සති සම්බොජ්ඣංග
මානව සිහියෙන් යුතුව වාසය කිරීම. එනම් සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන වාසය කිරීම.
ධම්මවිචය සම්බොජ්ඣංග
ධර්මය පිලිබදව නුවනින් විමසා බැලීම.එනම් සතර සති පට්ඨානය පිලිබදව නුවනින් විමසා බැලීමයි.
වීරිය සම්බොජ්ඣංග
කුසල් ධර්මයන් වඩවා ගැනීමට ගන්න වීරිය වීරිය සම්බොජ්ඣංගයයි , එය නොනවතින මග නතර කරන්නේ නැති වීරියක් තිබිය යුතුයි.
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණු වල සෑම විටම මෙම වීරිය පිලිබදව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.(සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධි පාද තුල, පංච ඉන්ද්‍රිය තුල, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල,පංච බල තුල)
ප්‍රීති සම්බොජ්ඣංග
නිරාමිස ප්‍රීතිය, සතර සතිපට්ඨානය තුල සිටීමෙන් කුසල් දහම් වඩවා ගැනීම නිසා ඇති වෙන ප්‍රීතිය.
පස්සද්ධි සම්බොජ්ඣංග
ධර්මයේ හැසිරීමෙන්, සතර සතිපට්ඨානය තුල වාසය කිරීමෙන් සිතේ සහ කයෙහි ඇති වෙන සැහැල්ලු භාවය.
සමාධි සම්බොජ්ඣංග
සිතේ ඇති වන එකග භාවය.සතර සතිපට්ඨානය තුල වාසය කරන විට සිතේ ඇති වන සමාධිය.
උපෙක්ඛා සම්බොජ්ඣංග
සිතේ ඇති වන මැදහත් භාවය, සතර සතිපට්ඨානය තුල හැසිරෙන විට සිතේ ඇති වන උපේක්ෂාව.
================----------------------------------------------------------------------
සවිස්තරව
සති සම්බොජ්ඣංගය
“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි. සතිය යනු කලින් කළ කී දෑ අමතක වන්නට නොදී ඒ වූ සැටියෙන් සිතේ එළඹ සිටීම ස්වභාව කොට ඇති චෛතසිකයෙකි. සති චෛතසිකය සති පට්ඨානය, සතින්ද්‍රීය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි
. සතිය ආරක්ෂක සෙබළෙකුට, කලණ මිතුරකුට, භාණ්ඩාගාරිකවරයෙකුට සමාන කොට ද විස්තර කොට තිබේ. දොරටුපාලයා අනවශ්‍ය කිසිවකුට ඇතුළු වන්නට ඉඩ නොදෙයි. කල්‍යාණ මිත්‍රයා ද තම හිතවතා පාප මිත්‍රයන් ඇසුරට යාමට ඉඩ නොදෙයි. භාණ්ඩාගාරිකවරයා ද තම වගකීම යටතේ ඇති රන් මිණි මුතු ආදී ඉතා වටිනා භාණ්ඩ විනාශ වන්නට ඉඩ නොදී සුරක්ෂිතව රැක බලා ගනී. පොළොවේ රියන් අටක් යට සිට වූ ඉන්ද්‍ර ඛීලයක් නගරයේ දොරටුව ශක්තිමත් කරන්නේ යම් අයුරකින් ද එමෙන්ම සතිය අරමුණ ස්ථිරව පිහිටුවයි. ඇසූ කියූ දෑ සිතේ ස්ථිරව පිහිටුවයි. එහෙයින් සම්මා සතිය සිත සමඟ පහළවන ශෝභන චෛතසිකයක් කොට සැලකෙයි. සුචරිත ධර්මයන් සපුරා ලීමෙන් හා විදර්ශනා මාර්ගයෙන් නිපදවා ගත යුතු නිර්වාණය අවබෝධ කර ගැනීමට සතිය අගනා උපාය මාර්ගයෙකි. සතිය බොජ්ඣංගයක් වශයෙන් ගන්නා විට ද මැනවින් සතිය පිහිටුවා ගැනීමට අවශ්‍යයි. තමන්ගේ කටයතු වලදී, රැකීරක්ෂාවලදී, ගමන් බිමන් වලදී, කතා බහේ දී සිහියෙන් යුතුව කළ යුතු ය. එසේ කිරීමෙන් කටයුතු සාර්ථක කර ගත හැකි ය. එහෙත් ඒවා සති සම්බොජ්ඣංගයට අයත් නොවේ. එසේ වනුයේ බොජ්ඣංග නාමයෙන් ගැනෙන්නේ විශේෂ තේරුමකින් නිසා ය. මේ වචනය සන්ධි විසන්ධි වශයෙන් වෙන්කරගත් විට ‘බෝධි + අංග‘ යි සිටී. එයට සං උපසර්ගය යොදා ගත් විට එයින් විශේෂ අර්ථයක් ද ලැබෙයි. මෙහි යෙදී ඇති බෝධි යන්නෙහි තේරුම කුමක්ද? ‘බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං, චතුමග්ග ඤාණං’ සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග වල දී ලැබෙන ඤාණය බෝධියයි. අංග යන්නෙහි අරුත ඒ බෝධිය ලබා ගැනීමට උපකාර වන මාර්ග යන්නයි. මෙහිලා සති සම්බොජ්ඣංගය නමින් සැලකෙන්නේ මනා සිහියයි. යහපත් සිහියයි. එනම් නිර්වාණගාමී සිව්මග නුවණයි. එවිට මෙහි අර්ථය වනුයේ නිර්වාණාවබෝධය ලැබීමට හේතුවන මනා ‘සිහිය’ යන්නයි. බොජ්ඣංග වශයෙන් සතිය ගන්නා විට නොකඩවා ලැබෙන සතිය ගත යුතු ය. අතරින් පතර ද සතිය ලැබේ. එය අතරින් පතර කැඩේ. මෙතැන ගත යුත්තේ නොකඩවා පවත්නා වූ සතියයි. මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව පාවිච්චි කරනවා නම් ඒ අවස්ථාවේදී මෙයින් ක්‍රියා දෙකක් සිදුවෙයි. සාමාන්‍ය වශයෙන් සිතට පහළ වන ප්‍රමාද පක්ෂයක් ඇත. එනම් සිත ප්‍රමාදයට හෙළන, අවුල් කරන කෙලෙස් සමූහයයි. එනම් අවිද්‍යාව, මිත්‍යාදෘෂ්ටිය, පඤ්ච නීවරණ ආදී කෙලෙස් සමූහයයි. කෙනෙකුගේ සිත පහත හෙළන, වැඩ නවත්වන, ගෙන යන වැඩ පිළිවෙලට බාධා කරන යම්කිසි සිතිවිලි ඇත්නම් ඒ සියලුම සිතිවිලි ගැනෙන්නේ ප්‍රමාද පක්ෂයටය. ඒ අයුරින් ප්‍රමාද පක්ෂයට හේතුවන, ප්‍රමාද පක්ෂයට හේතුවන කෙලෙස් රැසක් ඇත. මේ සති සම්බොජ්ඣංගය නිසා ඒ කෙලෙස් රැස අයින් වෙයි. බැහැර කිරීම සිදුවෙයි.
ඒ අයින් කිරීමත් සමඟම, බැහැර කිරීමත් සමඟ ම තවත් කාර්යයක් ඉටුවෙයි. එනම් පුද්ගලයාගේ අප්‍රමාද ගුණය වර්ධනය වීමය. යම්කිසි භාජනයක අපවිත්‍ර ජලය ඇතොත් එය ඉවත් කර අලුත් පිරිසුදු ජලය දමන්න. අර අපිරිසුදු ජලය අයින් වෙයි. අපිරිසුදු ජලය අයින් වෙනවා වාගේ සිතට සම්බන්ධ වන මේ කෙලෙස් ද මේ සතිය නිසා අයින් වෙයි. ඒ එක්කම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණ රාශියක් ක්‍රමයෙන් වර්ධනය වෙයි. වටිනා ගුණ රාශියක් සිතේ අභ්‍යන්තරයේ වැඩෙයි. සති සම්බොජ්ඣංග වශයෙන් සිදු වන මේ කාර්යය මැනවින් තේරුම් ගත යුතු ය. සති සම්බොජ්ඣංගය වචනයෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත. එම කාර්යයන් දෙක මුදුන් පැමිණෙන ආකාරයෙන් සතිය තමා තුළ වර්ධනය කර ගත යුතු ය. එනම් ප්‍රමාද පාක්ෂික කෙලෙස් විද්වංසනය කිරීම හා අප්‍රමාද පාක්ෂික ගුණ ධර්ම වර්ධනය කර ගැනීමයි. ඒ අයුරින් ක්‍රියාත්මක වන විට ප්‍රමාද පාක්ෂික කෙලෙස් අයින් වෙයි. අප්‍රමාද පාක්ෂික ගුණ දහම් එහි අරක් ගනී. සිත පිරිසුදු වෙයි. මේ තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් ගොස් සතර මගපල ලැබීමට එය මහෝපකාරී වෙයි.
සති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන ධර්ම හතරක් ඇත. එනම්,
- සති සම්පජඤ්ඤය
- මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව
- උපට්ඨින සති පුග්ගල සේවනතාව
- තදධි මුත්තතාව යන සතරයි.
- සති සම්පජ්ඤ්ඤය නමින් සැලකෙන්නේ සිහිය සමඟ මනා දැනීමයි. ඒ දැනීම සාත්ථ සම්පජඤ්ඤ, සප්පායථ, සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජ්ඤ්ඤ යනුවෙන් සිවු ආකාර වෙයි. සියලු කටයුතු මනා සිහියෙන් කළ යුත්තේ කෙසේද? ඒ මෙසේ කළ යුතු ය.
- අභික්කන්තේ පටික්කන්තේ සම්පජාතකාරිහෝති (ඉදිරියට යාමේදීත් ආපසු හැරී බැලීමේදීත් නුවණින් දැන කරයි)
- ආලෝකිතේ විලෝකිතේ සම්පජාතකාරි හෝනි (ඉදිරිය බැලීමේදීත්, අනුදිසා බැලීමේදීත් නුවණින් දැන බලයි)
- සම්මඤ්ජිතේ පසාරිතේ සම්පජාතකාරිහෝති (අත්පා හැකි ළිමෙහි දී ද, දිගු කිරීමෙහිදී ද, නුවණින් දැන කරයි.)
- සංඝාටිපත්ත චීවරධාරණේ සම්පජාත කාරිහෝති (සඟල සිවුර හා පාත්‍ර දැරීම නුවණින් දැන කරයි)
- අභිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරි හෝතිඅනුභව කිරීමේදීත්, පානය කිරීමේදීත් කෑමෙහිදීත් නුවණින් දැන කරයි)
- උච්චාර පස්සාව කම්මේ සම්පජාතකාරි හෝති (මළ මුත්‍ර පහ කිරීමේදී නුවණින් දැන කරයි)
- ගතෙඨිතේ නිසින්නේ සුත්තේ ජාගරීතේ හාසිතේතුන්හී භාවේ සම්පජාතකාරි හෝති (යාමේදී සිටීමේ දී හිඳීමෙහි දී නිඳීමෙහි දී නිදිවැරීමෙහි දී කතා කිරීමේ දී, කතා නොකිරීමේ දී නුවණින් දැන කරයි.)
- මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතාව
මෙයින් අදහස් කරන්නේ මන්ද බුද්ධික, මුළා වූ සිහි නුවණ ඇති පුද්ගලයන් ඇසුරින් දුරු කිරීමය. - උපට්ඨින සති පුග්ගල සේවනතාව
මෙයින් අදහස් කරන්නේ එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමය. - තදධිමුත්තතාව සතර ඉරියව් පැවැත්වීමෙහිදී සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට එයට නැමී පැවති චිත්ත වේගයෙන් යුතු බව තදධිමුත්තතාවයි.
මෙය උඨඨාන වීර්යය නොවේ. ඒ සමඟම එකට යැවිය යුතු ඵලාපේක්ෂාවෙන් යොමු විය යුතු කැමැත්ත ය. ඒ කැමැත්ත නොයෙක් ප්‍රභේද සහිතයි. මෙයින් කත්තුකම්‍යතා හා කුසලච්ඡන්දය අපේක්ෂිතය. දාන, සීල, භාවනාදියෙහි යෙදීම පිණිස සිතෙහි හට ගැනෙන කැමැත්ත බලාපොරොත්තුව කුසලච්ඡන්දයයි. මෙහි දැක්වෙන තදධිමුත්තතාව සත්ත බොජ්ඣංගයන්ගේ පහළවීම පිණිස සපුරාගත යුතු අංගයකි. ඒ ඒ තැන්වල දී මේ නයින් කෙසේ නමුත් සත්ත බොජ්ඣංගයන් උපදවා ගැනීමට සතර ඉරියව්වෙහි ක්‍රියා කළ යුතු ය. කුසලච්ඡන්දය වීර්ය සමඟ ගමන් කරවිය යුතු ධර්මතාවක් බව මහාසිව නම් තෙරුන්ගේ අපදානයෙන් ස්ඵුට වෙයි. මහාසීව තෙරුන්වහන්සේගේ අවවාදයෙහි පිහිටි තිස්නමක් පමණ ශිෂ්‍ය භික්ෂූහු රහත් වූහ.
එහෙත් ආචාර්ය මහාසීව ස්ථවිරයන් වහන්සේ පුහුදුන් බිමෙහිම සිටින බව දැනගත් ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් මුන් වහන්සේ සංවේගයට පැමිණ වූහ. එබැවින් කිහිපදිනකින් රහත් වී ශිෂ්‍ය රහතුන් වෙත එන්නෙමියි හුදකලාව වනයට ගොස් භාවනා කරන්නට වූහ. විටින් විට පරික්ෂාකාරී වූ මුන් වහන්සේ විසින් දෙයැසින් කඳුළු වැගිර වූවාහ අනන්තයි. මෙසේ වුවත් බලාපොරොත්තුව අතරමග නතර නොකොට වීර්යයෙන් ඵලය ලැබෙනතෙක්ම දෘඩතර වූ සේක් තිස්වසකට පසු රහත් භූමියට පත් වූ බව එම කතාවේ සඳහන් වේ.
====================
ධම්ම විචය සම්බොජ්ඣංගය
" බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය. "
මනා අවබෝධයට හේතු වන අංග සහිත ධර්මය සෙවීම යන අරුතින් යුතුව ධම්ම විචය සම්බොජ්ඣංග යන වචනය නිපැයී ඇත. බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය.
ධම්ම විචය යනු ප්‍රඥා චෛතසිකයෙකි. නාම රූප දෙකේ පවතින අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ස්වභාවය සොයා දැන වටහා ගැනීම ධම්ම විචය සම්බොජ්ඣංගයෙන් සිදුවන කාර්යයයි. කිං සච්ච ගවේසි ව ඇත්ත කුමක්දැයි සෙවීම, විමසා වටහා ගැනීම එමඟින් සිදුවෙයි. ආධ්‍යාත්මික සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද, බාහිර සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද ඇත. ඒ දෙයාකාර වූ සංස්කාරයන් විමැසීමෙන් උපදින ප්‍රඥාව ධම්ම විචය සම්බොජ්ඣංගයයි. එය සිව්සස් පිළිබඳ ව විශිෂ්ට නුවණින් දැන ගැනීමට ද, මනා අවබෝධයට ද, නිවන් පසක් කර ගැනීමට ද ආධාර වෙයි. ධම්ම විචය සම්බොජ්ඣංගයෙන් පහළ වන්නේ ආධ්‍යාත්මික හා බාහිර සංස්කාරයන් අරමුණු කොට ඇතිවන විපස්සනා ඤාණයයි.
සම්මා දිට්ඨි, වීමංසිඉද්ධිපාද පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල, පඤ්ඤාපාරමී යන නාමයන් ද ධම්ම විචය සම්බොජ්ඣංගය හැඳින්වීමට යොදනු ලැබේ. පරමාර්ථ වශයෙන් මේ එකම ප්‍රඥා චෛතසිකයෙකැයි සැලකේ. එය බැබළීම හා විශේෂ දැනීම ලක්ෂණ කොට ඇත්තකි. පහන් එළියෙන් අඳුර දුරු වන්නාක් මෙන් නැණ එළියෙන් මෝහය නමැති අඳුර දුරු වී යයි. එහෙයින් ප්‍රඥාව බැබළීම ලක්ෂණය කොට ඇතැයි කියනු ලැබේ. කුසල අකුසල ධර්මයන් මැනවින් දැන ගන්නා නිසා ප්‍රඥාව ප්‍රජානන ලක්ෂණයෙන් යුක්තකි. යථා තත්ත්වය මුවා කරන මෝහය නසාලීම ප්‍රඥාවේ ලක්ෂණයයි. එය මුළා නොවීම, වැටහීම ලක්ෂණ කොට ඇත්තකි. චිත්තේකග්ගතාව (සිත එකඟ කිරීම) ආසන්න කොට ඇත්තකි. යෝනිසෝ මනසිකාරයෙන් පෝෂණය වන්නකි.
- පරිපුච්ඡකතා 2. වත්ථු විස කිරියතා, 3. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, 4. දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතා 5. පඤ්ඤාවන්ත පුග්ගල සේවනතා, 6. ගම්භීර ඤාණවරිය පච්චවෙක්ඛණතා 7. තදධිමුත්තතා යනුවෙන් ධම්ම විචය සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු හතක් දැක්වෙයි.
- පරිපුච්ඡකතා
පරිපුච්ඡකතා යන්නෙහි අර්ථය පිළිවිසින බව යන්නයි. බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද නොයෙක් දහම් කරුණු ගැන නිරවුල් ව වටහා ගැනීමට ප්‍රශ්න කරමින් කරුණු රැස්කිරීම මෙයින් අදහස් කරනු ලැබේ. එනම්, ස්ඛන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීය, බල, බොජ්ඣංග, මාර්ගාංග, ධ්‍යාන, සමථ, විපස්සනා ආදී කරුණු ගැන විමසා දැන ගැනීම මෙයින් අපේක්ෂිතය.
- වත්ථූ විසද කිරියතා
මෙම යෙදුමේ අර්ථය වස්තු පිරිසුදු කිරීම යන්නයි. එනම් ආධ්‍යාත්මික හා බාහිර වස්තුවල පිරිසුදුකම ගැන සැලකිලිමත් වීමයි. දත්, නිය, කෙස් ආදියේ සහ සිරුරෙහි කුණු දහදිය ආදිය තැවරී ඇත්නම් එවිට ආධ්‍යාත්මික වස්තු ද අපිරිසුදු බවට පත් වෙයි. අඳින පොරවන ඇඳුම්, සිවුරු මෙන්ම ගෙවල්, ආවාස, කොට්ට මෙට්ට, ඇඳ – ඇතිරිලි, අපිරිසුදු වී දිරා පත් වී කිළුටු වී තිබේ නම් එවිට බාහිර වස්තු අපිරිසුදු වෙයි. එයින් ඤාණය ද අපිරිසුදු වෙයි. ඒවා පිරිසුදු ව තිබේ නම් ඤාණය ද පිරිසුදු වෙයි. ඒ නිසා ධම්ම විචය සම්බොජ්ඣංගය ද පහළ වෙයි.
- ඉන්ද්‍රීය සමත්ත පටිපාදනතා
මෙයින් අදහස් කරන්නේ සද්ධා ආදී ඉන්ද්‍රීයන්ගේ සමභාව කරණයයි. (සද්ධාදීනං ඉන්ද්‍රියානං සමභාව කරණං) භාවනා කරන යෝගාවචරයාගේ ශ්‍රද්ධාව බලවත් නම් ඔහුගේ සෙසු ඉන්ද්‍රිය දුබල වෙයි. එවිට සෙසු ඉඳුරන්ට තම තමන්ට නියමිත කටයුතු කිරීමට නොහැකි වෙයි. ඒ නිසා ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රියේ ධර්ම ස්වභාවය සිහි කරන්නේ නැතිව එය පිරිහෙළිය යුතු ය. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා යන්නෙන් අදහස් කරන්නේ එයයි. එම ශ්‍රද්ධා ඉන්ද්‍රියේ ධර්ම ස්වභාවය සිහි කරන්නේ නැතිව එය පිරිහෙළිය යුතු ය. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා යන්නෙන් අදහස් කරන්නේ එයයි.
- දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතාව
අනුවණ පුද්ගල හෝ තිරශ්චීන ප්‍රේත ආදී හීන ආත්මලාභීන්ගේ ආශ්‍රය තමා වෙතින් බැහැර කිරීම මෙයින් අපේක්ෂා කැරේ. යෝගාවචරයකුට ඔවුන්ගෙන් ලැබිය හැකි විපත් හිරිහැර බොහෝ ය. දුම්මේධ, රුහක, නංගලීස වැනි ජාතක කියවා මේ ගැන විමසීමක යෙදෙන්න.
- පඤ්ඤාවන්ත පුද්ගල සේවනතාව
මෙයින් අදහස් කරන්නේ පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් උදයව්‍ය ලක්ෂණ දන්නා නුවණැති පුද්ගලයන්ගේ ආශ්‍රය යි. සංකිච්ච, සුමන, සෝණුත්තර සාමණේර ආදී කතා කියවා සාකච්ඡා කරන්න.
- ගම්භීර ඤාණචරිය පච්චවෙක්ඛණතා
මෙයින් අදහස් කරන්නේ ස්ඛන්ධ ධාතු ආයතන චතුසච්ච, පටිච්ච සමුප්පාද ආදී ධර්මයන්ගේ ප්‍රභේදයන් නුවණින් මෙනෙහි කිරීමයි.
- තදධිමුත්තතාව
ඉඳීම්, හිටීම් ආදි සියලු ඉරියව්වල දීම ධම්ම විචය උපදවනු සඳහා නැමුණු බරවුණු සිත් ඇත්තාට ද මේ ධම්ම විචය සම්බොජ්ඣංගය උපදී. ඉහතින් සඳහන් කළ කරුණු හත හේතු කොට ගෙන, ධම්ම විචය සම්බොජ්ඣංගය සිතේ නගා සිටුවාගෙන එය ම සමීප කොටගෙන යෝගාවචරයා නිවන් පසක් කර ගනී.
විරිය සම්බොජ්ඣංගය
සප්ත බොජ්ඣංගයන් අතර තුන්වැන්න සේ සැලකෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. වීර්යය කායික ,මානසික වශයෙන් දෙවැදෑරුම් වෙයි. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් මානසික ශක්තිය අපේක්ෂා කරනු ලැබේ. පටන් ගත් කටයුතු අතර මග නොනවත්වා නිමාවක් දක්නා තුරු කිරීම වීර්යයේ ලක්ෂණයයි. එම ගති ලක්ෂණය ඇත්තෝ වීර ගණයෙහිලා සැලකෙති.
ආරම්භක ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්යය තුන් වැදෑරුම් වෙයි. ඒවා අනුපිළිවෙළින් ගත් විට එකකට වඩා එකක් ප්‍රබලය. ආරම්භක ධාතු වශයෙන් සැලකෙන පළමු වන වීර්යය කාමාශාවන් දුරු කිරීම පිණිසත්, නික්කම ධාතු නමින් සැලකෙන දෙවන වීර්යය කෙලෙස් සංසිඳුවීම පිණිසත්, පරක්කම ධාතු නමින් සැලකෙන තෙවන වීර්යය කෙලෙස් බැමි කඩා බිඳ දැමීම පිණිසත් හේතු වෙයි.
ප්‍රධාන වශයෙන් ද වීර්ය සිව් වැදෑරුම් ලෙස දක්වා ඇත. එනම්
- සංවරප්පධාන
2.පහානප්පධාන
- භාවනාප්පධාන
4.ආරක්ඛණකප්පධාන වශයෙනි.
මෙහි පධාන යන වචනය ද විරිය යන ශබ්දයට සමාන අරුත් ඇත්තකි. පඤ්චේන්ද්‍රියයන්ට පඤ්චකාම වස්තුන් ගෝචර වූ විට ක්ලේශ කාමයන් උපදී නම් එයට ඉඩ නොදී හික්මීමට ගන්නා වීර්යය සංවරප්පධානයයි. සිතේ ඇතිවන කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් දුරු කිරීමට ගන්නා උත්සාහය පහානප්පධානයයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වන බොජ්ඣංග විෂයෙහි වන අප්‍රමාද පැවැත්ම භාවනාප්පධානනයි. සිතේ පිරිසුදුකම හා සංවරකම ඇති කර ගැනීමෙහිලා පහළ වන වීර්යය අනුරක්ඛණප්පධානයයි.
වීර්යය නොයෙක් ලක්ෂණයන්ගෙන් යුක්තය. ඒ සඳහා භාවිත වන සමානාර්ථවාචී පද කීපයක් මෙසේය. උස්සාහ,පග්ගහ, ආතප්ප, වායාම, පරක්කම , පධාන, උය්‍යාම මේ සෑම පදයක්ම විරිය යන පදයට සමානාර්ථවාචී වෙයි. වීර්යය දස පාරමිතාවන් අතර විරිය පාරමිතා නමින්ද ආර්ය මාර්ගාංගයන් අතර සම්මා වායාම නමින්ද ,ඉන්ද්‍රිය ධර්මයන් අතර විරියින්ද්‍රීය නමින්ද , බල අතර විරිය බල නමින්ද ඍද්ධිපාදයන් අතර විරියිද්ධිපාද නමින්ද සත්ත බොජ්ඣංගයන් අතර විරිය සම්බෝජ්ඣංග නමින්ද ව්‍යවහාරයට පැමිණ ඇත.
1.නූපන් අකුසල් නූපදීමට ගන්නා වීර්යය.
2.උපන් අකුසල් යටපත් කොට දැමීමට ගන්නා වීර්යය
3.නූපන් කුසල් උපදවා ගැනීමට ගන්නා වීර්යය. එනම් ධ්‍යාන මාර්ගඵල ආදිය උපදවා ගැනීමට ගන්නා වීර්යය.
4.උපන් කුසල් එනම් තම සිතින් උපදවා ගෙන ඇති ධ්‍යාන මාර්ග ඵල ආදිය වැඩි දියුණු කර ගැනීමට ගන්නා වීර්යය
වශයෙන්ද වර්ග කර ඇත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගැන්වෙන සම්මා වායාමයයි.
වීර්ය කළ යුත්තේ තම තමා විසිනි. බුදුරජාණන් වහන්සේගෙන් සිදු වී ඇත්තේ එවැන්නවුන්ට යා යුතු නිසි මග පෙන්වා දීමයි. උන්වහන්සේ “මා නිවත්ත අභික්කම” තමා උතුම් අරමුණු ඉටු කර ගනිමින් ඉදිරියට යන්නැ”යි උපදෙස් දුන්හ. අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මගෙහි අරි අටගි මඟ දැන එමගෙහි නො සැලී ඉදිරියට යාමයි. එවිට බුදුරජුන් අප ළඟම වැඩ සිටින සෙයක් අපටම වැටහෙනු ඇත. යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී (යො ධම්මං පස්සති, සො මං පස්සති) යි වදාරා ඇත්තේ එයයි.
වීරිය සම්බෝජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළොසකි. ඒ මෙසේය.
“ඒකාදස ධම්මා විරිය සම්බෝජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති
1.අපායභය පච්චවෙක්ඛණතා (අපා බිය නුවණින් සලකන බව)
සැපයෙන් තොර වූ තැන අපාය නමින් සැලකේ. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර, යනුවෙන් අපාය හතරක් ඇත. ඒ හතර අපායන්හි උපන් සත්වයන් විඳින දුක් නුවණින් සලකා බලන්නකුට සිව්මඟ නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.
2.ආනිසංස දස්සාවිතා (ආනිශංස දන්නා බව)
කම්මැලියන්ට සතරමඟ, සතර පල නිවන් ලබන්නට නොහැකිය. එය ලැබිය හැක්කේ ආරම්භක ධාතු, පරක්කම ධාතු ,නික්කම ධාතු යන වීර්යයෙන් යුතු පුද්ගලයන්ටය. මෙසේ ආනිසංස සලකන්නන්ට වීර්ය උපදවා ගෙන සසර කතරින් එතෙර විය හැකිය.
3.ගමන විථි පච්චවෙක්ඛණතා (රහතුන් වැඩි මග සැලකිල්ලට ගැනීම)
බුදු,පසේ බුදු, මහරහතන් වහන්සේලා ලෞකික සැප සම්පත් අතහැර දමා නිවන් සැප පසක් කර ගත් අයුරු උන්වහන්සේලාගේ චරිත හදාරන විට පැහැදිලි වෙයි. ඒ අනුව කටයුතු කරන විට සිව්මග නුවණින් නිවන් අවබෝධ කර ගැනීමේ වීර්ය ඇති වෙයි.
4.පිණ්ඩපාත පච්චවෙක්ඛණතා (පිණ්ඩපාතයට ප්‍රති පූජා කිරීම)
තමන්ට සිව්පසයෙන් සලකන ලද සැලකිලි කරන පුද්ගලයින් එසේ කරන්නේ ඇයි දැයි මෙනෙහි කරන භික්ෂුව තුළ ඔවුන්ට ප්‍රතිපූජා කළ හැක්කේ තමන් නිවන් පසක් කර ගැනීමෙනැයි යන වීර්යය ඇති වෙයි.
5.දායජ්ජ මහන්ත පච්චවෙක්ඛණතා (දායාද මනත්වය ප්‍රත්‍යවේක්ෂා කරන බව)
දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබෙන ඉඩකඩම්, වතුපිටි, ගේදොර ආදි ලෞකික සම්පත් ද දායාද නමින් සැලකේ. එහෙත් මෙහිලා දායාද නමින් සැලකෙන්නේ එවැනි ලෞකික සම්පත් නොවේ. තෙරුවන් සරණ යන බෞද්ධයා සප්තාර්ය ධනය දායාද කොට ඇත්තෙකි. ඒ ශ්‍රද්ධා, ශීල, හිරි, ඔත්තප්පිය, ශ්‍රැත ,ත්‍යාග, ප්‍රඥා යන සප්තාර්ය ධනයයි. තමාට බුදු පසේ බුදු , මහරහත් පරපුරෙන් ලැබිය හැකි ඒ උතුම් දායාද ගැන සිතන්නෙකුට ඒවා තම උත්සාහයෙන්ම ලැබිය යුතු බව වැටහෙන විට වීර්ය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන පසක් කරගත හැකිය.
6.සත්ථු මහන්ත පච්චවෙක්ඛණතා (ශාස්තෘවරයාගේ නුවණින් කරන ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කරන බවය)
බුදුවරයෙකුගේ පහළ වීම, මිනිසත් බව ලැබීම, සද්ධර්ම ශ්‍රවණය, ආදි දුර්ලභ කරුණු සැලකීමෙන්ද, බුදුරදුන්ගේ චරිතය, දහම් හැදෑරීමෙන්ද බුදු ගුණ සිහිකිරීමෙන්ද ආදී වශයෙන් ශාස්තෘවරයාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කිරීමෙන් මෙබඳු සමයක උපන් මා උදාසීන නොවී වීර්ය වැඩිය යුතු යැයි විරිය සම්බොජ්ඣංගය උපදවා ගෙන නිවන් අවබෝධ කර ගනී.
7.ජාති මහන්ත පච්චවෙක්ඛණතා (ජාති මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
බුදුරජුන් සරණ ගිය තැන් පටන් මම දැන් හීන ජාතිකයෙකු නොවෙමි. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජවංශයට අයත් වූවෙක්මි. සුදොවුන් මහරජුන්ගේත්, මහාමායා දේවියගේත්, මුණුපුරෙක්මි,යි එබඳු වූ මා කුසීතයෙකු කම්මැලියකු සේ කල් යැවීම සුදුසු නොවේ.’ යනාදී වශයෙන් ජාති මහත්වය නුවණින් මෙනෙහි කරමින් මා සම්බොඣංගය වඩා නිවන් අවබෝධ කර ගනී.
08.සබ්‍රහ්මචාරි මහන්ත පච්චවෙක්ඛණතා (සබ්‍රහ්මචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන බවය)
‘සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාත්, අසූ මහ සව් මහරහතන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලාත් සිව්වැදෑරුම් වීර්ය වඩාගෙන ලොව්තුරු දහම අවබෝධකර ගත්හ. සබ්‍රහ්මචාරි වූ මම ද උන්වහන්සේලා වැඩි මග අනුගමනය කරන්නේද? “ඒ අයුරින් සබ්‍රමචාරි මහත්වය නුවණින් මෙනෙහි කරන යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය වඩා නිවන් පසක් කර ගනී.
9.කුසීත පුද්ගල පරිවජ්ජනතා (කම්මැලි කුසීත පුද්ගලයන් දුරු කරන බව)
කුසීත පුද්ගලයෝ අගාරික, අනගාරික වශයෙන් කොටස් දෙකකි. ඒ අය ගොදුරු ගිල කුස පුරවාගෙන සිටින පිඹුරන් මෙනි. එවැනි කායික, මානසික අකර්මණ්‍ය පුද්ගලයන් ඇසුරු නොකළ යුතුය.
ගිහියකු වශයෙන් තමන්ගේ වගකීම් ඉටු නොකර ඈලි මෑලි දුබල ගතියෙන් යුතුව, වාසනාව ඇතොත් හැම දෙයක්ම ඉටු වෙතැ’යි කියමින් කල් මරන පුද්ගලයා අගාරික කුසීත පුද්ගල ගණයට වැටේ. අනගාරික කුසීත පුද්ගල ගණයට වැටෙන්නේ, පසිඳුරන් පිනවමින්, ජීවත්වන, අහාරයෙහි පමණ නොදන්නා ඉන්ද්‍රීය සංවරයක් නැති, බණ භාවනා වත් පිළිවෙත් නොකරන පැවිදි පිරිසය. අගාරික වුත් අනගාරකි වූත් ඒ කුසීත පුද්ගලයින් ඇසුරු නොකොට, වීරිය සම්පන්න පුද්ගලයින්, ඇසුරු කරමින් යෝගාවචරයා විරිය සම්බොජ්ඣංගය උපදවා ගත යුතුය.
10.ආරද්ධ විරිය පුග්ගල සේවනතා (ආරබ්ධ වීර්යයෙන් යුතු පුද්ගලයා සේවනය කරන බව)
පටන් ගත් වීර්යය ඇති ආරම්භ කළ කටයුතු නිමාවන තෙක් අතරමඟ නතර නොකොට අවසාන ප්‍රතිඵලය ලැබෙන තුරු ක්‍රියා කරන වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරමින් විරිය සම්බොජ්ඣංගය උපදවාගෙන නිවන් පසක් කරගත යුතුය.
11.තදධිමුත්තතාව
සිව් ඉරියව්වේදීම විරිය සම්බොජ්ඣංගය කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම මෙහිලා තදධිමුත්තාව ලෙස සැලකෙයි.
ප්‍රීති සම්බොජ්ඣංගය
" පී‍්‍රති යන වචනයේ අර්ථය හිනාවීම යන්නයි. (පීනයතී’ ති පීති) අරමුණ මනාප කරවීම, පි‍්‍රය කරවීම පී‍්‍රතියේ ස්වභාවයයි. ලක්ෂණයයි. කයත් සිතත් පුබුදුවන ගතිය පී‍්‍රතියෙහි ඇත. ඛුද්ධිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බේගා, ඵරණා යැයි පී‍්‍රතිය පස් ආකාරයකට වර්ග කර ඇත. එසේ වර්ග කර ඇති එම පී‍්‍රතිය පස්වනක් පී‍්‍රතිය යැයි කියනු ලැබේ."
සත්ත බොජ්ඣංගයන් අතර සිව්වැන්න සේ සැලකෙන්නේ පීති සම්බොජ්ඣංගයයි. සතුට විපුල භාවය, සමෘද්ධිය වැනි අරුත් එම වචනයෙහි ගැබ් වී ඇත. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් කියවෙන්නේ අරූපි ධර්මයෙකි. එය එසේ කී පමණින් පීති සම්බොජ්ඣංග ධර්මය වැටහෙන්නේ නැත.
දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍යය තේරුම් ගත් යම් සිතක් වේ නම්, එම සිතෙහි ඇතුළත් ව තිබෙන සති, ධම්මවිචය, විරිය, ආදී චෛතසිකයන් අතර පීතිය ද එකකි. එය අනෙක් හය සමග එකට යෙදුණු විට නිවන් අවබෝධ කර ගැනීමට කාරණයක් ව පවතී. ඒ නිසා ‘පීති සම්බොජ්ඣංගො ඛො කස්සප මයා සම්මදක්ඛතා භාවිතො බහුලීකතො, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තතී (කාශ්‍යපය, මා විසින් පීති සම්බොජ්ඣංගය මැනවින් කියන ලදී. භාවිත කරන ලදී. බොහෝ කොට පුරුදු කරන ලදී. එය සත්‍ය ප්‍රතිවේධයටත්, සම්‍යක් සම්බෝධියටත් නිර්වාණාවබෝධයටත් හේතු වෙයි.) යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙම පී‍්‍රතිය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම්ය.
ස්වභාවයෙන් හෝ සැලකීමෙන් ඉෂ්ට මනාප පි‍්‍රය අරමුණක් ලැබීමෙන් ඇති වන්නේ පී‍්‍රතියකි. සතුටකි. පී‍්‍රති යන වචනයේ අර්ථය හිනාවීම යන්නයි. (පීනයතී’ ති පීති) අරමුණ මනාප කරවීම, පි‍්‍රය කරවීම පී‍්‍රතියේ ස්වභාවයයි. ලක්ෂණයයි. කයත් සිතත් පුබුදුවන ගතිය පී‍්‍රතියෙහි ඇත. ඛුද්ධිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බේගා, ඵරණා යැයි පී‍්‍රතිය පස් ආකාරයකට වර්ග කර ඇත. එසේ වර්ග කර ඇති එම පී‍්‍රතිය පස්වනක් පී‍්‍රතිය යැයි කියනු ලැබේ.
ඛුද්දිකා පී‍්‍රතිය සිතේ හටගත් කල එය සිරුරේ ලොමු දැහැ ගැන්වීමට තරම් ශක්තිමත්ය. ඛණිකා පී‍්‍රතිය සිතේ හට ගත් විට මොහොතින් මොහොත විදුලිය වැටීමක් මෙන් එය පැතිර යයි. ඔක්කන්තිකා පී‍්‍රතිය සිතේ හටගත් විට දිය රැළි මුහුදු වෙරළට පැමිණ බිඳී බිඳී යන්නාක් මෙන් කය වස - වසා යයි. උබ්බේගා පීතිය වඩා බලවත්ය. එය යම් සිතක පහළ වූයේ නම් එවිට සෘද්ධි බලයෙන් යුතුව අහසින් යාමට පවා හැකි වෙයි.
අතීතයේ එක්තරා පසළොස්වක දිනයෙක දී අනුරාධපුරයේ සිදු වූ පුවතක් මෙහිලා නිදසුනක් කොට දැක්විය හැකිය. මහාතිස්ස නම් තෙර නමක් පුණ්ණවල්ලික නම් විහාරයේ වැඩ සිටියහ. පුරහඳ එළිය දසත ගලා යමින් පැවති ඒ නිහඬ නිසල මොහොතේ තමන් වහන්සේ මෙබඳු පසළොස්වක දිනක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සමඟ රුවන්වැලි මහ සෑ මළුවට රැස්ව වැඳුම් පිඳුම් කළ අවස්ථාවක් චිත්තරූප වශයෙන් මැවි මැවී පෙනෙන්නට විය. එයටම සිත ඇදී ගියේ ය. මහා තිස්ස තෙරණුවෝ සෘද්ධිබලයෙන් රුවන්වැලි සෑ බිමට වැඩම කළ බව එම පුවතේ සඳහන් වේ. රෝහණ ජනපදයේ ගිරි හඬු සෑයට ආසන්න වත්තකාල නම් ගමේ සිටි කාන්තාවක සම්බන්ධයෙන් ද එබඳු අතීත පුවතක් ඇත. ඇය ගැබිනි මාතාවකි. ගිරිගඬු වෙහෙරේ පැවැත්වෙන පුද පූජා, ධර්ම දේශනා ඇතුළත් මහ පින්කමට සහභාගි වීමට ගෙවැසි සියල්ලෝම යාමට සූදානම් වූහ. එහෙත් ඒ ගැබිනි මවට අවේලාවේ රෑ පානේ එසේ යාම නුසුදුසු නිසා ඇය නිවසෙහි නවත්වා ඔවුහු පිටත් වූහ. ඇය තමන්ගේ නිවසේ නතර වී ගිරිගඬු ලෙන් මහ සෑයේ සිදුවන පුද පූජා ශබ්ද ආදියට සවන් යොමු කරගෙන සිටින අතර බුද්ධාලම්බන පී‍්‍රතියෙන් සෑය දෙස බලත් ම උබ්බේග පී‍්‍රතිය පැන නැගිණි. ඉබේ ම අහසට පැන නැගී, ගමන සිදු වී සෑය වැඳ පුදා ගෙන බණ අසමින් සිටින අතර ඊට පළමු ව පිටත්ව ගිය දෙමාපියෝ ඇය දැක තොරතුරු අසා පුදුම වූහ. ඉහත කී සිදුවීම් දෙකෙන් ම පැහැදිලි වන්නේ උබ්බේග පී‍්‍රතිය ශරීරය අහසට නඟා යවන්නට තරම් ශක්තිමත් බවයි.
ඵරණා පී‍්‍රතිය සියලු ශරීරය පිනි පුරවන ලද්දාක් මෙන් ද, මහ දිය කඳකින් පිරීගිය කඳු කුහරයක් මෙන්ද, මුළු ශරීරය ම පිරී ඉතිරී යාම කරයි. මේ කියන ලද පස් වනක් පී‍්‍රතින් කාමාවචර, රූපාවචර සිතක යෙදුණු අවස්ථාව ලෞකිකය. මාර්ග සිතක යෙදුණු අවස්ථාව ලෝකෝත්තරය.
පී‍්‍රති සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළොසක් මෙසේ දැක්වෙයි. ‘ඒකාදස ධම්මා පීති සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තතීති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, ලුඛ පුග්ගල පරිවජ්ජනතා, සිනිද්ධ පුග්ගල සේවනතා, පාසාදනීය සුත්තත්ත, පච්චවෙක්ඛණතා තදධිමුත්තාති,
01.බුද්ධානුස්සති
බුදුරදුන් අරබයා සිදුවන සිහි කිරීමය. එනම් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී නවගුණ සිහි කිරීමයි.
02.ධම්මානුස්සති
බුද්ධ ධර්මය අරබයා සිදුවන සිහිකිරීමයි. එනම් ස්වාක්ඛාතො ආදී දහම් ගුණ සිහි කිරීමයි.
03.සංඝානුස්සති
සඟරුවන අරබයා ගුණ සිහි කිරීමයි. එනම් සුපටිපන්න ආදී සඟ ගුණ නවය නැවත නැවත සිහි කිරීමයි.
04.සීලානුස්සති
බොහෝ කාලයක පටන් ආරක්ෂා කළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රීය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය, පඤ්ච සීලය, දස සීලය නැවත නැවත සිහි කිරීමයි.
05.චාගානුස්සතිය
තමා විසින් කරන ලද දාන, පරිත්‍යාග ආදිය නැවත නැවත සිහි කිරීමය.
06.දේවතානුස්සතිය
ඒ ඒ දෙවියන් දේවාත්ම ලබා ඇත්තේ සද්ධා, සීල ආදී ගුණ ධර්මයන් නිසා ය. මට ද එවැනි ගුණ ඇතැයි සිහි කිරීමයි.
07.උපසමානුස්සතිය
ජාති, ජරා, මරණ ආදී සියලු දුක් සංසිඳුවන නිවනෙහි අගය සිහි කිරීමයි.
08.ලුඛ පුග්ගල පරිවජ්ජනතා
රළු, දඩබ්බර, අසංවර පුද්ගලයන්ගේ ඇසුර අත හැරීමයි.
09.සිහිද්ධ පුග්ගල සේවනතා
මුදු මොළොක් සිතැඟි ඇති, ආත්මාර්ථ, පරාර්ථ චර්යාවන්හි යෙදෙන, ශාන්ත ගති පැවතුම්වලින් යුතු පුද්ගලයන් ඇසුරු කිරීම.
10.පාසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛණතා
තමාගේ සිත ඇඳ බැඳ ගත්, එසේම තමාගේ ප්‍රසාදය වැඩිදියුණු කරන බුද්ධ දේශනා නැවත කියවමින් නුවණින් මෙනෙහි කිරීම.
11.තදධිමුත්තතාව
ඉඳුම් හිටුම් ආදී සතර ඉරියව්වෙහි දී ම පීති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට නැමී පැවති සිත් ඇති බව, යමෙක් ඉහත දැක් වූ කරුණු සැලකිල්ලට ගෙන පීති සම්බොජ්ඣංගය වඩයි නම් ඔහුට ඒකාන්තයෙන් නිවන් සුව පසක් කරගත හැකි වෙයි.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!
Comments
Post a Comment