරට ළඟ තියන ගලක් අරගෙන මම හයියෙන් ඔළුවට ගැහුවා. දින ගණනක් නිරාහාරව හිටපු මගේ ශක්තිය දුර්වල නිසා ගලේ පහර හරියට වැදුනේ නැහැ. ඒ ක්ෂණයෙන්ම ඒ වඳුරු රජ්ජුරුවෝ නැගිටලා, අතින් ලේ පිහදාලා, ඇස්වල කඳුළු පිරි මුහුණින් “මේ නරා වලෙන් ගොඩ අරගෙන නුඹට ජීවිත දානය දුන්න මට නුඹ මෙහෙම කළා නේද, නුඹ වගේ අසත්පුරුෂ කෙනෙක් තව නැහැ.





අනේ මේකේ පාපය ඒත් නුඹ කරානම් කවදාවත් එන්න එපා! නුඹට යහපතක්ම වේවා! ඒත් නුඹලා වගේ අය මම ඇසුරු කරන්නේ නම් නැහැ. මම ම ගහෙන් ගහට පැන පැන ගිහිල්ලා නුඹට පාර පෙන්වන්නම්, මෙන්න මේ පාරේ නුඹ නිරුපද්‍රිතව පලයන්” කියලා ඒ සතා මට පෙන්නුවා. “ඒ සතා පෙන්වපු මාර්ගය ඔස්සේ මම මනුස්ස පථයකට ආවා. මනුස්ස පථයකට ඇවිල්ලා නොබෝ කලකින්ම මගේ මුළු ශරීරයේම මහා විශාල දාහයක් ඇති වුණා, හරි තිබහක් ඇති වුණා. ඒ තිබහට මම පැන් බොන්න කියලා යම් ම තැනකට ගියොත් ඒත් පැන් ටික ලේ සැරව වෙනවා. මම ජීවත්ව ඉද්දී ම ප්‍රේතයෙක් වුණා.





ඒ සත්පුරුෂකම කරපු ඒ වඳුරට මා කරපු අසත්පුරුෂ කමේ ප්‍රතිවිපාකයි දේවයන් වහන්ස මෙසේ වුණේ. දෙවියන් වහන්ස මේ ලෝකයට මම මතක් කරනවා කිසිම වෙලාවක තමන්ට උපකාර කළ සත්පුරුෂයන්ට අසත්පුරුෂකමක් කරන්නට එපා, ඒක මහා විශාල බලගතු අකුසලයක් කියලා මතක් කළා. ඒ වගේම විදුර ජාතකයේ දී පෙන්වනවා හෙවනට හිටිය ගහක කොලයක් කැඩුවොත් ඒක එක්තරා මට්ටමක අසත්පුරුෂ කමක් කියලා.





ඉතින් මේ පින්වත් හැමදෙනාටම මතක් කරන්නේ අපි හැමදෙනාම ‘භවය’ නැමැති එකම සිරගෙයක් ඇතුළේ ඉන්නේ. මේ සිරගේ ඇතුළේ බේරිලා යන්න විදිහක් නැතුව එහාට පනිමින් මෙහාට පනිමින් ඒ හිරගේ ගේ ඇතුලෙ ඉන්න අපේ යැපීමට, පැවැත්මට තියෙන්නේ කර්මය නමැති බීජ. කර්ම කිසි වෙලාවක හිස් නැහැ, බොල් නැහැ. ඒ නිසා මේ සසර පුරාවටම මිත්‍ර ද්‍රෝහීකම බලවත් පාප කර්මයක්, අකුසල කර්මයක් වෙන නිසා මේ පින්වත් සියලු දෙනාම ජීවිතය පුරාවටම සත්පුරුෂ කමින්ම කටයුතු කරන්න, මෛත්‍රී සහගතවම කටයුතු කරන්න. තමන්ට යම් අකටයුත්තක්, අවැඩක් කෙනෙක් කළොත් එයා කෙරෙහිවත් ද්වේෂ සිත් මාත්‍රයක්වත් ඇති නොකොට මෛත්‍රී සහගතවම සිතින් කටයුතු කරන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා.





අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 05/06/2020 පොසොන් පුරපසලොස්වක පොහොය දින කිංසුකොපම සුත්‍රය ඇසුරෙන් සිදුකළ දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 එක ලබාගැනීමට
https://drive.google.com/file/d/1D8udkQZP5CN3lt5-NuIZ3Zfn2F1qZEVj/view?usp=drivesdk






කිංසුකොපම සුත්‍රය 2





අද දවසේ දී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ඉතාමත් වටිනා දර්ශනාත්මක පැත්තක් තියෙන අපේ ජීවිතයේ දුක නිවාගන්න පුළුවන්, සසර ගෙවාගන්න පුළුවන්, අවබෝධයක් ලබාගන්න පුළුවන් සූත්‍රයක් .ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ - සංයුත්ත නිකායේ - හතරවෙනි කාණ්ඩයේ - කිංසුකෝපම සූත්‍රය. ‘කිංසුක’ කියලා කියන්නේ 'කෑල ගහට' නමක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවෙච්ච සිද්ධියක් මුල් කරගෙන තමයි මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ.





ඒ කාලයේ හිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් තව භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා “ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විශුද්ධිය කොපමණකින් වෙනවද” - ‘දැකීම පිරිසිදු වෙන්නේ කොහොමද කියලා’?





  1. ස්පර්ශ ආයතන හයේ ඇතිවීම හා නැතිවීම දැකීම




එතකොට ඒ භික්ෂූන් වහන්සේ දේශනා කරනවා “මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යම්කිසි කෙනෙක් දැක්කොත් එපමණකින්ම දර්ශන විශුද්ධිය පහළ වෙනවා. ඒ කියන්නේ දිට්ඨි සම්පන්න වෙනවා.





  1. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම හා නැතිවීම දැකීම




ඒ භික්ෂුවගේ පැන විසඳීමෙන් සතුටු නොවූ මේ භික්ෂුව තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා “ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විශුද්ධිය කොපමණකින් වෙනවද?” කියලා.





ඒ වෙලාවේදී ඒ භික්ෂුව කියනවා “යම්කිසි වෙලාවකදි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් යම්කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් එපමණකින් භික්ෂුවකගේ දර්ශන විශුද්ධිය ඇතිවෙනවා, දැකීම පිරිසිදු වෙනවා” කියලා.





  1. සතර මහා ධාතුන්ගේ ඇතිවීම හා නැතිවීම දැකීම




ඒ පැන විසදුමෙනුත් සතුටු නොවුණු මේ භික්ෂූන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා “ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විශුද්ධිය කොපමණකින් වෙනවද?” ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා “සතර මහා ධාතූන්ගේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් දැක්කොත් දර්ශන විශුද්ධිය ඇතිවෙනවා”





  1. ඇතිවෙන හැම ධර්මයක්ම නැතිවෙනවා කියලා දැකීම




එපමණකිනුත් සතුටු නොවී තවත් භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා “ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විශුද්ධිය කොපමණකින් වෙනවද?” කියලා අහනවා. “යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරොධ ධම්මං” - ඇතිවෙන හැම ධර්මතාවයක් ම නැති වෙනවා කියලා දැක්කොත් මෙපමණකින්ම දර්ශන විශුද්ධිය ඇතිවෙනවා කියලා ඒ භික්ෂුව ප්‍රකාශ කළහම එපමණකිනුත් සතුටු වෙන්නේ නැතුව මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා.





ගිහිල්ලා, භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරනවා “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස මට ප්‍රශ්නයක් ඇතිවුණා භික්ෂුවකගේ දර්ශන විශුද්ධිය කොපමණකින් ඇතිවෙනවාද” කියලා. ඒ අනුව මම එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහාම මෙහෙම කිව්වා, තව කෙනෙක් ළඟට ගියාම මෙහෙම කිව්වා කියලා පිළිවෙලින් ඒ කාරණා ටික මතක් කළා.





ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කරනවා. “මහණ, කෑල ගහක් දැකලා නැති පුරුෂයෙක් තව කෙනෙක්ගෙන් අහනවා කෑල ගස කෙබඳුද කියලා? ඒ පුරුෂයා කියනවා දා ගිය කණුවක් වගෙයි (පිච්චිච්ච කොටයක් වගෙයි) කෑල ගහ කියලා. එපමණකින් සතුටු නොවී තව කෙනෙක්ගෙන් අහනවා එයා කියනවා “ලේ පාට මස් වැදැල්ලක් වගේ එකක් කෑල ගහ” කියලා. එපමණකින් සතුටු නොවී තව කෙනෙක්ගෙන් අහනවා. “පැසුණු කරල් ඇති ඝනව වැඩුණු මහ විශාල ගහක් කෑල ගහ කියන්නේ” කියලා ඒ පුරුෂයා මතක් කරනවා. එපමණකින් සතුටු නොවී තව කෙනෙකුගෙනුත් අහනවා. “මහා විශාල හෙවන තියෙන අතු පතර විහිදී ගිය නුග ගහක් බඳු එකක් කෑල ගහ” කියලා ඒ පුරුෂයා කියනවා.





“මහණෙනි මෙතැනදී යම් කලෙක, ‘පිච්චිච්ච කණුවක් වගේ’ කියලා කියද්දී කෑල ගහ ඒ කාලයේදී ඒ ස්වභාවයයි. හේන් කොටලා, ගිනි තියලා පුච්චන කාලයේදී ගස් සේරම පිච්චිලා යනවා. ඉතින් හේනක ඒ වගේ කෑල ගහක් තිබුනොත් ඒ වගේ කෑල ගහ දැකපු මනුස්සයෙක්ගෙන් ඇහුවාම එයා කියයි ‘කෑල ගහ පිච්චිච්ච කණුවක් වගේ’ කියලා. ඊට පස්සේ වැස්ස වැහැලා ටික කාලයක් යනකොට රතු පාටට දළු ඇවිල්ලා මුළු ගහම දළු දානකොට හරි ලස්සනයි. ඒ කාලයේදී කෙනෙක් කෑල ගහ දැකලා තිබුණා නම් ‘කෑල ගහ මොන වගේද’ කියලා කියනකොට එයා කියන්නේ එයා දැකපු අත්දැකීම.





ඊට පස්සේ මේක හොඳට වැඩිලා කරල් ආපු කෑල ගහක් දැකපු කෙනෙක් ගත්තහම එයා කියන්නේ කෑල ගහ එයා දැකපු ආකාරයට. මේ වගේ කෙනා කෙනා දකින ආකාරයට ප්‍රකාශ කරනවා එතකොට ඒ ගහ එබඳුයි. ඒ වගේ මේ ශාසනයේ කෙනා කෙනා දන්න විදිහට, කෙනා කෙනා දකින විදියට තම තමන්ගේ අත්දැකීමයි ඒ ප්‍රකාශ කළේ කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. මතක් කරලා භාග්‍යවතුන් වහන්සේ දර්ශන විශුද්ධිය ඇතිවෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න, ලෝකයට දර්ශන විශුද්ධිය ඇතිකර ගන්නට පහසු වීම සඳහා උපමාවක් දේශනා කරනවා. ඒ උපමානුසාරයෙන් උපමේයෙන් අර්ථ වශයෙන් මේ දර්ශන විශුද්ධිය ඇතිකර ගන්නා ආකාරය පෙන්වනවා.





== නගර උපමාව==





එක්තරා රජ කෙනකුට හොඳට පවුරු පදනම් ඇති එක්තරා රාජ්‍යයක් තියෙනවා. ඒ කියන්නේ වටේට දිය අගල්, මඩ අගල් හදලා හාත්පස මීයෙකුට, බලළෙකුටවත් රිංගන්න බැරිවෙන විදිහට මහා ප්‍රාකාරයන් හදලා දොරටු හයක් විතරක් තියෙන නගරයක් තියෙයි. ඒ දොරටු හයේ දන්න හඳුනන අය ඇතුල් කරන නොදන්න නොහඳුනන සැක සහිත අය ඇතුළට නොගන්න දක්ෂ දොරටුපාලයෙක් ඉන්නවා. උතුරු දිශාවේ දොරටුවෙන් පණිවිඩකරුවෝ දෙන්නෙක් ඇවිල්ලා අහනවා “මේ නුවර නගර හිමියා කොහෙද ඉන්නේ?” කියලා.





එතකොට දොරටුපාලයා පිළිතුරු දෙනවා “නගරේ මැද සිව් මංසලේ ඉන්නේ” කියනවා. දොරටුපාලයාගෙන් අහලා නගර හිමියාට ආපු පණිවිඩය පවරලා දීලා ආපු ගේට්ටුවෙන්ම ආපහු යනවා. ඒ වගේම සය දිශාවෙන්ම පණිවිඩකරුවන් දෙදෙනා ඇවිල්ලා නගර හිමියාට වූ පරිදි වචනය පවරලා දීලා ආපු දොරටුවෙන්ම යනවා. මෙන්න මේ උපමාව තථාගතයන් වහන්සේ පෙන්වලා ඒකට උපමේය වශයෙන් පෙන්නනවා,





**පලවෙනි උපමාව හා උපමේය
“මහණෙනි, හොඳ ප්‍රාකාර සහිත නුවර යනු මවුපියන්ගේ ලේ ධාතුවෙන් හැදුනු, කන බොන ආහාරපානයන්ගෙන් යැපෙන 'සතරමහා ධාතු වූ මේ කයට' නමක්.





**දෙවෙනි උපමාව හා උපමේය
ඒ නගරයේ දොරටු හය කියලා කිව්වේ 'ආධ්‍යාත්මික ආයතන හයට' ( ඇහැ, කණ, නාසය, දිව, ශරීරය, මනස).





** තුන්වෙනි උපමාව හා උපමේය
දොරටුපාලයා කියලා කිව්වේ 'සිහියට' නමක්.





** හතරවෙනි උපමාව හා උපමේය
සීග්‍ර දූත යුවළ (පණිවිඩ කරුවෝ දෙන්නා) කියලා කියන්නේ 'සමථ විදර්ශනා ධර්මයන්ට' නමක්.





**පස්වෙනි උපමාව හා උපමේය
වූ පරිදි වචනය පවරලා දෙනවා කියලා කියන්නේ 'නිවනට' නමක්.





**හයවෙනි උපමාව හා උපමේය
ආ මගින්ම යනවා කියලා කියන්නේ 'ආර්ය අෂ්ටාංගික මාර්ගයට' නමක් කියලා තථාගතයන් වහන්සේ මේ උපමාවට උපමේය වශයෙන් ආධ්‍යාත්මික මේ කය ඇසුරු කරගෙන දර්ශන විශුද්ධිය ළඟාකර ගන්න ආකාරය ගැන පෙන්නලා තියෙයි.





ඒ තුළ තියන කරුණු කාරණා කෙටි කරලා කැටි කරලා මම ඕගොල්ලන්ට ඒ අර්ථය පිරෙන විදිහට වෙන පැත්තකින් ඔයගොල්ලන්ට මේ කාරණාව පැහැදිලි කරනවා. 'වූ පරිදි' කියලා කියන්නේ "නිවන". 'ආ මගින්ම යනවා' කියන එක තමයි "ආර්ය අෂ්ටාංගික මාර්ගය". වූ පරිදි වචනය පවරලා දීලා ආ මගින්ම යනවා කියන ධර්මතාවය මතයි දර්ශන විශුද්ධිය ඇතිවෙන්නේ. ඉතින් අන්න ඒ කාරණාව මම මෙතන ඉඳලා ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා පටිච්චසමුප්පාද ධර්මය හරහා. මෙන්න මෙතන ඉඳලා හැම දෙනාම බොහොම හොඳට, බොහොම වුවමනාවෙන් ඉතා තීව්‍ර වූ සිහියක් මේ සඳහා යොමු කරලා ශ්‍රවණය කරන්න, ඒක ඔබට ඉමහත්ම ලාභයක් කියලා තේරෙයි.





මගේ ජීවිතයට අතිශයම සුවදායක වෙච්ච, ජීවිතයට පුදුමාකාර නිවීමක් ලබා දුන්නු මේ ධර්මතාවය ඔයගොල්ලන්ටත් කියලා දෙන්නට ඕනේ කියලා මට හිතුනා. මා තුළ කොච්චර ධර්මයක් වැඩිලා තියෙනවද කියන එක මට හොඳට තේරුම් ගන්න, බලාගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මේ සැනසිල්ල, මේ නිවීම අනෙක් ලෝකෙටත් ලැබෙනවා නම් කොච්චර වටිනවද කියන කාරණාව නිසයි අද මම මේ ටික කියලා දෙන්න හදන්නේ. එතනදී මෙන්න මේ කාරණා ටික හොඳට සිහියට තබාගන්නට ඕනේ. අපි හැමෝම පටිච්චසමුප්පාද ධර්මය දන්නවා පෙළ දහම හොඳට, කතා කරලාත් තියෙයි.





එතැනදී අපි මේ දැනගෙන ඉන්න ආකාර වලට වඩා මේ පටිච්චසමුප්පාද සිද්ධාන්තය කියන්නේ වෙනම තියෙන 'අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං' කියන උඩට පහලට මෙනෙහි කලයුතු ධර්මතාවයක් විතරක් එහෙම නෙවෙයි. ඔබෙත් මගෙත් ලෝකය, ඔබෙත් මගෙත් ජීවිතය හැදුනේ කොහොමද, ඒක පවතින්නේ කොහොමද කියන ධර්මතාවයයි පෙන්වන්නේ. එතකොට ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වනවා පෙර අවිද්‍යා කර්ම කියන ධර්මතා දෙක නිසා විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා කියන විපාක ස්කන්ධ ටිකක් හැදුනා. ඒ විපාක ස්කන්ධ ටිකට තමයි විපාක නාම රූප දෙක කියලා කියන්නේ.





එතන යම් විඤ්ඤාණයක් තියේ නම් චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනො විඤ්ඤාණ කියලා මේ විඤ්ඤාණ හයෙන්ම කිසිම වෙලාවක දැනගැනීමේ හැකියාවක්, ලක්ෂණයක් නැහැ. චක්ඛු විඤ්ඤාණය රූප පෙන්වන දර්ශන කෘත්‍යය නිර්මාණය කිරීම, සෝත විඤ්ඤාණය ශබ්ද ඇසීමේ ශ්‍රවණ කෘත්‍ය නිර්මාණය කිරීම කියන කාරණවට වැයවෙලා නිසා ඒකට පෙන්වනවා "ඵස්ස සම්ප්පයුත්ත" යි කියලා. කෙටියෙන් ගත්තහම මේ විපාක ස්කන්ධ ටික කියන්නේ 'සත්වයෙක්', 'පුද්ගලයෙක්' නෙවෙයි හේතු ඵල දහමින් හටගත්ත ධර්මතාවයක්. රූපයක් තියේ නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූප.





==ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැනගනිමු ==





ඒ රූපය හා බැඳී පවතින යම් චිත්ත චෛතසික ටිකක් තියේ නම් අවිද්‍යා කර්ම කියන හේතුවෙන් හටගත්ත අරමුණු දැනගන්න පුළුවන් විඤ්ඤාණ මාත්‍රයක්. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ මෙන්න මේ ස්වභාවය ඔයගොල්ලො තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි මීට පෙරත් මම මතක් කරලා තියෙයි අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත ලක්ෂණ ටිකක් තියෙයි මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ. ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ ටිකක් තියෙයි. එකේ ප්‍රතිඵලය තමයි අපිට අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත කියලා කියන්නේ.





සුඤ්ඤත බව
ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ කිසිම දවසක පෙනෙන රූපය, ඇසෙන ශබ්දය, ගඳ සුවඳ මේ කිසිම තැනක සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මය හෝ ආත්මනීය ධර්මතාවයක් ඔය ආයතන හය ඇතුලේ නැහැ.





අප්පණිහිත බව
ඒ වගේම මොනම විදිහකවත් වටිනා හෝ නොවටිනාකමක් ඔය ආයතන හය ඇතුලේ නැහැ.





** අනිමිත්ත බව**
නොදන්නා භාෂාවකින් කෙනෙක් මොනවා හරි කිව්වොත් අපිට ඒ ශබ්දයෙන් හොඳක්වත්, නරකක්වත් ලැබෙන්නේ නැහැ. ලාභයක්, අලාභයක්, යසසක්, අයසක්, නින්දාවක්, ප්‍රශංසාවක්, සැපක්, දුකක් ලැබෙන්නේ නැහැ. හිස් වූ ආයතනයක්, ශබ්ද මාත්‍රයක් විතරයි. අන්න ඒ ලක්ෂණය අනෙක් ආයතන හයටම ආදේශ කරගන්න. මෙන්න මේ පෙනෙන ඇහෙන මට්ටම්වල තිබුනේ ඕක.





==විඤ්ඤාණ ඨිතිය නිසා භවය ගොඩනැගේ==





ඊට පස්සේ මේ වගේ සත්ව, පුද්ගල ආත්මභාවයෙන් තොර වටිනා, නොවටිනා කමකින් තොර රූපයක් අපිට පෙනෙන කොට ඒ පෙනෙන දේට අපි කෙලෙස් ටිකක් එකතු කරනවා. ඒ පෙනෙන සිද්ධිය අරබයා තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් 'සත්වයෙක්', 'පුද්ගලයෙක්', 'ආත්මයක්' කියලා පෙනෙන දේට අපි හිතනවා, පෙනෙන දේට අපිට හිතෙනවා. හිතුන ගමන්ම වෙන්නේ මොකක්ද? මේ පෙනුණු රූපය විඤ්ඤාණ ඨිතියක් වෙනවා, විඤ්ඤාණයේ පැවැත්මට හේතුවක් වෙනවා. ඊට පස්සේ ඒ ඇහැ වෙන්වුනා, රූපය වෙන්වුනා, ඒ චක්ඛු විඤ්ඤාණය නිරුද්ධ වුණා, ඉතුරු නැතුවම නැති වුණත් ඒ රූපය සිහි කරමින් හිතට පවතින්න පුළුවන් ඒකයි විඤ්ඤාණ ඨිතියක් කියන්නේ. රූපය විඤ්ඤාණයේ පැවැත්මට හේතුවක් වුණා.





දැන් ඒ දැකපු රූපය සිහි කරමින් හිතට ඉන්න පුළුවන්. අන්න ඒ තැනට තමයි ‘භවය’ කියලා කියන්නේ. දැන් මට දැකපු දේ සිහි කරන්න පුළුවන්. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු වෙච්ච ගමන්ම භවය හැදෙනවා, රූපය පෙනීම සදහා වැය වුණු ස්කන්ධ ටික අතහැරෙනවා. ඔය විදිහට ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන හය හරහාම අනාත්ම වූ ස්කන්ධ ටික හටගන්නවා, ඒ ස්කන්ධ ටික අරභයා ආත්ම වශයෙන් හිතුවහම ඒ අරමුණ ආත්ම වශයෙන් සිහි කරන්න පුළුවන් අත්දැකීමක් හිතට තබලා අර අනාත්ම වූ විපාක ස්කන්ධ ටික අතහැරෙනවා. දැන් ඔබෙත් මගෙත් ජීවිතය කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ ‘භවය’ කියන තැන





මතු සම්බන්ධයි





අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 05/06/2020 පොසොන් පුරපසලොස්වක පොහොය දින කිංසුකොපම සුත්‍රය ඇසුරෙන් සිදුකළ දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 එක ලබාගැනීමට
https://drive.google.com/file/d/1D8udkQZP5CN3lt5-NuIZ3Zfn2F1qZEVj/view?usp=drivesdk






කිංසුකොපම සුත්‍රය 3





කොහොමද ජාතිය ඇති වුනේ





අපි ඔක්කොමලා භව දුකක් විඳින අය. එතකොට 'භව පච්චයා ජාති' කියනකොට හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි ගැඹුරු දර්ශනයක්. “තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති”. භවය නිසයි ඇති වුණේ 'ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායේ ජාතිය'. ඒ තුල හරි වටිනා, හරි පුදුම, හරි ගැඹුරු ධර්මතාවයක් තියෙයි. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඒ සත්ව නිකායේ ජාති කියනකොට මනුෂ්‍යයෝ ඉන්නවා ඉන්න මනුෂ්‍යයෝ අතර අපි ඉපදෙනවා කියලා, දෙවියො ඉන්නවා ඒ ඉන්න දෙවියෝ අතර අපි ඉපදෙනවා කියලා, බ්‍රහ්මයො ඉන්නවා බ්‍රහ්මයෝ අතර අපි ඉපදෙනවා කියලා. එහෙම අපේ ඉපදීමක් ගැන නෙවෙයි මේකෙන් පෙන්වන්නේ.





ඒ ඒ සත්වයන්ගේ සත්ව නිකායේ ජාති - “තෙසං තෙසං සත්තානං" - 'සත්තානං' කියනකොට බහු වචන. සත්ව නිකායේ ජාති - ඒ කියන්නේ 'මමත්' ඇතුළත්ව තව මනුෂ්‍යයෝ හැදුන හැටි කියන්නේ. මගේ අම්මා, තාත්තා, අයියා, නංගී, මල්ලී, දායකයෝ, මිත්‍රයෝ කියලා මේ ‘සත්ව නිකාය’ මට හැදුන හැටි පෙන්වන්නේ “භව පච්චයා ජාති” කියන එකෙන්. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනිලා ඒක අතහැරිලා ඒත් ඔබට ඒක 'භවය' වෙලා, විඤ්ඤාණයේ පැවැත්මට හේතුවක් වෙලා. කණට ශබ්දයක් ඇහිලා ඒක ඔබේ විඤ්ඤාණයේ පැවැත්මට හේතුවක් වෙලා ඒ ශබ්දයක් ඇහුන සිද්ධාන්තය අතහැරිලා නමුත් දැන් ඔබට අහපු, බලපු, දැකපු හැම දෙයක්ම එකතු වෙලා නිසා තමනුත් තමන්ගේ වර්ගයත් හැදිලා තියෙයි. “භව පච්චයා ජාති” කියලා කියන්නේ ඒක.





ඊටපස්සේ 'ජරා' කියන්නෙත් ඒ ඒ සත්ව නිකායෙහි ජරා. තමන් ඇතුළු තමන්ගේ ඥාතීන්, හිතෛෂීන්, අසල්වාසීන් ලෙඩවෙලා මහළුවෙලා මරණයට පත්වෙනවා - මහළුවෙන දුක විඳින්නට වෙනවා, මරණයට පත්වුන දුක විදින්නට වෙනවා. මේ ඔක්කොම දුකට හේතුව ‘ජාතිය’ නිසා. ජාතිය ඇති වුණේ භවය නිසා. කෙටියෙන් ගත්තහම ඔබට කුඩා කාලයේ පාසල් ගිය කාලයේ ඉඳලා ඒ සිද්ධාන්තයන් එකින් එක එකින් එක සිහි කරන්න පුළුවන්. 'විඤ්ඤාණ ඨිතියක්' කියලා කියන්නේ ඒ 'නිමිති' එතන එතන හිතේ පැවැත්මට අවස්ථාව හදලා දීලා ඒ දැකපු, අහපු ධර්මතා නිරුද්ධ වෙලා. මේ විඤ්ඤාණය කොච්චර දක්ෂද කියනවා නම් මුළු ලෝකයක්ම මවපු මැවුම්කරුවෙක්. ඒ කියන්නේ දැන් කාම භූමිය, කාම භවය හැදිලා.





දැන් ඔබට එතනින් හැම වෙලාවෙම එක එක දේවල්, එක එක නිමිති සිහි කරලා දෙනවා. 'අම්මා', 'තාත්තා', 'අයියා', 'නංගී' කියලා මතක් වෙයි, හොඳ මතක් වෙයි නරක මතක් වෙයි. 'භවය' වෙලා තියෙන දෙයක් සිහි වෙනවා නේද කියන එක පෙන්න ගන්න බැරි වුනොත් ඔබ හිතාගෙන ඉන්නේ දැකපු සිද්ධිය සිහිවෙනවා කියලා. පටිච්චසමුප්පාද සිද්ධියේදී අපි හැම දෙනාගේම නවාතැන, අපි හැම දෙනාගේම ජීවිතය අයිති තැන කොතනද කියලා ගත්තොත් ‘භවය’ කියන තැන ගන්න. මුළු සත්ව ප්‍රජාවම මේ තුන් භවය ඇතුලේ ඉන්නේ. අද ඉන්න මේ මට්ටම ගත්තොත් අපි ඉන්නේ කාම භවය ඇතුලේ. ඒක ඇතුලේ තමයි 'මමත්' ඇතුළත්ව මට මේ සත්ව වර්ගයාගේ ජාතිය (මගේ නෑදෑයෝ, මිත්‍රයෝ, හිතෛෂීන්, අහිතවත් අය) කියලා යම්තාක් පිරිසක් හිඳී නම් ඒ අය ඔක්කොම ඉන්නේ.





කොහොමද භව දුකෙන් මිදෙන්නේ





ඒ වගේම දෙවියන්ට දෙවියෝ හැදෙන්නේ, බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෝ හැදෙන්නේ, නිරි සත්වයන්ට නිරිසත්වයෝ, හැදෙන්නේත් ඔය විදිහට මයි. ඒ ඒ සත්ව නිකායේ 'ජාතිය' ඇතිවෙන්නෙත් ඔය විදිහට. ඒ නිසා දැන් ඉතින් අපි හැම කෙනාටම ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් වලින් අඩු නැහැ, ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් විඳින්න පුළුවන්. මෙතැනදී මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න තියෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි අපිට. ඔය මොන තරම් ධර්මතා අපි ඉගෙන ගත්තත් ‘භව නිරෝධය නිවනයි’ කියන තැනට තමයි එන්න වෙන්නේ. 'භවය' කියනකොට හොඳට මතක තබාගන්න මේ භවය කියන එක ස්පර්ශ ආයතන හයට අයිති සිද්ධියක් නෙවෙයි. ස්පර්ශ ආයතන හයේ අත්දැකීම 'විඤ්ඤාණ ඨිතියක්' වෙච්ච නිසා ඇතිවුන දෙයක්.





සංයුක්ත නිකායේ - චේතනා සූත්‍රයේ තියෙනවා අරමුණකට හිතුවත්, කල්පනා කෙරුවත් විඤ්ඤාණය පිහිටනවා. නොසිතුවත් කල්පනා නොකලත් අනුශය වශයෙන් තිබුනත් 'විඤ්ඤාණ ඨිතියක්', විඤ්ඤාණය පිහිටන තැනක් වෙනවා. මේ දර්ශනය තුළින් පුදුමාකාර සැනසිල්ලක් හම්බ වෙනවා. ඒ කියන්නේ භවය නිසයි අපි හැම අරමුණක්ම සිහි කරමින් මේ ජීවත් වෙන්නේ, අපේම මනස තුලයි සැරිසරන්නේ කියලා එහෙම සිහි කරනකොටත් මේ අත්දැකීම ලබාදුන්න ආයතන නිරුද්ධයි කියලා සළායතන නිරෝධය දකිනකොට හිතට ඇතිවන ප්‍රීතිය සහ ඒ නිවීම මෙන්න මෙච්චරයි කියලා කියන්න බැහැ. අන්න ඒ නිසයි මට හිතුනේ මේ දහම් කරුණු ටික පෙන්වන්න.





පටිච්ච සමුප්පාදයේ 'භවය' කියපු තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නේ කුඩා කාලයේ ඉඳලා මේ හැම දෙයක්ම ‘තියෙනවා’ ‘ඉන්නවා’ කියලා ඇති බවට හම්බවෙන වටපිටාව. අපි කියමු ටීවී එකේ තියෙන රූපයක් අපි බැලුවා. ඒකට මොනවා හරි කෙලෙස් ටිකක් එකතු වෙලා (අඩුම ගානේ කිසි විස්තරයක් නැතිනම් ඒ රූපයේ ඇත්ත ස්වභාවය නොදන්නා අවිද්‍යාව තිබුණත් ඇති.) තිරයේ වෙන රූපයක් යනකොට කලින් තිබුන රූපය ඉතුරුවක් නැතුවම නැතිවෙලා. නමුත් හිත කියන එක පවතින්න ඒ දැකීම් මාත්‍රය ඇති. ඒක සිහි කරමින් හිතට ඉන්න පුළුවන්. අන්න ඒ වගෙයි 'භවය' කියන තැන. මේ ආයතන හය හරහා ලබා දුන්නු නිමිති ටිකේ අත්දැකීම තමයි ‘භවය’ කියලා කියන්නේ.





ඒ ටිකේ තමයි ජරා මරණ දුක් ඇතිවෙන්න පුළුවන් ලෝකයක් ගොඩනැගිලා තියෙන්නේ, ලෝකයක් ගොඩනැගෙන්නේ. මේ භවය කියන තැන විපාක ස්පර්ශ ආයතන හයට අයිති සිද්ධාන්තයක් නෙවෙයි. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කරලා කෙලෙස් ටික නිසා හදාගත්ත විපාකයක් භවය කියන එක. ඒ නිසා තමයි අපි භව දුකක් විඳිනවා කියලා කියන්නේ. මෙන්න මේ භව නිරෝධය පිණිස අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කිංසුකොපම සුත්‍රයට අනුව 'වූ පරිදි වචනය' පවරලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ 'ආ මගින් ආපහු ගියොත්' විතරයි.





ආ මගින් යාම නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය





මෙන්න මේක හොඳට මතක තබාගන්න, අපිට දර්ශන විශුද්ධියක් ඇතිකරගෙන ඒ කියන්නේ ඇත්ත ඇති හැටිය දැකලා, වූ පරිදි වචනය පවරලා දෙනවා කියන්නේ ‘නිවන’. ඒ නිවනේ පණිවිඩය අපිට පවරලා දෙන්න පුළුවන්, ඒක ලැබෙන්නේ අපිට 'ආ මගින් ආපහු ගියොත්' විතරමයි, ආපු දොරටුවෙන්ම අපි ආපහු යන්න ඕනේ. අන්න එතකොටයි අපිට 'වූ පරිදි' කියන නිවනේ පණිවිඩය හම්බ වෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. පින්වත් ඔබට හිතන්න පුළුවන් ඕනෑම දෙයක්. උදාහරණයක් විදිහට පාසල් යන කාලයේ යහළුවෙක් සිහිවුනා කියන්නකෝ. සිහි කරනකොටම අපිට කරුණු දෙකක් තියෙයි පෙන්නන්න අපේ මනසට.





මේ සිහි කරගත්ත එක ඇති වුණේ භවය නිසා නේද, ඒ කියන්නේ විඤ්ඤාණ ඨිතිය නිසා නේද කියලා පෙන්විය යුතුයි.
එහෙම පෙන්වන්න බැරි වුනොත් ඔබව ඉබේම ස්පර්ශ ආයතනය පැත්තට නැඹුරු කරනවා 'බාහිර හිටපු යහළුවා' යි සිහි වුනේ, සිහි වෙන්නේ කියලා. සිතේ අත්දැකීමම සිතින් සිහිකරනවා නේද, මේක භවය නිසා මේ සිහි වුණා නේද, භවය සිහි කරගත්තා නේද කියලා පෙන්විය යුතුයි. එහෙම පෙන්වන්න බැරි වුනොත් අර විපාක නාම රූප දෙක තිබ්බ තැනට හිත බැස ගන්නවා, එතකොට ඇත්තම වෙනවා. ‘ඔක්කන්ති නාමරූපං’ වුනොත් ඇත්තම වෙනවා. එතකොට 'හිටපු යාළුවා' වෙනවා එතකොට තමයි දුක එන්නේ, ඇත්තම වෙන්නේ.





'අම්මා' සිහිකර ගත්තොත් - මේ 'භවය' නේද කියලා ඔබට සිහි කරගන්න බැරි වුනොත් ඔබට ඉතුරු වෙන්නේ එක දෙයයි, මොකක්ද? දැකපු අවස්ථාවේ හිටපු කෙනා සිහි වෙනවා කියලා ඔබේ විඤ්ඤාණය නාම රූපයට බැසගන්නවා. ඒ කියන්නේ දැකපු සිද්ධාන්තයට බැසගත්ත ගමන්ම ඇත්තම වෙනවා, ‘අම්මා වෙනවා’. එහෙමයි සත්ව නිකාය ඇතිවෙන්නේ. එහෙමයි ඔබට අම්මා, තාත්තා, දුව, පුතා ඇත්ත වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් නම් සිහි වෙනකොටම 'ආ මගින් ආපහු යන්න', මෙන්න මෙතනයි අතිශය වටින්නේ. 'ආ මගින් ආපහු යනවා' කියන්නේ ‘අම්මා’ කියලා සිහි වෙනකොට ‘අම්මා ඉන්නවා නේ', 'අම්මා ඇති නේ' කියලා, අලුතෙන් නාම රූප දෙක පැත්තට නැඹුරු වෙන්නේ නැතුව 'අම්මා ඉන්නවා' කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම මට අරගෙන දුන්න පැත්තට යනවා.





'අම්මා' කියලා සිහි කරන්න පුළුවන් මට. මට 'අම්මා' කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම ලබාදුන්න පැත්තට යනවා. ඒ කියන්නේ ආපස්සට යනවා. මම 'අම්මා' කියලා සිහි කරනවා නම් සිතට සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත ගෙනල්ලා දුන්න ඒ ඇහැ රූපය දැන් නිරුද්ධයි නේද කියලා බලන්න පුළුවන්. එතකොට ඔබට එහෙම සිහිකරන සිහිකරන දේ නිරුද්ධයි කියලා දැක්කොත් ඔබට මේ ලෝකය කියලා දෙයක් ඉතුරු වෙන්නෙම නැහැ, ආයතන හයේම ශුන්‍යතාවයත් ස්පර්ශ ආයතන හය නිරුද්ධයි කියලා සළායතන නිරෝධයටම හිත බැස ගන්නවා.





හැබැයි එක පාරට නිවන අරමුණු කරන්න බැහැ කියලා කියන්නේ, ඔබට ‘අම්මා’ කියලා සිහිවෙනකොට මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම සිතට දුන්නු අවස්ථාව දැන් නිරුද්ධයි කියන එක දකින්න ඔබට සමාධියක් ඕනේ. අසංඛත පරමාර්ථයට හිත තබලා මේ නිමිත්ත අතහරින්න බැරි නම්, සංඛත පරමාර්ථයට හිත තබන්න. ඒ සදහායි ඔබට සතිපට්ඨානයේ හා අභිධර්මය හරහා ස්කන්ධ, ධාතු, ආයතන, ගැන කියලා දුන්නේ. ඒ කියන්නේ ‘අම්මා’ කියලා සිහිකරන කොට මට 'අම්මා' කියලා සිහි කරන්න පුළුවන් නිමිත්ත ඇති ඇති වුනේ මෙහෙම නේද කියලා පෙන්වන්න.





ඇස් ඉදිරිපිටට කන බොන ආහාරයෙන් හැදුනු සතර මහා ධාතු රූපයක් ආවහම ඒ රූපයට මම ‘අම්මා’ කියලා හිතුවා, හිතුවහම ‘අම්මා’ කියලා මේ නිමිත්ත සිහි කිරීමේ හැකියාවක් හිතට ඇති වුණේ එහෙම. නමුත් ඇත්තම වශයෙන් ගත්තහම 'අම්මා' කියන එහෙම කෙනෙක් අතීතයේ හිටියෙත් නැහැ, දැන් ඉන්නවත් නෙවෙයි, අනාගතයට ඉන්නෙත් නැහැ නේද කියන තුන් කාලයෙන්ම ඔබ බැලිය යුතුයි. ඒ කියන්නේ ඔබ අතීතයේදීත් දැක්කා ඇස් ඉදිරිපිටට ආවේ සතර මහා ධාතු රූපය. ඒකට අපි කෙනෙක් (අම්මා හෝ මල්ලී) කියලා හිතුවා හිතුවාම මේ අරමුණ 'මල්ලී' කියලා හිතන්න පුළුවන් විඤ්ඤාණයට නිමිත්තක් වෙලා අතහැරෙනවා.





දැන් 'මල්ලීව' මට සිහි කරන්න පුළුවන්කම තියෙයි, මේ 'මල්ලීව' සිහි කරන්න පුළුවන්කම ඇතිවුණේ 'මල්ලී' කියලා හිතපු නිසා, 'මල්ලී' කියලා මම හිතුවේ පෙනෙන රූපෙට. එතකොට ඔන්න කෑලි දෙකක් අපිට හම්බවෙනවා. ඇහැට පෙනුනු වර්ණ සටහනට මම පුද්ගලභාවයෙන් 'මල්ලී' කියලා හිතුවා. 'මල්ලී' කියලා හිතපු කම සිහි කරන්න පුළුවන් හිතේ අත්දැකීමක් වෙලා. දැන් 'මල්ලී' කියලා සිහිවෙනවා මට විඤ්ඤාණ ඨිතියක් එහෙම නැතිනම් ‘භවය තියෙනවා. 'මල්ලී' කියලා සිහි වෙනකොටම භව නිරෝධයට මම කටයුතු කරනවා කියලා කියන්නේ 'ආ පස්සට යනවා'. මට, 'මල්ලී' සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ කොහොමද, ඇතිවුනේ කොහොමද කියලා බලනවා. මම, රූපයකට ‘මල්ලී’ කියලා හිතුවා. 'මල්ලී' කියලා හිතුවේ මෙබඳු රූපයකට.





එතකොට හොඳට පේනවා. අතීතයේදී 'මල්ලීගේ රූපයක්' තිබිලා නැහැ, ඇස් ඉදිරිපිටට ආපු වර්ණ සටහනට ‘මල්ලී’ කියලා හිතපු නිසා ඒ රූපය 'මල්ලී' කියලා සිහි කරන්න පුළුවන් සිතට අත්දැකීම ආවා කියලා හොදට පේනවා. එතකොට අතීතයේදීත් 'මල්ලී' හිටියා කියලා හිත නැමෙන්නේ නැහැ රූපයට. දැනුත් ඒ හිතේ අත්දැකීමම ‘මල්ලී’ කියලා සිහිකර ගන්නවා, අනාගතයටත් ඇස් ඉදිරිපිටට ඒ රූපය එනකොටම හිතේ තියෙන මේ අත්දැකීම ආයෙත් සිහිකර ගන්නවා නේද මම. අනාගතයටවත් ඒ 'මල්ලීව' හම්බ වෙනවා නෙවෙයි, ඒ රූපය 'මල්ලී' කියලා හිතේ විඤ්ඤාණ ඨිතියක් තියෙයි. ඇස් ඉදිරිපිටට ඉස්සෙල්ලාම වර්ණ සටහනක් ආවා, ඒකට 'මල්ලී' කියලා හිතුවාහම ඒ 'රූපය මල්ලී' කියන අදහසින් හිතන්න පුළුවන් හිතට නිමිත්ත හැදිලා ඒ ඇහැත් අතහැරුණා, රූපයත් අතහැරුණා, ඒ හිතපු සිද්ධාන්තත් අතහැරුණා. හැබැයි විඤ්ඤාණ ඨිතියක් වුනා නැතිනම් භවය හැදුනා, මේ 'මල්ලීගේ රූපය' කියලා හිතට හිතන්න පුළුවන්.





භවය හැදුනේ කොහොමද?





ඔබ දන්නවා භවය හැදුනේ කොහොමද කියලා. පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුන හින්දා රූපයක් පෙනෙන බව ලැබුනා. තණ්හා, උපාදාන කෙලෙස් කියලා කියන්නේ පෙනෙන දේට මම, 'මල්ලී' කියලා හිතුවා. ඒ ටික තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකේ අර්ථය තමයි 'මල්ලී' කියලා හිතුවා. මෙන්න මේ හිතපු කම නිසා 'විඤ්ඤාණ ඨිතියක්', විඤ්ඤාණයේ අත්දැකීමක් වුනා, නැත්තම් මේ 'මල්ලී' කියලා සිහි කරන්න පුළුවන්කම හිතට හැදුනා, භවය කියන්නේ ඒක. දැන් ඔබ 'මල්ලී' කියන එක ඇත්ත වෙලා ස්පර්ශ ආයතන හයේ 'මල්ලී කෙනෙක් ඉන්නවා' කියලා නැඹුරු වුනොත් "ඔක්කන්ති නාමරූපං" වෙලා ඔබට 'මල්ලීව' හම්බ වෙනවා, සත්ව ලෝකය හැදෙනවා, පුද්ගලභාවය හැදෙනවා.





එතකොට 'මල්ලී' මැරුණ දුක, 'මල්ලී' ලෙඩ වෙච්ච දුක එනවා. නමුත් එහෙම ඔබට ජරා මරණ දුක එන්නේ නැහැ ඔබ ජාතිය නැති කළොත්, ඔබට ජාතියට ඉඩ නැහැ භවය නැති කළොත්. මේ භවය නැමති හිර ගෙදරින් රිංගලා යන්න තියෙන්නේ එකම එක කවුළුවයි. ඒ තමයි 'ආ මගින්ම යෑමෙන්'. 'මල්ලී' කියලා සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ කොහොමද කියලා පෙන්වන්න. 'මල්ලී' කියලා ඒ විඤ්ඤාණය, නාමරූප දෙකට බැසගන්නට දෙන්නට එපා. ඒ කියන්නේ 'මල්ලී ඉන්නවා' කියලා දැකපු රූපයාතනය පැත්තට හිත යොමු කරන්න එපා. එතකොට ඇත්තටම 'ඉන්න මල්ලී කෙනෙක්' හම්බ වෙනවා. 'මල්ලී' කියලා මට දැන් හිතට සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම ගෙනත් දුන්නේ කියලා පටිච්චසමුප්පාද අංග හරහා පිටිපස්සට යන්න.





ඒ කියන්නේ 'භවය' කියන තැන අද ඔබ ඉන්න තැන. ඒකට හේතුව තණ්හා, උපාදාන කියන කෙලෙස් ටික. කෙලෙස් ටික ඇතිවුනේ විපාක නාමරූප දෙකට. ඇහැට රූපයක් පෙනුනා කියන විපාක ධර්මතා ටිකක් ඇති තැනක, ඒ රූපයට පුද්ගලභාවයකින් 'මල්ලී' කියලා හිතුවහම මේ වගේ දැනුමක් (විඤ්ඤාණ ඨිතියක්) ඇතිවුනා කියලා ඔබ දැක්කහම අතීතයේදීත් පෙනෙන රූපේ පැත්තෙත් 'මල්ලී' හිටියේ නැහැ. දැනුත් සිහිකර ගන්නකොටත් 'භවයම මම සිහි කරගන්නවා' නේද, ආපහු දවසක අර වර්ණ සටහන ඇස් ඉදිරිපිටට ආපු ගමන්ම 'මේ භවයම සිහිකර ගන්නවා නේද මම', එදාටත් අර 'රූපය මල්ලී' හින්දා 'මල්ලීව දකිනවා' නෙමෙයි, ඒ රූපය දකිනකොට හිතේ අත්දැකීම වේගයෙන් හිත සිහිකර ගන්නවා කියලා දැක්කහම ඔබට අතීතයේදී 'මල්ලී' කෙනෙක් හිටියෙත් නැහැ, දැන් ඉන්නවත් නෙමෙයි, අනාගතයට ඉන්නේද නැහැ' .





අතීත වර්තමාන අනාගතය පිරිසිදු කරමු





ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතයේ නොවුනේ නම්, දැන් නොවේ නම්, අනාගතයට නොවන්නේ නම් ඒක මොන තරම් පහසුවක්ද කියනවා. ඒ වගේ ඕනෑම දෙයක් සිහි වුනහම ඔබ සිහි වෙච්ච දේ තියෙනවා කියලා විපාක නාමරූප දෙක පැත්තට යන්න නැමෙන්න එපා. එහෙම වුනොත් "ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච්චති ජාති" කියලා ආයේ ඒ ස්කන්ධ ටික පහළ වෙලා, ආයතන ටික ලැබිලා ඇත්තටම කෙනෙක් හම්බ වෙනවා.'මල්ලී' කියලා සිහිකරන කොට' මේ භවයම සිහිකර ගත්තා නේද' කියලා පෙන්වන්න බැරි වුනොත්, ඒ වගේම මේ සිහි කරගන්න පුළුවන්කම හැදුනේ මෙහෙම නේද කියලා ඔබ 'ආ මගින් ගියේ නැතුව' දොරටුවේ අනික් පැත්තෙන් ගියොත් 'මල්ලී' කියලා සිහිවෙන කොටම විපාක නාමරූප දෙක පැත්තට අළුතෙන් නැඹුරු වුනොත්,





පටිච්චසමුප්පාදයේ ඔබ අහලා ඇති "නාමරූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං" කියලා පෙන්වන සිද්ධියක්. ඒ තමයි ඉස්සෙල්ලාම ඇහැට රූපේ පෙනුන තැන තමයි විපාක නාමරූප දෙක කියන්නේ, ඒ නාමරූප දෙකට 'මල්ලී' කියලා හිතුවහම 'මල්ලී' කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම ආපු ඔය 'භවය' කියන තැන තමයි "නාමරූප පච්චයා විඤ්ඤාණං" කියලා කියන්නේ.ඊටපස්සේ "විඤ්ඤාණ පච්චයා නාමරූපං" කියන්නේ 'මල්ලී' කියලා සිහි කරලා ඔබ නැවත පෙනුන පැත්තට නැඹුරු වෙච්ච ගමන්ම ආයතන හැදිලා ස්පර්ශ වෙලා ඔබට 'මල්ලීව' දකින්න පුළුවන්කම එනවා. අපහු දෙවෙනි චක්‍රයක් යනවා.





මතු සම්බන්ධයි





අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 05/06/2020 පොසොන් පුරපසලොස්වක පොහොය දින කිංසුකොපම සුත්‍රය ඇසුරෙන් සිදුකළ දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 එක ලබාගැනීමට
https://drive.google.com/file/d/1D8udkQZP5CN3lt5-NuIZ3Zfn2F1qZEVj/view?usp=drivesdk





දේශනාවේ පළමු කොටස කියවීමට
https://www.facebook.com/dhamma.chakkhun.udapadi/photos/a.1353537201503577/1353542041503093/





කිංසුකොපම සුත්‍රය 4





අටලෝ දහමින් කම්පා නොවන මනසක්





ඔයගොල්ලන්ට තේරෙයි මේ දර්ශනය තේරුනොත්, එබඳු කෙනෙක්ව රිදවනවා කියන එකක් තියා හොල්ලන්නවත් බැහැ කියලා. අකම්ප්‍ය මනසක් හැදෙයි.





"ඵුට්ඨස්ස ලොකධම්මෙහි - චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං - එතං මඞ්ගලමුත්තමං"





ඒ උතුම් මංගල පදය ඔබට ඒකාන්තයෙන්ම ඔය ඉන්න තැන ඉඳලාම ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. ඔතනදී අඩුව වෙන්නේ සමාධිය නැතිකම විතරයි. ඔබට සිහිවන යම්තාක් දේ තියේ නම් 'අම්මා, තාත්තා, අයියා, අක්කා, දුව, පුතා', කියලා මේවානේ ඔබේ ලෝකය. මේවානේ ඔබට දුක හෝ සැප හෝ ගෙනත් දුන්නේ, ගෙනත් දෙන්නේ. ඔය දේවල්වල නේ තරහකාරයෝ හෝ මිත්‍රයෝ හෝ ඉන්නේ හෝ හිටියේ. 'ඔබ ආපස්සට යන්න'. යනකොට ඔබට මෙහෙම සිහි කරන්න පුළුවන් අත්දැකීම් ආපු හැටි බලන්න. කෙලෙස් ටික ඇතිවෙලා තියෙන්නේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා. (විපාක ස්කන්ධ ටිකට යාළුවා කියලා, මල්ලී කියලා, අයියා කියලා, අක්කා කියලා හිතුවහම) එහෙම හිතන්න පුළුවන් අත්දැකීමක් හිතට ඇවිල්ලා. දැන් සිහි කරන්න පුළුවන්.





අතීත, අනාගත, වර්තමානය පිරිසිදු කරමු





හැබැයි සිහිකරන සිද්ධාන්තය ඇතිවෙච්ච පැත්තට ගියහම එතන යථාර්ථය ‘අනාත්මයි’. එහෙනම් අතීතයේදීත් මේ ස්පර්ශ ආයතන හයේ ඒ කියන්නේ ලෝකේ පැත්තේ එහෙම කෙනෙක් ඉඳලා නැහැ. මට දැන් සිහි කර කර අඬන්න වැළපෙන්න අද දවසේදී පුළුවන්කම තියෙන්නේ මම මේ සිද්ධාන්තය පෙන්වන්නේ නැති හින්දා නේ. එතකොට ඒ පැත්තට ගියොත් 'එහෙම කෙනෙක්', 'පුද්ගලයෙක්' හිටියේත් නැහැ, දැනුත් භවයම සිහි කරගන්නවා නම්, විඤ්ඤාණයේ අත්දැකීමම සිහිකර ගන්නවා නම් ආපහු අනාගතයටත් ඇස් ඉදිරිපිටට ඒ රූපය ආවොත් ආයෙත් භවයම සිහි කරගන්නවා.





ඒ රූපය දකිනකොටම ‘මල්ලි’ ‘අම්මා’, 'අක්කා' කියලා ආපහු මම සිහිකර ගනී. එතකොට එය ද අනාගතයේ ද ස්පර්ශ ආයතන හයේ මට මේ වගේ කෙනා ඉඳලා හම්බ වෙන්නේ නැහැ. එදාට ද වෙන්නේ රූපය දකිනකොට ‘අද මේ සිහි කරගන්න මනසම සිහිකර ගන්නවා’ කියලා දැක්කොත් ස්පර්ශ ආයතන හයෙන් ගැලවෙනවා ඔබේ ලෝකය. ස්පර්ශ ආයතන හයෙන් ඔබේ ලෝකය ගැලවුනහම ‘මල්ලි’ ‘අම්මා’ කියලා සිහි කරන කොටත් ඒ දැකපු, අහපු ස්කන්ධ ද නිරුද්ධයි (සළායතන නිරෝධය) ඔබට පෙනෙයි.





දැන් මම, 'කෙනෙක්ව' සිහිකරන කොටත් මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම ලබාදුන්න නාමරූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියලා බලන්න පුළුවන් නම් ඔබට අනිමිත්ත බවක්, අප්පණිහිත බවක්, සුඤ්ඤත බවක්ම හම්බවෙයි මිසක, සළායතන නිරෝධයක්ම හම්බවෙයි මිසක, භව නිරෝධයක්ම හම්බවෙයි මිසක ලෝකය හම්බ වෙන්නේ නැහැ. හැබැයි සමාධිය නැතිනම් සක්කාය නිරෝධයට හිත බැසගන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී තමයි 'ආ මගින් ආපස්සට ගිහිල්ලා' ඔබට රූපය ඇස් ඉදිරිපිටට හම්බ වෙනකොට ‘අනාත්ම ස්කන්ධ ටිකකුයි තිබුණේ, ස්කන්ධ ටිකට තමන් මෙහෙම හිතපු කම හින්දයි (තණ්හා උපාදානයෙන් හිතපුකම නිසා) හිතට මෙහෙම හිතන්න පුළුවන් අත්දැකීමක් ලැබුණේ’ කියන එක අල්ලලා දෙන්න.





කුමක් පිණිසද සතිපට්ඨානය





මේ භවය අයින් කරගන්න උපකාර පිණිසයි සතිපට්ඨානය තියෙන්නේ. ස්කන්ධ, ධාතු, ආයතන 'අනාත්මයි', 'සුඤ්ඤතයි' කියලා බැලුවේ 'ස්පර්ශ ආයතන හය අනාත්මයි' කියන එක බලන්න නෙවෙයි. (ස්පර්ශ ආයතන හයේ අනාත්ම බව කොච්චර කාලයකට බලන්නද, කොච්චර දුරට බලන්නද) මේ භව නිරෝධය සඳහායි ස්පර්ශ ආයතන හයේ අනාත්ම බව බැලුවේ. මට සිහිවෙනවා ‘මල්ලී’, 'මල්ලී' සිහිවෙලා 'මල්ලී' ගැන හොඳ හෝ නරක හෝ කැමැත්ත හෝ අකමැත්ත හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒ එන දුක 'මල්ලී කෙනෙක් මට හිටිය නිසයි', ඉන්න නිසයි අනාගතයටත් 'මල්ලී' එක්ක ජීවත්වෙන්න පුළුවන්කම තියෙන හින්දයි මට ඇත්ත වෙලා තියෙන්නේ.





හිටිය හින්දා, ඉන්න හින්දා, අනාගතයටත් ලැබෙන හින්දයි මට 'මල්ලී' ගැන සැපදුක් විඳින්න පුළුවන්. මට අතීතයේ දී හිටියෙත් නැත්නම් එහෙම කෙනෙක්, දැන් ඉන්නෙවත් නෙවෙයි නම්, අනාගතයටද නොඉන්නේ නම් මට ඒ අරබයා දුකක් එන්න හේතු නැහැ, දුකක් එන්න තැනක් නැහැ, දුකක් එන්න ඉඩ නැහැ. ඒ දුකේ නිරෝධය වෙන්නේ භව නිරෝධයෙන්. ඒ භව නිරෝධය සඳහායි අපි මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයෝ ඉගෙන ගන්නේ, සතිපට්ඨාන භාවනාව කරන්නේ ඒකට. ඒ කියන්නේ රූපය සතර මහා ධාතු යි, කන බොන ආහාරයෙන් හැදුණේ, අනාත්ම යි, කුණුප කොටස් ටිකක් වර්ණ සටහනක් කියලා බැලුවා. 'ආ මගින් ආපස්සට යනකොට' හොඳට තේරෙනවා, ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදින විදිහට භාවනා කරන්න ගිය දවසටයි සතිපට්ඨානය වඩපු එකේ ප්‍රතිඵලය කොච්චර ලාභයක් ද කියන එක ඔබට ලැබෙන්නේ.





ඔබ රූපය ගැන හොඳට කුණුප කොටස් වශයෙන්, ධාතු වශයෙන්, වර්ණ සටහනක් හැටියට හොඳට හිතලා හිතලා තිබුනානම් හරි. දැන් 'මල්ලී' කියලා සිහිවෙනවා (ඒ කියන්නේ භවය තියෙන තැන). සිහි වෙනකොට ‘ජාති’ වෙලා දුක ඇතිකර ගන්නවාද භව නිරෝධයට කටයුතු කරනවාද කියන දෙකක් දැන් තියෙනවා. මේ ‘මල්ලී’ කියලා සිහිවෙන අත්දැකීම මට හැදුණේ මෙහෙම නේද කියලා 'ආ මගින් යන්න බැරි වුනොත්' "ඔක්කන්ති නාමරූපං" වෙනවා. ඒ කියන්නේ 'මල්ලී' කියලා සිහිවීමත් සමගම දැකපු පැත්තට නැඹුරු වෙනවා ඔබව. ඒ කියන්නේ 'හිටියා, දැන් ගිහිල්ලා බලන්න පුළුවන්, අනාගතයටත් ඉන්නවා වෙනවා'. එතකොට ඇත්ත වෙනවා. එතකොට ‘ජාති’.





එතකොට ඇත්තම වෙලා, 'ඉන්න මල්ලී ගැන' හෝ 'ඉඳලා මැරුණු මල්ලී' ගැන හෝ ඔබට දුක් වෙන්න පුළුවන්. 'අම්මා, රන්, රිදී, මුතු, මැණික්' ඔබට සිහි වෙනවා කියන තැන භවය. හැම වෙලාවේම 'භවාංග සිත' කියලා කියන්නේ ඒකට. භවයේ අංගයක් වෙලා තියෙන සිත තමයි භවාංග සිත කියන්නේ. ඔබට 'අම්මා, තාත්තා, අයියා, අක්කා, දුව, පුතා, නංගි, මල්ලී' කියලා දැන් හිතන්න පුළුවන්. “නාමරූප පච්චයා විඤ්ඤාණං” කියන්නෙත් ඔතනට, 'විඤ්ඤාණ ඨිතියක්' කියන්නෙත් ඔතනට, 'භවාංග සිත' කියලා කියන්නෙත් ඔතනට, 'භවය' කියන්නෙත් ඔතනට, හිරගෙදර කියන්නෙත් ඔතනට.





ඒ සිහිකරන කොට ඔබ භව නිරෝධය පිණිස කටයුතු කරනවාද භව දුකක් විඳිනවාද (භවය නිසා ඔබ දුක් විඳිනවාද) කියන එක තියෙයි. ඒ කියන්නේ ඔබේ රත්තරන් ටික සිහි වුනා, සිහි වෙනකොට ‘රත්තරන්’ කියලා ‘මට මේක සිහි කරගන්න පුළුවන් නිමිත්ත හදලා දුන්න හැටි’ කියලා ඇස් ඉදිරිපිටට වර්ණ සටහනක් එනකොට ‘මේක රත්තරන් මේක මෙච්චර වටිනවා නේද' කියලා හිතුවහම, 'රත්තරං මෙච්චර වටිනවා' කියලා හිතන්න පුළුවන් නිමිත්තක් හැදුනා නේද, 'විඤ්ඤාණ ඨිතියක්' වුනා නේද, 'භවය' හැදුනා නේද කියලා ඔබ පෙන්විය යුතුයි.





එහෙම පෙන්වන කොට ඔබ දකිනවා 'මෙච්චර වටිනා රත්තරන් ගොඩාක්' කියලා සිහි කරන්න පුළුවන්, හැබැයි සිහි කරන්න පුළුවන් නිමිත්තේ ආපස්සට යනකොට ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියෙන්නේ වර්ණ සටහනක්, ඒ කියන්නේ විපාක ස්කන්ධ ටික - ඒකට තණ්හා, උපාදාන කෙලෙස් ටික එකතු කළහම ‘වටිනා රත්තරන්’ කියන එක හැදිලා තියෙන්නේ මිසක ස්පර්ශ ආයතන පැත්තේ, නැත්නම් විපාක ස්කන්ධ ටිකේ වටිනා 'රත්තරන් ගොඩක්' අතීතයේ තිබිලත් නැහැ, දැනුත් විඤ්ඤාණ ඨිතියක් වූ භවයම සිහිකර ගන්නවා කියලා දකිනකොට දැන් තියෙනවත් නෙවෙයි.





ආපහු මම බලන්න කියලා ගියොත් ඒ වර්ණ සටහන ඇස් ඉදිරිපිටට එනකොටම ‘අනේ මගේ මෙච්චර වටිනා රත්තරං ගොඩ’ කියලා මට ආපහු මේ වගේම දැන් මේ සිහිවෙන සිද්ධියම එදාටත් සිහිවෙයි. ‘අතීතයේදීත්, දැනුත්, අනාගතයේදීත් මම භවයම ඇසුරු කරලා තියෙනවා මිසක ස්පර්ශ ආයතන හයට ගිහිල්ලා නැහැ නේද’. ඔබට තේරෙයි හීනෙකින් වත් ඔබ ස්පර්ශ ආයතන හය එක්ක සම්මිශ්‍ර වෙලා නැහැ. ඔබ දකින වෙලාවෙදිත් ඒකට ‘වටිනා රත්තරන්’ කියලා භවය හදාගත්තා. (ඒක ඉස්සෙල්ලා භවය හදාගන්න හැටි). අතීතය ඔබට භවය හදාගන්න උපකාර වුණා. දැන් හැදිච්ච ඒ හිතේ අත්දැකීම (විඤ්ඤාණ ඨිතිය), භවයම සිහි කරගන්නවා ‘මට රත්තරන් ගොඩක් තියෙනවානේ’ කියලා.





ඔබට ‘ජාතිය’ වුනොත්, ‘ඇත්තටම මට තියෙන රත්තරන් ටික බලන්න යන්න ඕනේ’ කියලා ගියොත් මේ නිමිත්ත ඇත්ත වෙලා ආයෙත් ආයතන හයට ගිහිල්ලා, ස්පර්ශ වෙලා ඔන්න ඒ අරමුණ පෙනෙයි. පෙනෙන කොටම ආයෙත් කෙලෙස් එකතු කරන්න ඕනේ නැහැ කෙලින්ම භවයම සිහිකර ගන්නවා ආපහු දකිනකොට ‘මගෙ රත්තරන් ගොඩ’ කියලා. එතකොට ඔබට අනාගතයටත් දැන් සිහි කරන්න පුළුවන් භවයම හම්බ වෙනවා. එක අරමුණක් එක වෙලාවකට විතරයි අපිට විඤ්ඤාණ ඨිතියක් කරගන්න අවශ්‍ය වුනේ ඊට පස්සේ තුන් කාලයෙන්ම ඒ 'විඤ්ඤාණ ඨිතිය' හම්බ වෙනවා.





මධුපිණ්ඩික සූත්‍රයෙන්





ඔය සිද්ධිය හොඳට පෙන්නනවා මජ්ඣිම නිකායේ - මධුපිණ්ඩික සූත්‍රයෙන්. "චක්‌ඛුඤ්‌චාවුසො, පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො ඵස්‌සපච්‌චයා වෙදනා” ඔන්න දැන් අනාත්ම ස්කන්ධ වූ ඇහැ රූප, චක්‌ඛුවිඤ්‌ඤාණ ආදී තුන්දෙනාගේ ස්පර්ශ නිසා වේදනාව ඇතිවෙනවා. "යං වෙදෙති තං සඤ්‌ජානාති” යමක් විඳියිද එය හඳුනනවා. “යං සඤ්‌ජානාති තං විතක්‌කෙති” යමක් හඳුනයි ද එයට ඔබ හිතනවා. “යං විතක්‌කෙති තං පපඤ්‌චෙති” යමක් විතර්ක කරයිද ඔබට ප්‍රපඤ්ච වෙනවා (භවය හැදෙනවා). ඔන්න දැන් 'අම්මා, තාත්තා, රත්තරන්, මිල මුදල්' කියලා ඔබට හම්බ වෙලා.





“තතොනිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු චක්‌ඛුවිඤ්‌ඤෙය්‍යෙසු රූපෙසු". ඒ කරුණම මුල්වෙලා එදා ඉදන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඇසින් දතයුතු රූපයන් කෙරෙහි ඒ ප්‍රපඤ්ච සඤ්ඤා සංඛාරයන්ම ඇසුරු කරනවා.





මධුපිණ්ඩික සූත්‍රය ‘මිහිරි අග්ගලාවක් වගෙයි’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මධුපිණ්ඩික සුත්‍රයට අනුව ඇහැත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණය නිසා චක්ඛු සම්ඵස්සය ඒ නිසා වර්ණ සටහනක් ආවේ. උදාහරණයකට ටීවී එකේ රූපයක් අපිට පේනවා කියන තැන ගන්නකො. අපි ඒ වර්ණ සටහන මීට කලින් දැකලා නැහැ කියලා හිතන්නකෝ.





"යං වෙදෙති තං සඤ්‌ජානාති” - යමක් විඳියිද එය හඳුනනවා ඒ කියන්නේ ටීවී එකේ තියෙන අනාත්ම වූ රූ සටහන හඳුනනවා. ඒ තුල පුද්ගල, සත්ව බවක් ඇත්තේ නැහැ. “යං සඤ්‌ජානාති තං විතක්‌කෙති” - හඳුනන එකට හිතනවා, "ආ, මේ අමරදේව මහත්මයා" කියලා හිතුවා. ටීවී එකේ පෙනන රූපයට තමයි හිතුවේ, පියවියෙන් කවදාවත් අපි දැකලා නැහැ.“යං විතක්‌කෙති තං පපඤ්‌චෙති” - ඒ විතර්කය අපිට විඤ්ඤාණ ඨිතියක් වුනා 'මේ හැඩය අමරදේව මහත්මයාගේ' කියලා දැනුමක් හිතට ආවා.





දැන් ටීවී එක ක්‍රියා විරහිත කළහම තිරයේ රූප සටහනත් දැන් නැහැ. මම හිතපු සිද්ධාන්තයත් අතහැරුණා. ඒ පැත්ත එහෙම ඉවර වුනාට නමුත් මේ 'අමරදේව මහත්මයා' කියලා සිහි කරන්න පුළුවන් හිතට ආපු අත්දැකීම කියන්නේ 'භවය හැදුනා' කියන එක. දැන් ඒක හිතට සිහි කරන්න පුළුවන්. “තතොනිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු චක්‌ඛුවිඤ්‌ඤෙය්‍යෙසු රූපෙසු".- ඒ කාරණාව මුල්වෙලා අතීත, අනාගත, වර්තමාන වශයෙන් ඇසින් බලා දතයුතු රූපය කෙරෙහි ඒ පුරුෂයාව යට කරනවා ඒ ප්‍රපඤ්‌ච සඤ්‌ඤාසඞ්‌ඛාරයෙන් (භවය). ආයේ දවසකදී ඒ රූපය දැක්කොත් ක්ෂණිකවම 'අමරදේව මහත්මයා' කියලා සිහි වෙනවා. ඒද එතකොට දැන් මේ හදාගත්ත භවයම සිහිකර ගත්තා (ප්‍රපඤ්‌ච සඤ්‌ඤාසඞ්‌ඛාරයම) සිහිකර ගත්තා මිසක ස්පර්ශ ආයතනයට කිට්ටු වෙලාවත් නැහැ.





අතීතයේදීත් එහෙමයි, ඉස්සෙල්ලාම රූපය හදාගත්තට පස්සේ එදා ඉදන් ප්‍රපඤ්‌ච සඤ්‌ඤාසඞ්‌ඛාරයම අපි ඇසුරු කරනවා මිසක (භවයම ඇසුරු කරනවා මිසකම, භවය තුලම ඉන්නවා මිසක, භවයේම සැරිසරනවා මිසක, භව දුකම විඳිනවා මිසක) වෙන කිසිම විදිහකින් දශමයකටවත් අපි එහාට මෙහාට යන්නේ නැහැ. අරමුණ, විඤ්ඤාණ ඨිතියක් වෙලා භවය හැදුනොත් 'ජාතිය' වෙනවා කියලා කියන්නේ තව අවුරුදු දහයකින් දැක්කත්, කල්පයකින් දැක්කත්, දකිනකොටම 'අමරදේව මහත්මයා' කියලා හිතෙනවා. එහෙම හිතෙනකොට, මේ රූපය දකිනකොට අමරදේව මහත්මයා කියලා භවයම සිහිකර ගත්තා නේද කියලා පෙන්නන්න අපිට හයිය නැහැ. එතකොට වෙන්නේ ක්ෂණිකව පෙනෙන පැත්තට නැඹුරු වෙච්ච ගමන් 'පෙනෙන රූපය අමරදේව මහත්මයා' කියලා මට ලෝකේ ඇත්ත වෙලා මේ තියෙන්නේ.





මට ඒ සත්ව නිකාය හැදිලා තියෙන්නේ මෙහෙම. ගොඩාක් ගැඹුරුයි මම මේ කියන ටික. හැබැයි මම දන්නවා ඕගොල්ලොන්ට මේක තේරුනොත් නෙළුම් කොළයකට වතුර දැම්මොත් දශමයක්වත් වතුර බිඳුවක් ඉතුරු වෙන්නේ නැහැ වගේ ජීවිතයේ දුක දශමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මගේ මනස ලෙහෙසියකට කම්පාවෙන කමක් නම් නැහැ. මේ දර්ශනය ඕගොල්ලෝ කරලා බලන්න. ඕගොල්ලොන්ට තේරෙයි මේ වගේ දර්ශනයක් තියෙන මනසක් මොන වගේ මනසක් වෙයිද කියන එක. මේ වගේ දර්ශනයක් තියෙන මනසකට කම්පාවක් ඇති වුනොත්, ඇතිවෙනවා නම් නිවන දැක්ක අයත් කම්පා වෙනවා කියයි.





සළායතන නිරෝධය කියලා කියන්නේ - "සීතිභුතොස්මි නිබ්බුතො", "මම නිවුනේ වෙමි, සිසිල් වුයේ වෙමි" කියන පණිවිඩය කියන්න පුළුවන්. බොහොම සතුටුදායක මනසකින් ඉන්නේ මම. මේ සිද්ධාන්තයන් අනාගතයේ ගොඩාක් සරලව පැහැදිලි කරලා දෙන්නයි හිතුවේ. නමුත් මට හිතුනා, අද පොසොන් පොහොය නේ. අපිට නිවීමේ පණිවිඩය ලැබුණ අද වගේ පොසොන් පොහොය දවසක මේ නිවීමේ පණිවිඩය කියලා දෙන එක හොඳයි කියලා. හැබයි මම දන්නවා, හෙට දවසේදී සිය දහස් ගුණයකින් මේක තව අළුත් වැඩියා වෙලා ඕගොල්ලොන්ට කියලා දෙන්න පුළුවන් වෙයි. නමුත් ඕගොල්ලෝ අතර යම්කිසි කෙනෙක් ඇස් තියෙනවා නම්, බුද්ධිමත් නම් සළායතන නිරෝධය, ලෝක නිරෝධය, භව නිරෝධය මේ දැන් ඔබේ මනස තුලින් ඔබට අත්විඳින්න පුළුවන් කිංසුකොපම සුත්‍රයට අනුව 'ආ මගින්ම ගිහින්'.





ඔබ ලෝකය ඉතුරු කරලා දුක් වෙනවා නම් ඒක ඔබේ දෝෂය. ඔබ දුක් වෙන්නේ භවය තුල ඉන්නවා නම්, ලෝකය ඉතුරු කරගන්නවා නම්, ලෝකය හදාගන්නවා නම්. ඔබට හා මට, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බණ අහමින් දුක් විඳින්න නෙමෙයි. දුක නිවාගන්න ලෝක නිරෝධයක් කරගන්න එකට. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මාර්ගයත් කියලා දීලා තියෙයි. ඒ නිසා බය නැතුවම ඕගොල්ලොන්ට මතක් කරනවා එක දෙයක්. මේ ලෝකයාට හැම වෙලාවකම අතිශයම කෘර වූ කටුක වූ අභාග්‍යවන්ත සිද්ධි ලෝකෝත්තර මනසට මංගල කාරණා. මුළු ලෝකයකටම අවාසනාවන්ත අවස්ථාවක් වන මරණය මගේ බුදු හාමුදුරුවන්ට මංගල කාරණාවක් වුනා.





ඒ වගේ මුළු ලෝකයකටම අවාසනාවන්ත සිද්ධිවන අතපය කැපෙනවා, කැඩෙනවා කියන එක. හැබැයි විමුක්ති මනසකට මම හිතන්නේ නිවන් දොරටුවට තල්ලු කළා වගේ. ඇයි වැඩ කටයුතු වලින් තමන්ට තියෙන අපහසුකම් වලින් බේරලා මේ වගේ. නිදහසේ ඉන්න එකක් හදලා දෙන්න පුළුවන් නම් එයා ඒක නිවනට මග කරගනී. සත්පුරුෂයාට තේරෙන්නේ භවයයි හිරගෙදර කියලා. දෙපැත්ත අපිට හැම වෙලාවේම මාරු වෙලයි තියෙන්නේ. අපි දන්නේ නැහැ මේ ලෝකයයි හිර ගේ කියලා. 'අම්මා කෙරෙහි, තාත්තා කෙරෙහි, බඩුමුට්ටු ආදී දකින දකින දේ තුල කොහොල්ලෑ වගේ බැඳිලා බැඳිලා භවයෙන් මිදිලා යන්න නොදී මේ භවය ඇතුලෙම තියාගෙන ඉන්න මේ මානසික මට්ටමයි අපිට හිර ගේ.





කාටද යන්න පුළුවන් මේවායෙන් මිදිලා? අපි රූප දකිනකොට ඔන්න පුටු ගෙවල් වලට ආසයි, වත්තට ආසයි, කුඹුරට ආසයි කියලා මෙහෙම මෙහෙම බැඳිලා තියෙයි, හැබැයි ඔබ ඒකාන්තයෙන්ම පහසුවෙන්ම කෙළෙස් ගංගාව තරණය කරනවා මේ නිවැරදි ක්‍රමය කළොත්. අපි නිවැරදි ක්‍රමයට ඇවිත් තිබුනේ නැහැ මෙච්චර කල්. අපි ස්පර්ශ ආයතන හයේ අනාත්මය බලනවා. එහෙම අනාත්ම බව බලන්නේ මොකටද කියලා අපි හරියට දන්නේ නැහැ, ඔහේ ඉතින් බලනවා, රූපය සතර මහා ධාතුයි, වේදනා, සඤ්‌ඤා, චේතනා ස්පර්ශය නිසා හටගන්නවා. විඤ්ඤාණය නමාරූප නිසා හටගන්නවා කියලා ස්කන්ධයන්ගේ උදය වැය බල බලා ඉන්නවා.





නමුත් මෙහෙම බලන එක භව නිරෝධයටයි උපකාර වෙන්නේ, මේ අනාත්මය දකිනකොට, මම මෙහෙම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා සක්කාය නිරෝධයට හිත බැසගන්නවා. එහෙමයි නිවන් දකින්නේ කියලා අපි දන්නේ නැතුව, ස්පර්ශ ආයතන හය අනාත්මයට අනුව බලනකොට කෙලෙස් දුරුවෙයි නිවනට හිත බැසගනී කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම නෙමෙයි, භව නිරෝධය නිවනයි





මතු සම්බන්ධයි





අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 05/06/2020 පොසොන් පුර පසලොස්වක පොහොය දින කිංසුකොපම සුත්‍රය ඇසුරෙන් සිදුකළ දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 එක ලබාගැනීමට
https://drive.google.com/file/d/1D8udkQZP5CN3lt5-NuIZ3Zfn2F1qZEVj/view?usp=drivesdk





දේශනාවේ පළමු කොටස කියවීමට
https://www.facebook.com/dhamma.chakkhun.udapadi/photos/a.1353537201503577/1353542041503093/





දේශනාවේ දෙවෙනි කොටස කියවීමට
https://www.facebook.com/dhamma.chakkhun.udapadi/photos/a.1353537201503577/1360841644106466/





දේශනාවේ තෙවෙනි කොටස කියවීමට
https://www.facebook.com/dhamma.chakkhun.udapadi/photos/a.1353537201503577/1365016953688935/


Comments