ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය


ක්‍රමයෙන් දැන ගන්නා ධර්ම දැනුම තුළින් හා භාවනාව තුළින් ඔබගේ දැක්ම නිවැරදි වේ. පෘථුල වේ. එය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය සම්පූර්ණ වන්නේ රහත් මාර්ග ඵලයෙනි. ඒ දක්වා එය වර්ධනය වේ.
නිවැරදිව සීලය සමාදන්ව එය රැකීමට දරනා අවංක උත්සාහය තුළින් ඔබේ සම්මා ආජීවය, සම්මා කම්මන්තය, වැඩේ.
දැන් ඔබ නිතරම සිතන්නේ නිවන දැකීම පිළිබඳව යොමුවුනු සිතිවිලියි. මනා සතියකින් යුතුව සිතට එන අකුසල් සිතිවිලි මැඬ පවත්වා ගනිමින් ධර්ම මනසිකාරම බහුලීකරණය කරයි. එය සම්මා සංකප්පයයි. මේවා ක්‍රමානූකූලව වැඩි දියුණු වන ඒවා බැවින් ඔබ සිතට අකුසල් සිතිවිලි පැමිණියා කියා ඔබ පසුතැවිලි විය යුතු නොවේ. අවශ්‍ය වන්නේ ඔබ ඒවා මැඬ පවත්වා ගනිමින් සිත පිරිසිදුව තබා ගන්නට දරන උත්සාහයයි. කල්යත්ම ඔබටම ඔබේ දියුණුව දැකිය හැකි වනු ඇත. විහිංසා, ව්‍යාපාද ආදී සිතිවිලි වෙනුවට අවිහිංසාව, මෛත්‍රිය , අතහැරීම ගැන සිතිවිලි ක්‍රමයෙන් ඔබේ සිතේ ඇතිවේ. එනම් සම්මා සංකප්ප නම් මාර්ග අංගය ඔබ තුළ වැඩීම හේතුවෙනි. ඔබට මේ ලෝකයේ හිස් බව, අසාර බව, දුක් බව ගැන වෙනදාට වඩා වැඩි අවබෝධයක් ඇති බැවින් එවැනි සිතිවිලි පහළ වීම වැඩි වේ.
ඔබ භාවිතා කරන වචන යහපත් වූ හිස් නොවූ දෙලොවටම වැඩ සලසන වචන බවට පත් කරගන්නට ඔබ දැන් අවංකවම උත්සාහ කරයි. වෙනදා යහළුවන් හමු වූ විට සම්ප්‍රප්පලාපයන්හිම යෙදී, කේලාම් පවා ඇතැම් විට සතිය නොමැති කමින් සිදුවේ. නමුත් දැන් දැන් ඒවා ක්‍රමක්‍රමයෙන් හීන වී යන ආකාරය ඔබට දැකිය හැකි වනු ඇත. ධර්මය පිළිබඳ, බුදුරජාණන් වහන්සේ පිළිබඳව, භාවනා පිළිබඳව, නොදන්නා දහම් ගැටළු ගැන කතා බහ ක්‍රමයෙන් වැඩි වේ. මේ සම්මා වාචා යන මාර්ග අංගයේ වර්ධනයයි.
භාවනා කරමින්, සතියෙන් කටයුතු කරමින්, කුසල් දහම් වඩවමින් ඔබ සම්මා වායාම නම් මාර්ග අංගය වඩයි. සාමාන්‍ය ජීවීතය තුළඳීද සතියෙන්ම සිටීමට ඔබ දැන් උනන්දු වෙයි. එසේම භාවනාවද දිනපතා ප්‍රගුණ කරයි. සම්මා සති, සම්මා සමාධි යන මාර්ග අංගයන්ගේ වැඩීම එයයි.





මෙසේ ඔබ දැන් ටිකෙන් ටික ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වඩමින් නිවන දෙසට කෙමෙන් කෙමෙන් පියවර තබයි. එසේ නම් ඔබට අනිවාර්යයෙන්ම නිවන හිමිවිය යුතුය. නිසි පරිදි පාරමී සම්පූර්ණ වුවහොත් මේ ජීවීතයේදීම කල් නොයවාම ඔබ නිවන් සුව විඳිනු ඇත. එසේ නොවූවොත් ළඟ භවයකදීම නිවන් දකිනු ඇත. අවශ්‍ය වන්නේ ඔබ හදවතින්ම, අවංකවම නිවන් මාර්ගයේ ගමන් කිරීමයි.





අමා සුව


Comments