ඛජ්ජනීය සුත්‍රය


නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස





ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, හැම දෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම්වන මොහොත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකින් මිදීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය බිඳක් නමුත් ස්වල්පයක් ශ්‍රවණය කරගැනීමට ලැබීමත් ඉතාම දුර්ලභ කරුණක්. එදා බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙය අතහැර දාලා ලෝකයේ යථාර්ථයක් හොයමින් ඒ ගමන් කළේම ලෝකයෙහි ඇති නිස්සාරත්වය පිළිබඳව අවබෝධ කරගත් නිසා. ඒකට අපි කියනවා, සාමාන්‍යය ලෝකය තුළ ඇති 'නිර්වේදය පිණිස ගිය දැක්මක්' කියලා, 'නෙක්ඛම්මය පිණිස ගිය දැක්මක්' කියලා. එතකොට ඒ නෛෂ්ක්‍රම්‍ය තිබුණොත් තමයි එතනින් එහාට උතුම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් කම තියෙන්නේ.





නෙක්ඛම්ම සහගත චේතනාවන්ගේ වැදගත්කම





ඒ නිසා නෙක්ඛම්ම සහගත චේතනාවන් වැදගත් වෙනවා ධර්මය තුළ හැසිරෙන්නට. වීර්‍යය වඩන්නට ඒ නෙක්ඛම්ම සහගත චේතනාවන් අවශ්‍ය වෙනවා. නෙක්ඛම්ම සහගත චේතනාවන් ප්‍රබලවන තරමට තමයි අපිට වීර්‍යය වැඩි බව, වීර්‍යය තව තවත් උත්පාදනය කළ හැකි බව තියෙන්නේ. නෙක්ඛම්මය පිළිබඳව ඇති දැක්ම අඩුවෙන තරමට ඒ ඒ කෙනා සතු වීර්‍යයෙහි හීනතාවය දකින්න පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙදර ලැබුණු සියලු සැප සම්පත් අතහැරලා ගිහිල්ලා සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරනකොටත් එක දවසක්වත් නැවත ලෝකය සැපයි කියලා හෝ නැවත ලෝකය පැත්තට නැඹුරු වීම් මාත්‍රයක්වත් සිදු නොකොට තමන් ආපු ප්‍රතිපදාව පිළිබඳව විශ්වසනීයත්වයකින් ඒ තුළ පිහිටා සිටිමින් ඉදිරියෙහි නව මාර්ගයක් සොයා යන්නට හිතුනා කියන එකම එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි.





නමුත් ඒක තමයි නෙක්ඛම්මයෙහි ඇති ප්‍රබලතාවය කියලා කියන්නේ. ලෝකයේ සාමාන්‍ය දැක්මට එහා ගිහිල්ලා, සාමාන්‍ය දැක්මට අනුව නොයන දැක්මක් හොයනකොට ඒ පිළිබඳව තබා ඇති විශ්වසනීයත්වය ප්‍රබල නිසාමයි හෙලවුණු මනසක් නැතුව ඒ යථාර්ථය අවබෝධ කිරීම දක්වාම ගමන් කරන්නට යෙදුනේ. සමහර විට දෙවිවරුත් බලාගෙන හිටියා කියනවා 'මේ මහෝත්තමයාණන් බුද්ධත්වය අවබෝධ නොකර ගනීවි, ඊට පෙර කලුරිය කරාවි' කියලා. එපමණ දුකක් ලැබෙනකොටත්, එපමණ අවිනිශ්චිත බවක් තුළත් ප්‍රතිපදාව පුරන්නට, ප්‍රතිපදාව වඩන්නට, ඒ පිළිබඳව තවත් ක්‍රමවේදයක් ඇතැයි විශ්වාස කරන්නට උන්වහන්සේගේ ඒ පිරූ පාරමිතා ශක්තියම හේතුවක් වන්නට ඇති.





බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා තමන් ගමන් කොට නිර්වේදයට පත් වූ ප්‍රතිපදාව තමයි ලෝකයාට පෙන්නලා තියෙන්නේ. අපිට අමුතුවෙන් මගක් හොයා යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒ මාර්ගය පෙන්වා දීලා තියෙන නිසා ඉතාම පහසුවෙන් අපිට ඒ ප්‍රතිපදාව පිළිබඳව තේරුම් ගැනීමක් සිද්ධ කරන්නට අවශ්‍යයි. තේරුම් ගැනීමට අවශ්‍ය මූලිකම දැනුම ඇතිකර ගැනීමේ මාර්ගයට තමයි 'සුතමය ඤාණය' කියලා කියන්නේ. පරතොඝොෂ ප්‍රත්‍ය තුළ අපි අනුන්ගෙන් අසා දැනගන්න දෙයක් තමයි 'සුතමය ඤාණය' කියලා කියන්නේ. ඒ දැනගන්න දේ තුළ අමුතුවෙන් හොයලා, නූපන් මාර්ගය උපදවීම සඳහා ස්වයංභූ ඥානයකින් කරන්නට දෙයක් අපට ඇත්තේ නැහැ.





නිවන් දකින්න ත්‍රිපිටක දහම අවශ්‍ය ද





ඥානයකින් අවබෝධ කළ උත්තමයෙක් තමයි ඒ ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරලා තියෙන්නේ. මේ වචන ටික මතක් කළොත් හොඳයි කියලා හිතුනා, සාමාන්‍ය සමාජය තුළ ඇතැම් පිරිස් විසින් සමහර වෙලාවට විවිධ මතවාදයන් ඇති කරනවා. 'ධර්මය තියෙන්නේ පොතක නෙවෙයි, ධර්මය තියෙන්නට ඕන ජීවිතය තුළ, ධර්මය තියෙන්නට ඕනේ අවබෝධය තුළ, ධර්මය තියෙන්නට ඕන කවදාවත් සංග්‍රහ කෙරුණු පරම්පරාවෙන් ආපු පොත පොතක නෙවෙයි' කියලා විවිධ මත ප්‍රකාශ කරනවා. නමුත් මෙතනදී අපේ ථෙරවාද ත්‍රිපිටක ධර්මයක සහ අනෙකුත් පොත පතක අතර තියෙන වෙනස්කම මුලින්ම අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ත්‍රිපිටකය තුළ තියෙන්නේ තමන් ධර්මය අවබෝධ කරගෙන ලෝකයාට ඒ ප්‍රතිපදාව තුළ ගමන් කිරීම පිණිස ඒ මහෝත්තමයාණන් වහන්සේලා විසින් දේශනා කළ උතුම් මාර්ගය, උතුම් ප්‍රතිපදාව.





අපි විසින් ඇතිකර ගතයුතු අවබෝධය තමයි ඒ තුළ තියෙන්නේ. ප්‍රධාන ලෙසම සුතමය ඥානය සඳහා මූලාශ්‍ර සපයන්නේ ඒ ත්‍රිපිටකය. ඉතින් අපි අද අවබෝධ කරනවා නම් යම්කිසි අවබෝධයක්, ඒ අවබෝධය සහ එදා ඒ මහෝත්තමයාණන් වහන්සේලා දේශනා කළ අවබෝධ ඥානය දෙකක් වන්නට කිසිසේත්ම පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපට ත්‍රිපිටකය තුළ තියෙන දේ සහ අපි අවබෝධ කරගන්න ප්‍රතිපදාව එකම ප්‍රතිපදාවක් බවට පත්වන්නට ඕන. එහෙම නැතිනම්, ඒක වෙනස් වෙනවා නම්, ඒ වෙනස් වෙලා තියෙන්නේ කෙන කෙනාගේ න්‍යාය පත්‍ර අනුව නිවන් දකින්නට යෑම කියන කාරණාව මත. කෙන කෙනා ස්වයංභූ ඥානයෙන් අලුතෙන් දෙයක් අවබෝධ කරගන්නට යෑම තුළ, කෙන කෙනා සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට යෑම තුළිනුයි එබඳු මිත්‍යා මතවාද ඇතිවෙන්නේ.





ඒ නිසා අමුතුවෙන් අපිට උපදවන්නට දෙයක් නැහැ. අපිට පරතොඝොෂ ප්‍රත්‍ය තුළින් ඒක ලබාගන්නට හැකියාව තියෙනවා. ඒ පරතොඝොෂ ප්‍රත්‍ය තුළ අපිට ලැබෙන අවබෝධය ප්‍රධාන ලෙසම අපිට ගන්න තියෙන මූලාශ්‍රය තමයි ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ. ඒ ත්‍රිපිටකය තුළම අපිට අතහරින්නට කාරණාවක් නැතුව ජීවිතය සකස් කරගන්නට අවශ්‍ය, නිවනට උපකාර පිණිස පවතින සියලුම කාරණා ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසා, ධර්මය අවබෝධ කරගන්නට අපි පුරන ප්‍රතිපදාව ත්‍රිපිටකය තුළ ඇතුලත්වන, අතීතයේ වැඩ හිටිය උත්තමයන් වහන්සේලා අවබෝධ කරගත්ත ප්‍රතිපදාවක් බවට පත්වන්නටත් ඕන. ඒ විතරක් නෙවෙයි, අපි යම්කිසි තත්ත්වයකට පත්වෙනවා නම් ඒ පත්වෙන අපේ අත්දැකීම, අත්දැකීමට අදාළ උදෘත අපිට ත්‍රිපිටකය තුළ දකින්න පුළුවන් කම තියෙන්නට අවශ්‍යයි.





ඒ නිසා පොතක පතක තියෙන පමණින් ඒක බැහැර කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකදිවත් අපිට සූත්‍රය ප්‍රතික්ෂේප කරන්නට කියලා දේශනා කරන්නේ නැහැ. තුන් සංගීතියට ආරූල්හ ත්‍රිපිටකයක් නම් එබඳු වූ සූත්‍රය ප්‍රතික්ෂේප කරන්නා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා හා සමානයි කියලයි එදා අපේ මහරහතන් වහන්සේලා විසින් දරාගත්ත, ඇතිකර ගත්ත මතය බවට පත්වුනේ. ඒ නිසා අපිට ත්‍රිපිටකය තුළ පවත්නා කරුණු පිළිබඳව අපේ අවබෝධය ඇතිකර ගන්නකොට අපේ ප්‍රතිපදාවත් ඒ ඔස්සේ සැකසෙන්නට අවශ්‍යයි. ඒ ඔස්සේ ප්‍රතිපදාව සැකසෙනකොට, ත්‍රිපිටකයට පරිබාහිරව ගිහිල්ලා ඇතිකර ගන්න බොහෝ කරුණු කාරණා, අද සමාජයේ දකින දේවල් සමහරවිට බැහැර කරන්නට සිදු වන්නටත් පුළුවන්.





නමුත් ත්‍රිපිටකය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් අපි සැක කළ යුත්තේත් නැහැ. ඉතින් මේ විදියට අද දවසසේදී අපිට ධර්මය අවබෝධ කරගැනීම සහ අවබෝධ කර ගතයුතු ධර්මය පිළිබඳව කතා කරනකොට අපිට ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් හැටියට කල්පනා කළා "ඛජ්ජනීය සූත්‍රය" අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා. සංයුක්ත නිකායේ, තුනේ තියෙන, ඛන්ධක වග්ගයෙහි දකින්නට ලැබෙන මේ ඛජ්ජනීය සූත්‍රයෙදී බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන, පැහැදිලි විග්‍රහයක් දේශනා කරනවා.





ලෝකයා පඤ්ච උපාදානක්ඛන්ධයක්ම පරිහරණය කරයි





"යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරමානා අනුස්සරන්ති සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති එතෙසං වා අඤ්ඤතරං"





'යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා' - මහණෙනි, මේ ලෝකයේ යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් ආකාරයෙන් පූර්වානුස්සතිය(පෙර ජීවිත පිළිබඳව) සිහිපත් කිරීමක් සිද්ධ කරනවා නම්, 'සබ්බෙතෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති' - ඒ පිළිබඳව මෙනෙහි කරන ඔවුන් පංච උපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා. 'එතෙසං වා අඤ්ඤතරං' - ඒ පංච උපාදානස්කන්ධයන්ගෙන් අන්‍යතර වූවක් (එක්කෝ රූප උපාදානස්කන්ධය මුල් කරගෙන, එහෙම නැතිනම් වේදනා උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් සංඥා උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් සංස්කාර උපාදානස්කන්ධය, එහෙමත් නැතිනම් විඤ්ඤාණ උපාදානස්කන්ධය කියන එකක් එකක් හෝ) මෙනෙහි කිරීම සිද්ධ කරනවා.





යම්කිසි කෙනෙක් පෙර ජීවිත දකින මට්ටමකට හිත දියුණු කරගත්තත්, ඒ දියුණු කරගත්ත කෙනා එබඳු මට්ටමක රැඳී හිටියත් ඔහුට පුළුවන්කමක් නැහැ පංච උපාදානස්කන්ධය තුළින් තමන්ගේ හිත ගලවා ගන්නට, පංච උපාදානස්කන්ධය තුළම ඔහුගේ මනස රැඳී පවතිනවා, පංච උපාදානස්කන්ධය පිළිබඳවම ඒ මනසිකාරය පවතිනවා. ඒ නිසා ඔහු මෙනෙහි කරන ඕනම දෙයක් පංච උපාදානස්කන්ධය කියන රාමුව ඇතුලත ඇති කරන මනසිකාරයන් තමයි දකින්නට පුළුවන් කම තියෙන්නේ.





'එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති' - ඒ කෙනා මෙනෙහි කරනවා නම් "මම අතීතයේදී මෙබඳු වූ රූප ඇත්තෙක්ව හිටියා", එහෙම නැත්නම් 'එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති' - මම අතීත කාලෙදී මෙබඳු ආකාර වූ වේදනාවන් වින්දා, ඒ වගේම, මෙබඳු වූ සංඥා ඇතිව වාසය කළා, මෙබඳු වූ සංස්කාරයක් මම ඇසුරු කළා, මෙබඳු වූ විඤ්ඤාණභාගී බාවයක් ඇතුව වාසය කිරීම සිද්ධ කළා. මේ වගේ ඕනම විදියකට සිතීමක් තියෙනවා නම්, කල්පනා කිරීමක් තියෙනවා නම් අතීතය ගැන මෙනෙහි කිරීමක්, අතීත කාලයේ හිටියා යැයි දැක්මක් තියෙනවා නම් ඒ හැම දැකීමක්ම සිද්ධ කරන්නේ පංච උපාදානස්කන්ධ කියන රාමුව ඇතුලේ. පංච උපාදානස්කන්ධයක්ම මනසිකාරය පවත්වනවා.





** රූපය කියන්නේ මොකක්ද?





'කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? ' - මෙතන දැන් 'රූපය' කියලා කියන්නෙ මොකක්ද?





'රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා ‘රූපන්ති වුච්චති.' - රුප්පන අර්ථයෙන් තමයි 'රූපය'යි කියලා කියන්නේ. 'රුප්පති' කියලා කියනවා බිඳී යන ස්වභාවයට. ඒ නිසා, බිඳෙන ස්වභාවයෙන් යුක්ත නිසා 'රූපය'යි කියලා කියනවා'





'කෙන රුප්පති?' - කුමකින්ද බිඳෙන්නේ?





'සීතෙන 'පි රුප්පති, උණ්හෙන 'පි රුප්පති, ජිඝච්ඡාය 'පි රුප්පති, පිපාසාය 'පි රුප්පති, ඩංසමකසවාතාතපසසිරිංසපසම්ඵස්සෙන 'පි රුප්පති. රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූපන්ති වුච්චති'





බිඳෙන නිසා තමයි 'රූපය' කියලා කියන්නේ. කුමකින්ද බිඳෙන්නේ? සීත උෂ්ණ ආදියෙන් බිඳෙනවා. ඒ වගේම 'ජිඝච්ඡාය' - පිපාසයන්ගෙන් බිඳෙනවා. 'ඩංසමකසවාතාතපසසිරිංසපසම්ඵස්සෙන' - මැසි මදුරු ආදී සත්ත්වයන්ගේ ස්පර්ශයන්ගෙන්, වාත ආදිය නිසා ද බිඳීමකට ලක්වෙනවා.





මෙතනදී මූලික ලෙසම කයක් හෝ පුද්ගල බව ප්‍රතිබද්ධ වූ රූපය ඇසුරු කරගෙන තමයි මේ දේශනාව පවත්වන්නේ. ඒ නිසා, සාපිපාසා ආදී දේවල මුල්කරගෙනත් මේ බිඳීම සිද්ධ වෙනවා, මැසි මදුරු ආදී උවදුරු නිසා ද මේ බිඳීම සිද්ධ වෙනවා, ඒ වගේම, වාතය නිසා, උණුසුම නිසා මේ බිඳීම සිද්ධ වෙනවා. මේ ඕනෑම දේකින් බිඳී යන ස්වභාවයකින් යුක්තයි. බිඳී යන ස්වභාවයකින් යුක්තයි කියන්නේ, ප්‍රත්‍ය නොලැබීම නිසා, ප්‍රත්‍ය නොසැපයීම නිසා වෙනස් වෙන, විපරිණාමයට පත්වෙන ස්වභාවයකින් යුක්තයි. දැන්, සතර මහා ධාතුව ඔවුනොවුන්ට ප්‍රත්‍යයි. පඨවි ධාතුව ආපෝ ධාතුවට, ආපෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයි. පඨවි ධාතුව තේජෝ ධාතුවට, තේජෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයි. පඨවි ධාතුව වායෝ ධාතුවට, වායෝ ධාතුව පඨවි ධාතුවට ප්‍රත්‍යයි.





එතකොට මේ එකකට එකක් ගානේ, ඒ වගේම එකකට දෙකක්, දෙකකට එකක්, එකක් තුනකට, තුනක් එකකට… මේ විදියට ඔවුනොවුන්ට ප්‍රත්‍ය වුන බවක් තමයි සතර මහා ධාතූන්ගේ ප්‍රත්‍ය වීම තියෙන්නේ. ප්‍රත්‍ය වෛකල්‍යභාවය නිසා (ප්‍රත්‍ය වලට පවතින්නට නොහැකි බව නිසා) ඒ තුළ ඇතිවෙනවා බිඳී යන ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක්. ඒකටත් 'රුප්පන' අර්ථය කියලා කියනවා. කොටින්ම බිඳී යන්නට පුළුවන් දෙයක් වන නිසා තමයි 'රූපය' කියලා කියන්නේ. ඒ අතර අපි මෙනෙහි කරනවා නම් 'පුද්ගලයෙක්' ලෙස ඝන සංඥාව තුළ අපිට හම්බ වෙන කයක්, ඒ කයද බිඳී යන, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඒක සාපිපාසා ආදිය නිසා වෙනස් වෙනවා, මැසි, මදුරු, පත්තෑ, සර්ප ආදීන්ගේ දෂ්ට කිරීම් නිසා වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා.





මේ විදියට මේ කය වෙනස් වීම ස්වභාව කොට ඇති නිසා, මෙන්න මේ වෙනස්වීම මුල් කරගත්ත රුප්පන අර්ථය නිසාම මේකට 'රූපය'යි කියලා කියනවා.





**වේදනාව කියන්නේ කුමක්ද?





'කිඤ්ච, භික්ඛවෙ, වෙදනං වදෙථ?' - මහණෙනි, වේදනාව කියලා කියන්නේ මොකක්ද?





'වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනාති වුච්චති' - විඳීම නිසා තමයි 'වේදනා' කියලා කියන්නේ. යම්කිසි දෙයක් වළඳ කරනවා, යම්කිසි දෙයක් අපි පරිභෝග කරනවා, විඳීමකට ලක් කරගන්නවා. ඒ නිසා 'වේදනා' කියලා කියනවා.





'කිඤ්ච වෙදයති?' - මොනවද අපි වේදනාවක් ලෙස විඳින්නේ?





'සුඛම්පි වෙදයති, දුක්ඛම්පි වෙදයති අදුක්ඛමසුඛම්පි වෙදයති.'





එක්කෝ සැප විදියට අරමුණක් ඇසුරු කරනවා, එහෙමත් නැතිනම් දුක් විදියට අරමුණක් ඇසුරු කරනවා, එහෙමත් නැතිනම් අදුක්ඛමසුඛ හැටියට (උපේක්ෂාව. 'අදුක්ඛම' - දුකකුත් නෑ, 'අසුඛ' - සැපයකුත් නෑ. දුකත් නොවන, සැපත් නොවන විදියට, ඒ ගැන විශේෂත්වයක් නොමැතිව) අරමුණු ඇසුරු කරනවා. 'වේදනාව' කියන ලක්ෂණය අපිට ප්‍රකට වෙනකොට, ලෝකය තුළ හැම දෙයක්ම වේදනාව අනුව ගිහිල්ලා තියෙන ධර්මයක් නිසා, (විඤ්ඤාණය වේදනාව ඇසුරු කොට පවතින ධර්මයක් මූලික ලෙසම) එක්කෝ අපිට දෙයක් 'බොහොම හොඳයි' කියලා විශේෂ වෙනවා, එක්කො දෙයක් 'හොඳ නෑ' කියලා විශේෂ වෙනවා, එක්කො 'හොඳ' හෝ 'හොඳ නෑ' කියන දෙකෙන්ම තොරව දෙයක් විශේෂ වෙනවා. එතකොට මේ මොන දේ තුළත් ඇසුරු වීම තුළ විඳීම කියන දේ පැවතිලා තියෙනවා. ඒක තමයි වේදනාවෙහි ඇති මූලික ස්වභාවය.





මතු සම්බන්ධයි





අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.07.01 දින සිදු කළ ඛජ්ජනිය සුත්‍රය ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාව Youtube ඔස්සේ ශ්‍රවනය කිරීමට






https://youtu.be/b0XGulxWWYs




දේශනාවේ mp3 එක ලබාගැනීමට





https://drive.google.com/file/d/1_XyInRhdgQCJgh0rC33aCiP01ShM1kyn/view?usp=drivesdk





**සංඥාව කියලා කියන්නේ කුමක්ද?





'කිඤ්ච භික්ඛවෙ, සඤ්ඤං වදෙථ'?' - මහණෙනි, සංඥාව කියලා කියන්නේ මොකක්ද?





'සඤ්ජානාතීති ඛො භික්ඛවෙ, තස්මා සඤ්ඤාති වුච්චති' - සංඥාව කියලා කියන්නේ හඳුනන ස්වභාවයට. ('සඤ්ජානාතීති' කියන්නේ 'හඳුනයි' කියන එක). හඳුනන බව නිසා තමයි ‘සඤ්ඤාති වුච්චති' - 'සංඥා' කියන දේ ව්‍යවහාර කරන්නේ.





'කිඤ්ච සඤ්ජානාති?' - හඳුන ගන්නේ කොහොමද?





'නීලම්පි සඤ්ජානාති, පීතකම්පි සඤ්ජානාති, ලොහිතකම්පි සඤ්ජානාති, ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා සඤ්ඤා’ති වුච්චති. - නිල් පාට වශයෙන්, කහ පාට වශයෙන්, රතු පාට වශයෙන්, සුදු පාට වශයෙන් ආදී ලෙස වර්ණ වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා නම්, හැඩතල වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා නම්, ගති විදියට හඳුනා ගැනීමක් තියෙනවා නම් මේ සියල්ලක්ම 'හැඳිනීම' කියන එකට අයිතියි.





හැඳිනීම මුල් කරගෙන තමයි දෙයක් අපි ගබඩා කරගන්නේ. එහෙම නැතිනම්, දෙයක් දැක්කහම නැවත ඇසුරු කරන්න පුළුවන් කම තියෙන්නේ හැඳිනීම මුල් කරගෙන. අපි කෙනෙක් හම්බුනහම සමහර වෙලාවට කියන්නේ 'මට හඳුනාගන්න බැරි වුනා' කියලා. එතකොට ඒ හඳුනා ගන්නට බැරි වුනා කියන එක තුළ (ඕලාරික පැත්තෙන් ගත්තොත්) අපිට ඒ පිළිබඳව සංඥාවක් ඇත්තේ නෑ. ඒ පුද්ගලයා පිළිබඳව හැඳිනීමේ ගතියක් අපිට ඇත්තේ නැති නිසා අපි කියනවා හඳුනා ගැනීමට නොහැකි වුනා කියලා. ඒ වගේ ඕලාරික මට්ටමේ ඉඳලා ඉතාම සියුම් මට්ටමකට, මානසිකව ඇතිකර ගත්ත 'හැඳිනීම' කියන ඉතාම සියුම් ගතියකට (හැඩතල විදියට, වර්ණ සටහන් විදියට හඳුනා ගන්න මට්ටමකට) යනකන්ම මේ සංඥාව පවතිනවා.
මේ හඳුනා ගන්න ලක්ෂණය නිසා තමයි 'සංඥා' කියලා කියන්නේ.





** සංඛාරය කියන්නේ මොකක්ද?





'කිඤ්ච භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ?'
මහණෙනි, සංඛාරය කියලා කියන්නේ මොනවද?





'සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චති'- සංඛතය අභිසංස්කරණය කරන නිසා 'සංස්කාරය' යැයි කියනවා.





'කිඤ්ච සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති ?'
මොකක්ද ඒ අභිසංස්කරණයකට ලක් කරන සංඛතය කියලා කිව්වේ?





~~ කුමන ධර්මයෝද සංස්කරණය කරන්නේ?





'රූපං රූපත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති , වෙදනං වෙදනත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඤ්ඤං සඤ්ඤත්තාය , සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති" - රූපය, රූපය පිණිස සංඛතය අභිසංස්කරණය කරනවා. එතකොට රූපය, රූපය පිණිස සංඛතය අභිසංස්කරණය කරනවා කියනකොට (රූප ස්කන්ධ කියනකොට රූප සමුහයක් කියලා කිව්වා) මේ සමූහයක්ම ඒකාර්ථවත් කොට නැවත උපදවන්නට පුළුවන් විදියට, සමස්තයක් විදියට රූපය එකතු කරලා දක්වන විදියට සංස්කරණය කරන ලක්ෂණය.





එතකොට ඒ සංස්කරණය කරන දේ, සංඛත හේතු නිසා හටගත්ත ධර්මයෝ එකතු කොට දක්වන මූලික ලක්ෂණය නිසා තමයි සංස්කාරය කියලා කියන්නේ. ඒකෙන් සංස්කරණය කරන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන මේ ධර්මයම තමයි එතනදී සංස්කරණය කොට දක්වන්නේ. රූපය සංස්කරණය කොට දක්වනවා, වේදනාව සංස්කරණය කොට දක්වනවා, සංඥාව, සංස්කාරය, විඤ්ඤාණය සංස්කරණය කොට දක්වනවා. එතකොට ඒ දේ සංස්කරණය කොට දක්වන්නේ ඒ දේ නැවත ඇසුරු කරන්නට පුළුවන් විදියට.





ඒකයි - "රූපං රූපත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති , වෙදනං වෙදනත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඤ්ඤං සඤ්ඤත්තාය , සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති" ආදී ලෙස මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නේ. වේදනාව වේදනාව පිණිස, සංඥාව සංඥාව පිණිස, සංස්කාරය සංස්කාරය පිණිස, විඤ්ඤාණය විඤ්ඤාණය පිණිස සංස්කරණය කරනවා, නැතිනම් සකස් කොට දක්වනවා. එතකොට මේ දේවල් නැවත ඇසුරු කරන්නට පුළුවන් විදියට ආශ්‍රව ටික නිර්මාණය කිරීම, සකස් කොට දැක්වීම කියන දේ තමයි සංස්කරණයෙහි ඇති මූලික ලක්ෂණය.





**විඤ්ඤාණය කියලා කියන්නේ මොකක්ද





‘කිඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ?'
විඤ්ඤාණය කියලා කියන්නේ මොකක්ද?





'විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති'
විජානනය කරගන්න නිසා විඤ්ඤාණය යැයි කියනු ලැබේ.





'කිඤ්ච විජානාති?'
මොනවද දැනගන්නේ?





"අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරකම්පි විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති"-





එතකොට විඤ්ඤාණය කියන්නේ මොකක්ද? විජානන ස්වභාවය නිසා තමයි 'විඤ්ඤාණය' කියලා කියන්නේ. මොනවද මේ විඤ්ඤාණය කියලා කියන්නේ? ඇඹුල් කියලා දැනගන්නවා, තිත්ත කියලා දැනගන්නවා, කටුක රස, මධුර රස, කර රස, රළු නොවූ රස, ලුණු රස, ලුණු මදි බව… මේ විදියට දැනගන්න ස්වභාවය. එතකොට මෙතනදි මේ දැනගැනීම කියන එකෙන් රසය දැනගැනීම පමණක් හුදු විඤ්ඤාණය කියන අර්ථය ගෙනැල්ලා දෙන්න ඕන නිසා නෙවෙයි විජානනය මේ විදියට විග්‍රහ කරන්නේ. අපි අර අනිත් දේවල් විග්‍රහ කරා වගේම මෙතනදී පොදුවේ විජානන ස්වභාවය (දැනගන්න ස්වභාවය) විග්‍රහ කරන්නේ. වේදනාවට සමානුපාතව යන ස්වභාවයක්නේ මෙතන දකින්න පුළුවන් කම තියෙන්නේ.





සැප, දුක්, උපේක්ෂා වශයෙන් අපි ඇතිකර ගත්ත බවට කිව්වා 'වේදනාව' කියලා. ඒ වේදනාව අනුවම අපිට යම්කිසි දැනගන්න බවක් තියෙනවා නම් ඒ දැනගන්නා බවට තමයි 'විජානනය' කියලා කියන්නේ. විජානන (දැනගන්නා බව) බවත් එක්ක ඇති කරගන්න ලක්ෂණය තමයි 'විඤ්ඤාණ' කියන දෙයෙහි ඇති ස්වභාවය. එතකොට මේ විදියට ස්කන්ධ ධර්මතා ටිකේ පොදු ව්‍යවහාරය දකින්න පුළුවන්. මේ කතා කරන්නේ අර 'ස්කන්ධ මාත්‍රිකව එකවර හටගෙන, එකවර නිරුද්ධ වෙනවා' කියන අර්ථය නෙවෙයි.





මේ පරියාය තුළ සාකච්ඡා කෙරෙන්නේ 'ස්කන්ධයෝය' කියලා කිව්වට මේ ස්කන්ධ ධර්මයන්ගේ මෙබඳු වූ ස්වභාවයක් තියෙන්නේ, මේ නිසා තමයි 'රූපය' කියලා කියන්නේ, මේ නිසා තමයි 'වේදනාව' කියලා කියන්නේ, මේ නිසා තමයි 'සංඥාව' කියලා කියන්නේ, මේ නිසා තමයි 'සංස්කාරය' කියලා කියන්නේ, මේ නිසා තමයි 'විඤ්ඤාණය' කියලා කියන්නේ… ආදී ලෙස ඔවුනොවුන්ගේ ස්වභාවයන්, ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ අපිට පුළුවන් ප්‍රකට කරගන්න.





'රුප්පතීති ඛො රූපං' කියනකොට, රුප්පනය වන නිසා 'රූපය'යි කියනවා. ශීත, උෂ්ණ, අව්, සුළං, මැසි, මදුරු ආදී ප්‍රත්‍ය වෛකල්‍ය නිසා වෛකල්‍යට පත්වෙන දේ තමයි 'රූපය'. ප්‍රත්‍ය වෙනස් වෙනකොට වෙනස් වෙලා යන බාහිර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ප්‍රත්‍ය ධර්මයන්ගේ වෙනස් වීම මත වෙනස්වෙන ඕනම දෙයක් ඒ බිඳී යන ස්වභාවය නිසා 'රූපය'යි කියලා කියනවා. ඒකට අපි කිව්වා 'රුප්පතීති ඛො රූපං'. ඒක තමයි රූපයෙහි ස්වභාවය. මොකක්ද මූලිකම දේ එතකොට? ප්‍රත්‍ය ධර්මයන්ගේ (මහාභූත රූපයන්ගේ) ඇති වෙනස් වීම නිසා රූපය වෙනස්වෙන බවකින් යුක්තයි. එතකොට ඒ වෙනස්වෙන බවකින් යුක්ත බව නිසා, ප්‍රත්‍ය වෙනස් වීමෙන් නිරතුරුව වෙනස් වීමට භාජනයවන නිසා ඒකට කිව්වා 'රූපය' කියලා.





ඒ වගේම තමයි වේදනාව. වේදනාවත් ප්‍රත්‍ය නිසා තමයි උපදින්නේ. ප්‍රත්‍ය නැති වෙනකොට වේදනාවත් නැති වෙනවා. හැබැයි ඒ අර්ථයෙන් මේකට 'වේදනාව' කිව්වේ නැහැ. හැබැයි වේදනාව මුල් කරගන්න අර්ථය හැටියට පෙන්නනවා 'වෙදයති' - විඳින බව තියෙනවා, විඳින ලක්ෂණය තියෙනවා, 'විඳියි' කියන ගතිය තියෙනවා. ඒ 'විඳියි' කියන ගතිය නිසා තමයි 'වේදනාව' කියලා කියන්නේ. යම්කිසි බවක් සැප වශයෙන් විඳිනවා නම්, දුක් වශයෙන් විඳිනවා නම්, සැප දුක් දෙකම නැතිකම විඳිනවා නම් මෙන්න මේ 'විඳීම්' කියන ස්වභාවයට කියනවා 'වේදනාව' කියලා.





ඊගාවට සංඥාව. සංඥාව කියන්නේ හඳුනන ස්වභාවය. 'හඳුනනවා' කියලා කියන්නේ…, නිල්, රතු, කහ, සුදු ආදී ලෙස වර්ණ වශයෙන් හඳුනනවා, ඒ වගේම, හැඩතල වශයෙන් හඳුනනවා, 'මුතය' පැත්තෙන් අපි අරගෙන බැලුවොත්… නහයට දැනෙන ගන්ධ ආදී ලෙස, දිවට දැනෙන රසයන් ආදිය හැඳිනීම පිණිස අවශ්‍ය ලක්ෂණ ටිකක් අපිට තියෙනවා. ඒ හැඳිනීම පිණිස තියෙන ලක්ෂණ වලට කියනවා සංඥාව කියලා.





ඊට පස්සේ විජානනය පැත්තෙන් ගත්තහම ඒ විජානන ස්වභාවය දැනගන්න බවකින් යුක්තයි. ඒකට අපි ඇඹුල් රස, තිත්ත රස, කටුක රස, මිහිරි රස, ලුණු රස, නොලුණු රස ආදී රස වශයෙන් කතා කළාට, ඒක විජානන ස්වභාවය. එහි ස්වභාවය තමයි යමක් නිශ්චිත ලෙස දැනගන්න බවක් තියෙනවා, පරිපූර්ණව දැනගන්න ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා ඒ ස්වභාවය කුමක්ද කියන එක පිළිබඳව. එතකොට යම්කිසි අරමුණක පවත්නා වේදනා නිශ්‍රිත ස්වභාවය, ආරම්මණ රසය විඳින කම, ගෝචර කරගෙන ග්‍රහණය කරගන්න කම, ඒක දැනගන්න කමට කියනවා විජානනය හෙවත් විඤ්ඤාණය කියලා (දැනගැනීම). එතකොට මේ ටික පොදු ලක්ෂණයකින් තමයි අපි කතා කළේ.





ශ්‍රැතවත් ආර්‍ය් ශ්‍රාවකයාගේ දැකීම





"තත්‍ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති" - එතනදි ශ්‍රැතවත් ආර්‍ය් ශ්‍රාවකයා මේ විදියට කල්පනා කරනවා.





'අහං ඛො එතරහි රූපෙන ඛජ්ජාමි' - මම මේ රූපය විසින් කනු ලබනවා.





'අතීතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජිං' - අතීතයේදිත් මම මෙබඳු වූ රූප විසින් අනුභව කළා. එතකොට 'ඛජ්ජති' කියලා කියන්නේ අනුභව කිරීම, ආහාරයට ගැනීම කියන අර්ථයකින්. 'ඛජ්ජනීය' කියලා කියනවා 'ආහාරයට ගතයුතු' , 'ආහාරයට ගනු ලබන්නා වූ දේ' , 'අනුභවයට හිත' කියන අර්ථයකින්.





''සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමීති - යම්සේ වර්තමාන වූ රූපයෙනුත් මාව දැන් කනු ලබනවා.
ඒ වගේම,





'අහං චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්‍යං, අනාගතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්‍යං' - අනාගත වූ රූපය මම අභිනන්දනය කරනවා නම් අනාගත වූ රූපයත් මාව කාලා දානවා.





'සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමීති' - යම් විදියකින් මේ වර්තමාන රූපය මාව කාලා දානවා වගේ, අනාගතයටත් මම මේ රූපය අභිනන්දනය කරනවා නම් මේ රූපය අනාගතයටත් මාව කාලා දානවා.





'සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති ; අනාගතං රූපං නාභිනන්දති; පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති'- මේ විදියට මෙනෙහි කරන කෙනා අතීත රූපය කෙරෙහි අනපේක්ෂව වාසය කරන්නෙක් බවට පත්වෙනවා. අනාගත රූපය අභිනන්දනය නොකරන්නෙක් බවට පත්වෙනවා. වර්තමාන වූ රූපය නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් බවට පත්වෙනවා.





එතකොට මේක ඉතාම වැදගත් ධර්ම කොට්ඨාශයක්. මේ සුත්‍රයේ කලින් කතා කරපු විදියට තමයි ස්කන්ධයන්ගේ ස්වභාවය තියෙන්නේ. රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ කිව්වහම මේ මේ අර්ථයන්ගෙන් තමයි ඉහතදී අපි කතා කළේ. එතකොට ඒ ධර්මතා ටිකක් තියෙන තැනක 'තත්‍ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති' - ශ්‍රැතවත් ආර්‍ය් ශ්‍රාවකයා මේ විදියට කල්පනා කරනවා. වර්තමාන රූපය විසින් මාව අනුභව කරගෙන තියෙනවා, මාව කාලා දානවා, වර්තමාන රූපය වශයට මම ගිහිල්ලා තියෙනවා. එතකොට, එසේ වූ පච්චුප්පන්න රූපය මාව අල්ලගන්නවා වගේම අතීත වූ රූපත් මාව අල්ලගත්තා, අතීත වූ රූපත් මාව කාලා දැම්මා.





රූපය මාව කාලා දානවා කියන්නේ මොකක්ද





යම්කිසි විදියකින් වර්තමාන රූපය මාව කනවාද, ඒ විදියටම මම අනාගත රූපය අභිනන්දනය කළොත් එහෙම අනාගත රූපයත් මාව ඒ විදියටම කාලා දානවා. මේ විදියට ශ්‍රැතවත් ආර්‍ය් ශ්‍රාවකයා රූපය පිළිබඳව කල්පනා කරනවා. 'රූපය විසින් කාලා දානවා', 'රූපය විසින් අනුභව කරනවා' කියලා කියන්නේ තමාගේ විඤ්ඤාණය රූපය නොඉක්මවන මට්ටමක ඉන්නවා නම්, ඒ රූපය ඇසුරු කොට ඒ රූපයේ හැපී සිටිනවා නම් ඒක තමයි 'රූපයේ අනුභවය' කියලා කියන්නේ. ඒ හේතුවෙන් ජරාමරණ දුකෙන් මිදීමක් ඇත්තේ නැහැ. රූපය වෙනස් වෙනකොට දුකට පත්වීම කියන දේ අපි ළඟ තියෙන්නේ. ඒක තමයි 'රූපය විසින් අපිව කනු ලැබීම' කියලා කියන්නේ.





ඒක හරියට, මුහුදේ ඉන්නවනෙ ලොකු මත්ස්‍යයන් තමන්ගෙ කට ඇරගෙන ඉඳලා කටට පිවිසෙන කුඩා මත්ස්‍යයින් ආදිය කට ඇතුලට අරගෙන කට වහලා ජලය ඉවත් කරලා ආහාරයට ගන්න, අන්න ඒ වගේ දෙයක් තමයි රූපය කියලා කියන්නේ. රූපය ඇසුරු කරගෙන විඤ්ඤාණය පවතිනකොට ඒ විඤ්ඤාණය හැම වෙලාවකදිම රූපයේ සීමාව ඉක්මවන්නට නොදී රූපය තුළම පුද්ගලභාව විසින් හැසිරෙනවා, රූපය තුළම පුද්ගලභාව විසින් සැරිසරනවා. එතකොට මොකද වෙන්නේ? රූපය විසින් අපිව කනු ලබනවා. රූපය විසින් කනු ලබනවා කියලා කිව්වේ? රූපය වෙනස්වීමට, විපරිණාමයට භාජනය වෙනවා කියලා අපි කිව්වා. රුප්පන අර්ථයෙන් 'රූපය' කියනවා කියලා.





එතකොට ඒ රූපය විපරිණාමයට පත්වන්නට, රූපය වෙනස් ස්වභාවයට පත්වන්නට හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ටික නෙවෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඉන්නේ රූපය පැත්තේ. 'රූපය පැත්තේ' කියලා කියන්නේ, සතර මහා ධාතු සහ උපාදාය රූපය තමයි රූපයේ යථාර්ථය. හැබැයි ඒ මට්ටමේ රූපයක් නෙවෙයි අපි ඇසුරු කරන්නේ, සත්ත්ව පුද්ගලභාව විදියට ගත්ත රූපයක්. මහාභූත රූපය අපි සම්පූර්ණයෙන්ම සත්ත්ව පුද්ගලභාවයෙන් උපාදානය කරලා අල්ලගෙන ඉන්නවා. දැන් වෙනස් වෙන්නේ මහාභූත රූපය, මහාභූත රූපය වෙනස් වෙනකොට අපි සත්ත්ව පුද්ගල බවෙන් ගත්ත දේ අනුව දුක විඳින්න පුළුවන් දේ අපිට නිර්මාණය වෙලා තියෙනවා.





ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව ආදී දුක් ටික විඳින්න පුළුවන් මට්ටමක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. ඇයි? අපි දැන් රූපය ඇතුලට ගිහිල්ලා, ආයෙ මිදෙන්න බැරි තත්ත්වයකට රූපය ඇතුලේ පත්වෙලා තියෙනවා. ඒ පත්වෙලා තියෙන නිසා තමයි වර්තමානයේ මම යම් විදියකට රූපයකට හසුවෙනවා නම් හසුවෙලා ඉන්නවා කියලා කියන්නේ. මේ හසුවෙලා ඉන්නේ යම් විදියකටද, දැන් මේ රූපය අනුව ගිහිල්ලා මම දුක් විදින්නේ යම් විදියකටද, ඒ රූපය අනුව ගිහිල්ලා රූපය මාව කන විදියටම තමයි අතීත වුන රූපයත් මාව අනුභවයට ලක් කළේ.





අතීත රූපය කොහොමද මාව කෑවේ





'අතීත වුන රූපය මාව අනුභවයට ලක් කළේ' කියලා කියන්නේ, අතීතයේදීත් මම, රූපය අනුව මගේ සිතුවිලි ධාරාව පැවැත්වුවේ, අතීතයෙදී මට රූපය රැස් කරගැනීම පිණිස හේතු වුනේ මෙබඳු වූ වර්තමානයේ යම්කිසි අවිද්‍යාවක් තියෙනවා නම් ඒ විදියටම රූපය පිරිසිඳ නොදන්නාකම නිසයි කියලා අතීතය පිළිබඳව එයාට නුවණක් ඇති වෙනවා. අතීතය පිළිබඳව එයාට නුවණක් ඇතිවෙන එකේ ප්‍රතිඵලය මොකක්ද? 'ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති' - අතීත වූ රූපය කෙරෙහි ඔහුට අනපේක්ෂිත වූ බවක් ඇතිවෙනවා, අපේක්ෂා රහිත ස්වභාවයක් ඇතිවෙනවා. ඇයි?





ඔහු වර්තමාන රූපය පිළිබඳව දකිනකොට ඔහු දකිනවා අතීතය තුළද රූපය විසින් මාව කනු ලැබුවා, අතීතයේද මෙබඳු වූ රූපයෙහි ඇත්ත නොදන්නාකම නිසා, මේ රූපයට සීමා සහිත වූ නිසා අතීත වූ රූපය විසින් මාව ග්‍රහණයකට ලක්කළා. ඒ නිසා ඒ රූපය පවතින දෙයක් හැටියට වර්තමානයේ මට හිතන්න පුළුවන් කම තියෙනවා කියලා ඔහු වර්තමානය තුළ තමාව නිශ්‍රය කරගන්න රූපය තුළින් දකිනවා මේ රූපය වර්තමානයේ යම්සේ මාව කනවාද, යම්සේ මාව නොඉක්මවා පවත්වා ගන්නවාද, ඒ විදියටම අතීතයේදීත් නොඉක්මවා පවත්වා ගත්තා කියන එක එයා දකිනවා. එතකොට ඒ දේ වැරදියි කියලා එයා දකිනකොට මොකද වෙන්නේ? අතීත රූපය පිළිබඳව අනපේක්ෂක වෙනවා, අපේක්ෂා රහිත බවට පත්වෙනවා.





අනාගත රූපය මාව කාලා දාන්නේ කොහොමද





'අහඤ්චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්‍යං, අනාගතම්පාහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්‍යං, සෙය්‍යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමී’ති' - යම්කිසි විදියකින් මම වර්තමාන රූපය විසින් කනු ලබනවාද, ඒ විදියටම අනාගත වූ රූපය මම අභිනන්දනය කළොත්, අනාගතයට ඇතිවෙන රූපයේ ඇත්ත නොදැනගෙන එහි සතුටුවෙන බවට මම ගියොත් අනාගත රූපයත් මාව කාලා දානවා. දැන් මේ දර්ශනය තුළ ඔහුට පොදුවේ 'අවිද්‍යාව' කියන දේ හම්බ වෙලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ - නොදන්නාකම, ඒ නිසා රූපය හටගන්නවා කියන එක දකිනවා.





වර්තමානය තුළ පවත්නා රූපය දකිනකොට ඔහු දකිනවා යම්සේ මේ වර්තමාන රූපය ඇසුරු කරගෙන මගේ සිත පවත්වනවාද ඒ විදියටම අතීතයෙදි එබඳු වූ රූපයක් ඇසුරු කරගෙන මගේ හිත පැවැත්වුන නිසා තමයි ඒ රූපය තුළ මම හැසිරුනේ, සීමා සහිතව ජීවත් වන්නට සිද්ධ වුනේ. ඒ රූප බිඳෙනකොට දුක ඉපදුනා නම් ඒ දුක ඉපදුනේ ඊට අනුගතව සිත පැවතුණු නිසා. හරියට මේ වර්තමානයේ රූපයට අනුගතව සිත පවතිනවා වගේ. ඒ වගේම අනාගත කාලය පිළිබඳව මම රූපය අභිනන්දනය කළොත් අනාගතයටත් මට මේ ප්‍රතිඵලයම තමයි. අනාගතයටත් රූපය විසින් මාව කාලා දානවා. මේ නුවණ මෙයාට ඇතිවෙන්නේ වර්තමාන රූපය පිළිබඳව ඇත්ත දකින ප්‍රමාණයට.





වර්තමාන රූපයෙහි යථාර්ථය පිළිබඳව ඔහුට අදහසක් ඇතිවෙන සීමාව ඇතුලේ තමයි මෙන්න මේ කියන නුවණ, මේ කියන ධර්මතා ටික ඔහුට ඇතිවෙන්නේ. එතකොට අනාගතය පිළිබඳවත්, අතීතය පිළිබඳවත් ඔහුට අදහස් නැතිවෙනකොට, වර්තමාන රූපය විසින් මාව කාලා දැමීම දැකීම තුළ පොදුවේ අවිද්‍යාව කියන ධර්මය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසා අතීත රූපයේ ඇත්ත දකින්නේ නැතුව රූපයට හසුවුනා. වර්තමානයෙදි යම්සේ අවිද්‍යාව තියෙනවා නම් එසේම මම අතීතයේදීත් රූපය අනුව හැසිරුනා. අනාගතයට අවිද්‍යාවෙන් රූපය ඇසුරු වුනොත් රූපයෙහි සතුටු වීම නිසා අනාගතයටත් රූපය අනුව දුක් විඳින්න සිද්ධ වෙනවා. පොදුවේ අවිද්‍යාව දැක්කා.





අවිද්‍යාව කියන දේ දැකීමම එතන ඇති යථාර්ථය තේරුම් ගැනීමට ඇති හොඳම මූලාශ්‍රය. ඒ කියන්නේ විද්‍යාව, ආලෝකය උපදවා ගැනීමට ඇති හොඳම දේ තමයි 'අවිද්‍යාව' කියන දේ දැනගැනීම. මොන ධර්මතා විෂයකද නොදන්නාකම පැවතුනේ කියන එක තේරුම් ගන්න අපිට විද්‍යාව අවශ්‍යයිනේ. විද්‍යාව තිබුණොත් තමයි අවිද්‍යාව කියන දේ තේරුම් ගන්නට පුළුවන් කම තියෙන්නේ. විද්‍යාව නැත්නම් අවිද්‍යාව කියන දේ තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. විද්‍යාව තිබුණොත් පමණමයි අවිද්‍යාව කියන දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් කම තියෙන්නේ. ඒ නිසා විද්‍යාව කියන දේ උපදවා ගත්ත අපිට අවිද්‍යාව කියන දේ තේරුම් ගන්න පුළුවන්.





එතකොට අවිද්‍යාව තේරුම් ගන්නකොට අවිද්‍යාව දුරු වෙලා යන මට්ටමක් ඇතිවෙනවා. අන්න ඒ නිසා තමයි 'අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති' කියලා කිව්වෙ. මේ විදියට මෙනෙහි කරන ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයාට අතීත වූ රූපය පිළිබඳව අනපේක්ෂක බාවයක් ඇති වෙනවා. 'අනාගතං රූපං නාභිනන්දති' - අනාගත වූ රූපය අභිනන්දනය කරන්නේ නැහැ. අභිනන්දනය නොකරන ඒ කෙනා 'පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති' - ඒ කෙනා පච්චුප්පන්න වූ රූපය පිළිබඳව නොඇලීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්න කෙනෙක් බවට පත්වෙනවා. වර්තමාන රූපය පිළිබඳව ඔහුට නුවණින් දකින්න සිද්ධ වෙනවා ඒ රූපයේ නොඇලීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස.





මතු සම්බන්ධයි





අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 2020.07.01 දින සිදු කළ ඛජ්ජනිය සුත්‍රය ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 එක ලබාගැනීමට
https://drive.google.com/file/d/1_XyInRhdgQCJgh0rC33aCiP01ShM1kyn/view?usp=drivesdk


Comments