සිත යනු කුමක් ද?


පුද්ගලයාගේ සිත උපතින්ම ප්‍රභාස්වරය, පැහැපත්ය, පවිත්‍රය, නිර්මලය. ආගන්තුක වූ උපක්ලේෂවලින් එය කිලිටි බවට පත් වේ (පභස්සරමිදං ඛෝ භික්ඛවේ චිත්තං තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨන්ති).
පුද්ගලයා ක්‍රියාවට මෙහෙයවන්නේ චිත්තයයි. චිත්තය විසින් ලොව හසුරුවනු ලබන නිසාත්, අදිනු ලබන නිසාත් සැම දෙනාම චිත්තය නම් වූ එකම දහමට වසඟව සිටියි (චිත්තේන නීයතී ලෝකෝ -චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒකධම්මස්ස - සබ්බේව වසමන්වගු).
මේ අනුව සිත ලෝකය පවත්වාගෙන යන බවත්, පෘථග්ජන සියල්ලන් සිතෙහි වසඟයට යෑම ස්වාභාවික ධර්මතාවක් බවත් අනාවරණය වේ. සිතෙහි ස්වභාවය නම් ක්ෂණයක් පාසා වෙනස් වන බවයි. සිතෙහි මේ වෙනස් වීම හා සැසඳීමට උපමාවක්ද දැක්වීමට දුෂ්කර බව බුදුරදුන් පෙන්වා දී ඇත. සිතෙහි ත්‍රිලක්ෂණානු ස්වරූපය පිළිගන්නා බුදුසමය එහි පදාර්ථමය, අමරණීය ස්වරූපයක් නැති බව අවධාරණය කරන බව පෙනේ. සිතෙහි ස්වභාවය ධම්මපදයෙහි විශේෂිත පද රාශියකින් සාකච්ඡා කරයි.





සිතෙහි ක්‍රියාකාරිත්වය





සිත පුද්ගලයාගේ ආධ්‍යාත්මික හා බුද්ධිමය හැසිරීම තුළ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන බව බෞද්ධ විශ්වකෝෂයේ අදහසයි. නුපුහුණු ලෞකික පුද්ගලයාගේ සිත අවශ්‍යතා සහ හැඟීම්වලින් පිරී පවතී. මෙලෙස පවත්නා සිතෙහි ගුණාංග ඉතා පුළුල්ව විග්‍රහ කරන පාලි නිකායගත සූත්‍ර විවරණවලට අනුව සිතෙහි ක්‍රියාකාරිත්වය ප්‍රධාන අංශ 3කින් විග්‍රහ කළ හැකිය:





1. වේදනා





2. සඤ්ඤා





3. චේතනා





(සඤ්ඤා ච වේදනා ච චේතසිකා ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා). මේ ත්‍රිවිධ අංශය මඟින් සිතෙහි බලපෑම් සහගත අංශය ගුණාත්මක අංශය, ඉච්ඡාමය අංශය ක්‍රියාත්මක වන්නේ වෙන් වෙන්ව නොව; එකිනෙක ප්‍රත්‍ය වෙමින් එකට එක් වෙමිනි. සිතේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විග්‍රහ කරන සූත්‍ර දේශනාවන්හි චිත්ත යන පදය සමග ක්‍රියාපද විශාල සංඛ්‍යාවක් යෙදී ඇත. මෙලෙස චින්තේති (සිතයි) යන ක්‍රියාපදයේ සිට චිත්ත හා බැදුණු ඉදිරියට යෑම, අල්ලාගැනීම, බැහැර කිරීම යනාදි ක්‍රියාවලි සංයුත්තනිකායේ පමණක් 30කට වඩා වැඩි බව මහාචාර්ය ඩබ්. ඇස්. කරුණාරත්න මහතා පෙන්වා දෙයි.





මහාතණ්හාසංඛ්‍ය සූත්‍රය සිතෙහි ක්‍රියාකාරිත්වය පෙන්වා දෙන්නේ “මහණෙනි, යම් සේ වානරයෙක් වනයෙහි නිදැල්ලේ හැසිරෙන්නේ, ගසක අත්තක් අල්ලා මුලින් ගත් අත්ත අත්හරින්නේද, එපරිද්දෙන් මේ සිතද දිවා-රාත්‍රී දෙක්හි එක් අරමුණක් ගනී. අනෙකක්ම අත්හරී” යනුවෙනි. සිතෙහි ක්‍රියාකාරිත්වය මනාව පැහැදිලි කරන චිත්ත සූත්‍රය “චිත්තේන නීයති ලෝකෝ” යනුවෙන් පෙන්වා දෙන්නේ සිතෙහි අවශ්‍යතාව මත පුහුදුන් පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වයද තීරණය වන බවයි.





සිතෙහි හේතු-ඵල නියාමය





සිත පිළිබඳ බෞද්ධ ඉගැන්වීම අධිභෞතික චින්තනයෙන්ද ඉවත් වේ. එයට ප්‍රධානම හේතුව නම්, බෞද්ධ චිත්ත විග්‍රහය හේතු-ඵල සිද්ධාන්තය අනුව ඉදිරිපත් වී තිබීමය. පශ්චාත්කාලීන බෞද්ධ ගුරුකුල තරමක් වෙනස් කර ඉදිරිපත් කළද සිත ධම්ම යන සාමාන්‍ය තත්ත්වයට අයත් වන අතර, එය පංචස්කන්ධය සමඟ ප්‍රත්‍ය වෙමින් පවතී. මධුපිණ්ඩික සූත්‍රයේ ඉන්ද්‍රිය හා ඒවායේ ආරම්මණ තුළින් ඊට අදාළ විඤ්ඤාණයේ පහළ වීම නිසා ඵස්ස, වේදනා, සංඥා, විතක්ක යන ක්‍රියාවලිය තුළින් පුද්ගලයා ප්‍රපඤ්ච ගොඩනගන අයුරු ඍජුවම සිත හා සම්බන්ධ කොට දිව යන්නේ හේතු-ඵල නියාමයට අනුවයි.





පුහුදුන් පුද්ගලයා බොහෝ විට සිතග හඳුනාගත්තේ ආත්මවාදි ග්‍රහණයකිනි. මෙයට ප්‍රධාන හේතුව ලෙස බුදුසමය දක්වන්නේ දීර්ඝකාලයක් මුළුල්ලේ තම කය හා දිවා රාත්‍රි දෙකෙහි සිතිවිලි උපදවමින් පැවතීම නිසා “මෙය මගේය, මෙය මගේ ආත්මය” යනාදි දෘෂ්ටි ග්‍රහණය කරගැනීමයි. එහෙත් සූත්‍රගත විචාරණවලින් ඉදිරිපත් කරනු චිත්තයේ හේතු-ඵල නියාමය අවබෝධ කරගැනීමෙන් සිත හා බැඳුණු ආත්මවාදි අදහස් ඉවත් කරගත හැකිය.





ආදි බෞද්ධ සූත්‍රාගත චිත්ත වර්ගීකරණ





ආභිධම්මිකයන් අභිධර්ම පිටකයෙන් හා පශ්චාත් පේටක අභිධර්ම සාහිත්‍යයෙන් සංවර්ධනය කළ චිත්ත හා ඒ හා බැඳුණු චෛතසික වර්ගීකරණ සංවර්ධනය කළේ චිත්ත වර්ගීකරණ පිළිබඳ සූත්‍රාගත විවරණවලට අනුකූලව බව නිදසුන් රැසකින් තහවුරු වේ. සිතෙහි ස්වභාවය අනුව ඉහත කළ වර්ගීකරණයට අමතරව ධම්මපදයේ සදහන් සිතේ දියුණුව නිර්ණායක කොටගත් තවත් බෙදීමක් පහත පරිදි වේ:





1. භාවිත චිත්තය





2. අභාවිත චිත්තය





භාවිත චිත්තය සිතේ ධනාත්මක අංශයත්, අභාවිත චින්තය සිතේ ඍණාත්මක අංශයත් නිරූපණය කරයි. සිතේ පවත්නා මේ ප්‍රතිජානාත්මක අංශද්වය අනුව ඉදිරියට යන සතිපට්ඨාන සූත්‍රයේ සිත සොළොස් වැදෑරුම් (16) විශ්ලේෂණයකට භාජනය කරයි:





1. සරාග චිත්ත
2. විරාග චිත්ත
3. සදෝස චිත්ත
4. විතදෝස චිත්ත
5. සමෝහ චිත්ත
6. විතමෝහ චිත්ත
7. සංඛිත්ත චිත්ත
8. වික්ඛිත්ත චිත්ත
9. අමහග්ගත චිත්ත
10. මහග්ගත චිත්ත
11. සඋත්තර චිත්ත
12. අනුත්තර චිත්ත
13. සමාහිත චිත්ත
14. අසමාහිත චිත්ත
15. විමුක්ත චිත්ත
16. අවිමුත්ත චිත්ත





චිත්ත විශුද්ධිය හා විමුක්තිය





‘පවිත්‍ර වීම’, ‘පවිත්‍ර කිරීම’ (Purification) යන අර්ථයන්හි යෙදෙන ‘විසුද්ධි’ යන්නෙන් ‘අපවිත්‍ර කාරකවලින් පිරිසුදු වීම’ යන්න අදහස් වේ. ‘නිදහස් වීම’, ‘නිදහස් කිරීම’ (freedom, emancipation, liberation) යනාදී අරුත් ‘විමුක්ති’ යන පදයෙන් ගම්‍ය වේ. ‘විසුද්ධි’ හා ‘විමුක්ති’ යන පද දෙක ඇසුරෙන්ම බුදුසමය සාකච්ඡා කර තිබෙන්නේ පුද්ගලයාගේ කායික හා මානසික අංශද්වයේ දියුණුවයි. මෙයින් මානසික විශුද්ධිය නොහොත් චිත්ත විශුද්ධිය බුදු සමය අවධාරණය කරන්නේ පුද්ගල පරමාර්ථය වන නිර්වාණය, චිත්ත විශුද්ධිය, චිත්ත විමුක්තිය තුළින් අත්පත් කරගත යුත්තක් බැවිනි. මේ අනුව පැහැදිලි වන්නේ බුදුසමය චිත්ත විශුද්ධිය, විමුක්තිය සාකච්ඡා කරනුයේ විශුද්ධි මාර්ගයක් නොහොත් විමුක්ති මාර්ගයක් ලෙස බවයි. ශරීරය රෝගාතුර වුවත් සිත රෝගාතුර වීම බරපතළ කරුණක් ලෙස සැලකීම මෙයට කදිම නිදසුනකි (ආතුරෝ කායෝ ආතුරෝ චිත්තෝ).





ලෝකයෙහි ප්‍රධාන ධාතුව වූ චිත්තය ශුද්ධ වූ කල්හි එයින් සත්ත්වයා සැපතටද අශුද්ධ වූ කල්හි දුකටද පත් වේ. බෞද්ධ සූත්‍රාගත විවරණවලට අනුව චිත්ත විශුද්ධියට බාධා කරන්නේ කෙලෙස්ය. සංස්කෘත භාෂාවේ ක්ලේෂ ලෙසත්, පාලි භාෂාවේ කිලෙස ලෙසත් හැඳින්වෙන මෙහි සංකිලේස, උපක්ලේෂ යනාදිය පර්යාය පද වේ. මෙහි අරුත නම් ‘අපවිත්‍ර’, ‘කිලිටි’ යන්නයි. කිලේස පෙළ දහම තුළ අවධාරණය වන්නේ සිතේ ක්‍රියාකාරිත්වයට ඍණාත්මක බලපෑම් කරන ප්‍රබල සාධකයක් ලෙසය. සිත කිලිටි වූ කල්හි එය දුගතියට යොමු වන බව (චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පටිකංඛා) වත්ථූපම සූත්‍රයේ දැක්වේ. බුදුරදුන් මෙහිදී පෙන්වා දෙන්නේ පිරිස‍ුදු වස්ත්‍රයක් කැමැති ලෙස පහසුවෙන් වර්ණ ගන්වන්නාක් මෙන් නොකිලිටි සිත යහපතට යොමු වන බවයි. මෙලෙස සිත කිලිටි වීමට මූලික හේතුව නම් පුද්ගලයා ප්‍රතිවේධාත්මක ඥානයෙන් දුර්වල වීමය. මේ ප්‍රතිවේධමය කාරණය දුබල කරන ආස්‍රව හෙවත් ක්ලේශ ධර්ම 16ක් වත්ථූපම සූත්‍රයේ සඳහන් වේ:





1. අභිජ්ඣා - දැඩි ලෝභය
2. ව්‍යාපාද - ද්වේෂය
3. කෝධෝ - කෝපය
4. උපනාහෝ - බද්ධ වෛරය
5. මක්ඛෝ - ගුණමකුකම
6. පලාසෝ - ගුණවතුන් හා තමා සම කොට සිතීම
7. ඉස්සා - ඊර්ෂ්‍යාව
8. මච්ඡරිය - මසුරු කම
9. මායා - චාටු බව
10. සාඨෙය්‍ය - කපටි බව
11. ථම්භෝ - තද ගතිය
12. සාරම්භෝ - අනුන් අබිබවා යෑමේ ආශාව
13. මානෝ - මානය
14. අතිමානෝ - අතිමානය
15. මදෝ - ජාති, කුලභේද ආදියෙන් මත් වීම
16. පමාදෝ - කාමයන් නිසා පසුබට වීම





පාලියේ ‘වි’ පූර්ව මුක්ත යන්නෙන් තැනී ඇති ‘විමුක්ත’ යන්නට ‘මොක්ඛ’ යන්නද පර්යායකි. කෙලෙස්වලින් පිරිසිදු වීම විසුද්ධි යන්නෙන් අදහස් කරන දේම ආසව ආදි සිත පහළට ඇද තබන ධර්මයන්ගෙන් නිදහස් වීම විමුක්ති යන්නෙන් අදහස් කරයි. ආස්‍රව පමණක් නොව; චිත්ත විමුක්තියට බාධා පමුණුවන නීවරණ, තණ්හා, සංයෝජන, ඕඝ, අනුසය, උපාදාන, යෝග, ග්‍රන්ථ බන්ධන, පාස, සංග, ප්‍රපඤ්ච, උපධි, මච්ඡරිය, විපල්ලාස, අගති, පරාමාස, මල යනාදිය පිළිබඳවද බුදුසමය විවරණ රැසක් ඉදිරිපත් කර තිබෙනු ආදි සූත්‍රාගත විවරණවලින් පෙනී යයි.





බුදුරදුන් පුද්ගලයාගේ චිත්ත පරිශුද්ධිය සඳහා අනුගමනය කළ ප්‍රතිකාර ක්‍රම 2ක් පෙළදහමේ සඳහන් වෙයි:





1. ආර්ය වමනය
2. ආර්ය විරේචනය





වෙදෙක් වා-පිත්-සෙම් ආදියෙන් හටගත් රෝග සමනය කිරීමට වමනයද විරේචනද භාවිත කරන්නේ යම් සේද; තමන් වහන්සේද ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්, උපායාස ස්වභාව කොට ඇති සත්ත්වයා මුදාගැනීම සඳහා ආර්ය වමනය හා ආර්ය විරේචනය ලබාදෙන බව අංගුත්තර නිකායේ සඳහන් වේ. මිථ්‍යාදෘෂ්ටි, මිථ්‍යා සංකල්ප ආදිය විරේචනය කොට සියලු කෙලෙස් වමනය කරවීම සඳහා බුදුරදුන් විසින් සොයාගන්නා ලද පිළියම් රැසක් මේ සඳහා ඇති අතර, මේ සමස්ත සූත්‍ර දේශනාවල හරය මිලින්ද ප්‍රශ්නයේ සඳහන් වේ. ඒ පිළියම් නම් ‘සතර සතිපට්ඨානය’, ‘සතර සම්‍යක්ප්‍රධාන’, ‘සතර සෘද්ධිපාද’, ‘පංච ඉන්ද්‍රිය’, ‘පංචබල’,‘සප්ත බොජ්ඣංග’ හා ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය’ යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. චිත්ත පාරිශුද්ධිය ලබනු වස් ඉහත කී විවිධ බෝධිපාක්ෂික ධර්ම කමටහන් කොටගෙන භාවනාවේ නියැළුණු භික්ෂූන් පිළිබඳ තොරතුරු මජ්ක්‍ධිම නිකායේ ආනාපානාසති සූත්‍රයේ සඳහන් වේ. මේ ඉගැන්වීම් කෙලෙස් ප්‍රහාණය කොට විශුද්ධිය ලබාගැනීමෙහි ලා දක්වන විශිෂ්ට දායකත්වය සංයුත්තනිකායේ (නීවරණ, කිලෙස, මග්ග, ආසව, සමුග්ඝාත, අනුසයප්පහාන, අනුසයසමුග්ඝාත, සබ්බුපාදාන පරිඤ්ඤා, සුද්ධි පරිසුද්ධ, තණ්හා, යෝග, ග්‍රන්ථ ආදි) සූත්‍ර ගණනාවකින් පෙන්වා දී තිබේ. එහෙත් සියලු දුක් නැති කොට (සබ්බ දුක්ඛ නිස්සරණ) නිවන් අත් කරගැනීමේ පරමාභිලාෂය සංයුත්තනිකායේ පමණක් නොව; සෑම සූත්‍රදේශනාවකම පාහේ දක්නට ලැබෙන බව කිව යුතුය.





සියලු සංස්කාර ධර්ම අනිත්‍යය (සබ්බේ සංඛාරා අනිච්චාති), දුක්ඛය (සබ්බේ සංඛාරා දුක්ඛාති) හා සියලු ධර්ම අනාත්මය (සබ්බේ ධම්මා අනත්තානි) යනුවෙන් නුවණින් දැක (යදා පඤ්ඤාය පස්සති) මේ දුකෙහි කලකිරෙන්නේ ද (අථ නිබ්බින්දති දුක්ඛේ) එය විශුද්ධිය පිණිස හේතු වන බව (ඒස මග්ගෝ විසුද්ධියා) බෞද්ධ විශ්වාසයයි. චිත්ත පරිශුද්ධිය ජනිත කරගැනීම සඳහා බෞද්ධයා අනුගමනය කළ යුතු ‘අධිශීල’ ‘අධිචිත්ත’ හා ‘අධිපඤ්ඤා’ සංඛ්‍යාත අනුපූර්ව ශික්ෂා අර්ථ ක්‍රියාකාරිත්වයෙන් අනුපාදා පරිනිබ්බාණය පෙන්වන සප්ත විශුද්ධියක් (7) මජ්ඣිම නිකායේ රථවිනීත සූත්‍රයේ පෙන්වා දෙයි:





1. ශීල විශුද්ධිය
2. චිත්ත විශුද්ධිය
3. දිට්ඨි විශුද්ධිය
4. කංඛාවිතරණ විශුද්ධිය
5. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය
6. පටිපදා ඤාණදස්සන විශුද්ධිය
7. ඤාණදස්සන විශුද්ධිය ආදියයි.





කායික, වාචසික පරිශුද්ධියෙන් ඇරඹී ආධ්‍යාත්මික විමුක්තිය යටතේ ගැනෙන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යනාදි මාර්ගඵලවලින් අවසන් වන්නේ මානසික පවිත්‍රතාව දක්වා අනුගමනය කළ යුතු අනුක්‍රමික ක්‍රියා සන්තතියක් උපයෝගි කරගැනීමෙන් බව මෙයින් පැහැදිලි වේ. පුද්ගල මනස අපවිත්‍ර කරන විඝාත පරිළාහයක් හෙවත් විනාශක පරිදහනයක් ලෙස හැඳින්වෙන ආස්‍රව දුරු කළ හැකි ක්‍රම 7ක් සබ්බාසව සූත්‍රයේ දී පෙන්වා දී තිබේ:





1. දර්ශනයෙන් (දස්සන)
2. සංවරයෙන් (සංවර)
3. ප්‍රතිසේවනයෙන් (පටිසේවන)
4. ඉවසීමෙන් (අධිවාසනා)
5. පරිවර්ජනයෙන් (පරිවජ්ජනා)
6. මුදාහැරීමෙන් (විනෝදනා)
7. භාවනාවෙන් (භාවනා)





මේ අපිරිසිදු ක්ලේශ ධර්මයන් නිසා මතු වන කායික - මානසික ගැටලු (නොහොත් රෝග) 44ක් සල්ලේඛ සූත්‍රයේ සඳහන් වන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ගුණයන්ගෙන් සිත පිරිසුදු කරගැනීමට උපදෙස් දෙමිනි. එබැවින් පුද්ගල මනසෙහි පවිත්‍රත්වය අවධාරණය කරන බුදුසමය ම‍‍ඬෙහි ගැලුණු ඇතු මෙන් කෙලෙස් ගොවුදෙන් ගොඩ ගැනීමට උපදෙස් දෙන්නේ පවිත්‍රත්වය විෂයයෙහි සිත ආරක්ෂා කළ යුතු බව දක්වමිනි (අප්පමාදරතා හෝථ සචිත්තමනු රක්ඛථ, දුග්ගා උද්ධරථතත්ථානං පංකේ සන්තෝව කුඤ්ජරෝ). බොහෝ පින් ඇති පුද්ගලයකු වුව මරණාසන්න කාලයේ කෙලෙසුන්ගෙන් දූෂිත වූ සිතින් විසුව හොත් ඔහු නරකයෙහි උපදනා බව (චේතෝපදේස හේතු පන භික්ඛවේ ඒවම්ධේකච්චේ සත්තා කායස්ස භේදා ජරාමරණා අපායං දුග්ගතිං විනීපාතං නිරයං උපපජ්ජන්ති) අංගුත්තරනිකායේ දැක්වේ. යමෙක් සිත සිත කිලිටි නොකර මනා කොට රැකගන්නේද එයින් ලැබෙන යහපත තම මවුපිය ඥාතීන්ගෙන් ලබන යහපතට වඩා උතුම්ය (නතං මාතා පිතා කයිරා - අඤ්ඤේ වාජීව ඤාතකා, සම්මා පණිහිතං චිත්තං - සෙය්‍යයෝ නං තථෝ කරේ).





මුව විට දක්වා තෙල් පිරවූ පාත්‍රයක් තෙල් නොඉසිරෙන ලෙස සිහියෙන් රැගෙන යන ආකාරයට කිසි කලෙකත් නොගිය නිවසට යෑමට කැමැති තැනැත්තා සිය සිත කිලිටි නොවන ලෙස සිහියෙන් ආරක්ෂා කරගත යුතුය (සමත්තික අනවසේසකං ජාතකතෛ්ලප්පතං යථා පරිහරෙය්‍ය, ඒවං සචිත්ත මනුරෙක්ඛේ පත්ථයාතෝ දීඝං අහත පුබ්බං). චිත්ත විමුක්තිය, විශුද්ධිය අනුව යමින් බුදුසමය ඉදිරිපත් කරන චිත්ත ‘ධර්ම ශාස්ත්‍රය’ පරිපූර්ණ වී ඇත්තේ මෙහි සමස්ත චිත්ත සංකල්පයට සදාචාරාත්මක අංශය කෙරේ යොමු කොට ඇති බැවිනි.

සිලුමිණ පුවත්පතේ ලිපියක් ඇසුරින්...





ලිපියේ කතෘ
දිල්ශාන් මනෝජ් රාජපක්ෂ
කථිකාචාර්ය, බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.


Comments