අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි.
🌸මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති.
🌸දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක.
🌸උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති.
🌸ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති.
🌸අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති.
🌸දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති.
🌸සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍රය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත.
🌸සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ.
🌸තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි.
🌸නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත.
🌸තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති.
🌸ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ.
🌸ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.
ඔවුහු නම් :
🍃මහියඞ්ගණ චෛත්‍යය පිහිටි තැන ය.
🍃නාගදීප චෛත්‍යය පිහිටි තැන ය.
🍃කල්‍යාණි චෛත්‍යය පිහිටි තැන ය.
🍃සමන්තකූට පර්වත මුදුන ය.
🍃දිවාගුහාව ය.
🍃දීඝවාපි චෛත්‍යය පිහිටි තැන ය.
🍃මුතියංගන චෛත්‍යය පිහිටි තැන ය.
🍃තිස්සමහාරාම චෛත්‍යය පිහිටි තැන ය.
🍃ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැන ය.
🍃මිරිසවැටි සෑය පිහිටි තැන ය.
🍃රුවන්වැලි මහසෑය පිහිටි තැන ය.
🍃ථූපාරාමය පිහිටි තැන ය.
🍃අභයගිරිය පිහිටි තැන ය.
🍃ජේතවනය පිහිටි තැන ය.
🍃සේල චෛත්‍යය පිහිටි තැන ය.
🍃කතරගම කිරි වෙහෙර පිහිටි තැන ය.
යන මේ ස්ථානයෝ ය.
උපුටා ගැනීම : බෞද්ධයාගේ අත්පොතෙන්
කර්තෘ : රේරුකානේ චන්දවිමල මහනාහිමියන්
උතුම් තෙරුවන් සරණයි !🙏🏼💛😌
Comments
Post a Comment