ලිපි 3ක් ඇසුරෙන්
01ලිපිය
ආනාපානසති භාවනාව වැඩීමේ දී තමාගේ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය තියුණු කරගෙන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ පවතින කාලය හෙවත් ‘දිග බව’ හෝ ‘කෙටි බව’ සිහි කරගතයුතු ආකාරය පැහැදිලි කරන ලදී. එසේ හුස්ම රැල්ලේ දිග, කෙටි බව කෙරෙහි අවධානය දියුණු වූ යෝගාවචරයා මීළඟට නුවණින් යුතුව සමස්ථ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය වැඩි කරගත යුතු වේ. ඒ බව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති.’
සියලු ආශ්වාස කය නුවණින් ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කය නුවණින් ප්‍රකට කරගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි.
මෙහි ‘කාය’ වචනයෙන් ආශ්වාස-ප්‍රාශ්වාස කය හෙවත් හුස්ම රැල්ල ම අදහස් වේ. ඒ අනුව නාසිකාග්‍රයේ ගැටෙමින් ඉහළට ගන්නා හුස්ම රැල්ල ද පහළට හෙළනා හුස්ම රැල්ල ද සමස්ථය නුවණින් ප්‍රකට කරගත යුතු බව මින් අදහස් වේ.
මෙහි දී ‘කාය’ යන වචනය වරදවා වටහාගෙන ඇතැම් භාවනා ඇදුරුවරු සමස්ථ රූපකය දෙස සිත යොමු කළයුතු බව කියති. එහෙත් එය බෞද්ධ භාවනා ක්‍රමයට විරුද්ධ වේ. එබැවින් මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සිත නාසිකාග්‍රයෙන් ඉවතට නොගත යුතු බවයි. නාසිකාග්‍රයේ පමණක් (ඇතැම් කෙනෙකුගේ නාසය උඩට හැරී ඇති නම් උඩු තොලේ ද හුස්ම ගැටේ. එවිට එතැන සිත තබාගත යුතු වේ) සිත තබාගෙන එතැනින් ඇතුළුවන සහ පිටවන හුස්ම කෙරෙහි සිහිය තබාගැනීමෙන් ධ්‍යාන මට්ටම් දක්වා සිත දියුණු කරගත හැකි වේ. එසේ නොකර සිරුර ඇතුළට සිත මෙහෙයවීමෙන් ධ්‍යාන ඉපදවීමක් කළ නොහැකිව සිත විසිරෙන බව සඳහන් වේ.
මෙසේ සියලු ආශ්වාස-ප්‍රාශ්වාස කය පිළිබඳ නුවණින් බලා සිටින ආකාරය විශුද්ධිමාර්ගයේ මෙසේ සඳහන් වේ.
‘සකලස්ස අස්සාසකායස්ස ආදිමජ්ඣපරියොසානං විදිතං කරොන්තො පාකටං කරොන්තො අස්සසිස්සාමීති සික්ඛති. සකලස්ස … පස්සසිස්සාමීති සික්ඛති. එවං විදිතං කරොන්තො පාකටං කරොන්තො ඤාණසම්පයුත්තෙන චිත්තෙන අස්සසති චෙව පස්සසතිච’
සියලු ආශ්වාස කයේ මුල, මැද, අග ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමි යැයි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කයේ මුල, මැද, අග ප්‍රකට කරගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යැයි හික්මෙයි. මෙසේ ප්‍රකට කරගනිමින් ඤාණසම්ප්‍රයුක්ත සිතින් ආශ්වාස ද ප්‍රාශ්වාස ද කරයි.
ඒ අනුව හුස්ම රැල්ලේ මුල, මැද, අග යන තුන් තැන් ම නුවණින් ප්‍රකට වන සේ සිහිය වැඩි කරගත යුතු බව මින් අදහස් වේ. එනම් හුස්ම රැල්ලේ කිසිදු කොටසක් නුවණින් තොරව සිහි නොකළ යුතු බව යි. හුස්ම ඉහළට ගැනීමේ දී නාසිකා අග ස්පර්ෂය ආරම්භ වූ මොහොතේ පටන් එය අවසන් වීම දක්වාම ද, පහළට හෙළීමේ දී ද නාසිකා අග ස්පර්ෂය ආරම්භ වූ මොහොතේ පටන් අවසන් වීම දක්වාම ද නුවණින් යුතුව බලා සිටිය යුතු බවයි.
මෙහි දී මුල, මැද, අග යන්නෙන් හුස්ම රැල්ල පවත්නා වූ, පිහිටන්නා වූ මුල, මැද, අග යන ස්ථානයන් අදහස් නොවේ. පිටතට හෙළන හුස්ම රැල්ලේ මුල නාභිය ලෙසත්, මැද හෘදය ලෙසත්, අග නාසිකාග්‍රය ලෙසත්, ඉහළට ගන්නා හුස්ම රැල්ලේ මුල නාසිකාග්‍රය ලෙසත්, මැද හෘදය ලෙසත්, අග නාභිය ලෙසත් හින්දු භාවනා ක්‍රම වල ඉගැන්වේ. ඇතැම් භාවනා ඇදුරුවරු මෙම හින්දු භාවනා ක්‍රමය සමඟ පටලවාගෙන බෞද්ධයන්ට ද ආනාපානසති භාවනාව කියා දීමේ දී මෙම ක්‍රමය අනුගමනය කළයුතු බව කියති. එහෙත් එයින් සිතේ සමාධිය බිඳේ. සිත වික්‍ෂිප්ත බවට පත්වේ. සිත දරදඬු වෙයි. කමටහන සැලීමට පත්වේ. එවිට ධ්‍යාන සිතක් උපදවාගැනීම කළ නොහැකි වේ. මේ පිළිබඳ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පටිසම්භිදාමග්ගපාලියේ මෙසේ දේශනා කරති.
‘අස්සාසාදිමජ්ඣ පරියොසානං සතියා අනුගච්ඡන්තො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතාච ඵන්දිතා ච. පස්සාසාදිමජ්ඣ පරියොසානං … ඉඤ්ජිතාච ඵන්දිතා ච.’
ආශ්වාස මුල-මැද-අග සිහියෙන් අනුව යන්නා වූ යෝගියාගේ ආධ්‍යාත්මයෙහි වික්‍ෂිප්තයට ගිය සිතින් කයත් සිතත් (මහත් කැළඹීමෙන්) දරදඬු බවට ද කම්පිතව සැලීමට ද වෙයි. ප්‍රශ්වාස මුල-මැද-අග සිහියෙන් අනුව යන්නා වූ යෝගියාගේ බැහැර අරමුණේ වික්‍ෂිප්තබවට ගිය සිතින් කයත් සිතත් දරදඬු බවට ද කම්පිතව සැලීමට ද වෙයි.
එබැවින් මෙය හුදු අපගේ අදහසක් නොව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වේ. එසේම බුද්ධඝෝෂාචාර්යතුමන් විසින් විශුද්ධිමාර්ගයේ දී අවධාරණය කරන ලද්දක් ද වේ. එය පැහැදිලි ය. යම් කෙනෙක් තමන්ගේ හුස්ම රැල්ල අනුව සිත සිරුර ඇතුළට ගෙන යාමේ දී එක් අරමුණක සිත සමාධිමත් නොවේ. එක් අරමුණක බොහෝ වේලාවක් සිත තබා නොගැනීමෙන් සිත සන්සිඳීමකට පත් නොවේ. සමථ වශයෙන් සිතේ වැඩීමක් සිදු නොවේ. සිත වික්‍ෂිප්ත බවට පත්වේ. නොයෙක් අරමුණු වලට සිත මාරු වීමේ දී ඇති වන මෙම වික්‍ෂිප්ත බව නිසා කයත් සිතත් දෙකේ කර්මණ්‍ය බව නැති වී දරදඬු වේ. ඇතැම් අය ආනාපානසති භාවනාව කිරීමේ දී සිරුර සැලෙන බව, වැනෙන බව ආදි ඇතැම් චෝදනා කරන්නේ මෙම වරදවාගැනීම් නිසා වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට නිවැරදිව භාවනාව සිදු කරන්නේ නම් ඉතා ඉක්මනින් ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කරගත හැකි වේ.
නාසිකා අග පමණක් සිත තබාගෙන එතැනින් ඉහළට ගන්නා වාතය ද පහළට හෙළනා වාතය ද අරමුණු කරගෙන සමස්ථ හුස්ම රැල්ල ම නුවණින් ප්‍රකට කරගැනීම මෙම පියවරේ දී පැහැදිලි කරන ලදී. එහි දී සිත පවත්වාගත යුතු ආකාරය පිළිබඳ විශුද්ධිමාර්ගයේ ද පටිසම්භිදාමග්ගපාලියේ ද උපමා කිහිපයකින් විස්තර කෙරේ. ඒ සියල්ලෙන්ම අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නාසිකා දොරටුවේ පමණක් සිත තබාගෙන සමස්ථ හුස්මරැල්ල අරමුණු කරන ආකාරයයි. ඒ පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කෙරේ.
එබැවින් බෞද්ධ භාවනා ක්‍රමයේ දැක්වෙන ආකාරයට නාසිකා අග හුස්ම ගැටෙන තැන පමණක් සිත තබාගෙන සමස්ථ හුස්මරැල්ල ම නුවණින් ප්‍රකට කරගනිමින් හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙළීමත් කළයුතු වේ.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි ✍️
02 ලිපිය
ආනාපානසති භාවනාව කරන පුද්ගලයා විසින් නාසිකා දොරටුවේ (හෝ උඩු තොලේ) හුස්ම රැල්ල ගැටෙන ස්ථානයේ පමණක් සිත තබාගෙන ඉහළ, පහළ යන හුස්ම රැල්ල කෙරෙහි සිහිය දියුණු කරගත යුතු ආකාරය ද, ‘සබ්බකාය පටිසංවේදී’ යනුවෙන් සියලුම හුස්ම රැල්ල අවධානයට ගතයුතු බව ද පැහැදිලි කරන ලදී.
මෙහි දී බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුව වන්නේ සමස්ථ හුස්ම රැල්ල අවධානයට ගන්නේ කෙසේ ද යන්නයි. ඒ පිළිබඳ විශුද්ධිමාර්ගයේ ද පටිසම්භිදාමග්ගපාලියේ ද උපමා කිහිපයකින් විස්තර කෙරෙන බැවින් තවදුරටත් පැහැදිලි කරගතයුතු අය වෙනුවෙන් මෙසේ දක්වන්නෙමු.
දොවාරික උපමාව :
දොරටුපාලකයෙක් නගර දොරටුවේ සිට ඒ දොරටුවෙන් ඇතුළුවන සහ පිටවන පුද්ගලයන් පිළිබඳව විමසිලි මත් වේ. යම් කෙනෙක් ඒ දොරටුවෙන් ඇතුළු වේ ද එවිට එන්නේ කොහි සිට ද, යන්නේ කොහි ද, රැගෙන යන්නේ මොනවාදැයි විමසයි. එසේ විමසීමේ දී ද ඇතුළුවන හා පිටවන සියලුම දෙනා ගැන විමසිලිමත් වේ. එක් අයෙක් හෝ අත නොහරී. එහෙත් ඒ දොරටුවෙන් ඇතුළේ සිටින හෝ පිටත සිටින අයගේ විස්තර විමසීම ඔහුගේ කාර්යයක් නොවේ.
එසේම ආනාපානසති භාවනාවේ නිරත වන පුද්ගලයා ද නාසිකා දොරටුවෙන් ඇතුළුවන සහ පිටවන හුස්ම රැල්ල කෙරෙහි අවධානය වැඩි කරගන්නවා මිස ඇතුළු වූ හෝ පිට වූ හුස්ම කෙරෙහි අවධානයක් යොමු නොකරයි. එසේ නාසිකා දොරටුවේ ම සිහිය තබාගෙන සිටින අතර එතැනින් හුස්ම ඇතුළුවන්නට පටන් ගත් වේලේ පටන් අවසන් වනතෙක්ම අවධානයෙන් සිටියි. පිටවීම පටන් ගත් වේලේ පටන් අවසන් වන තෙක් ම අවධානයෙන් සිටියි. එසේ සමස්ථ හුස්ම රැල්ලම කෙරෙහි අවධානය වැඩි කරගත හැකි වේ.
හරස්කියතේ උපමාව :
පටිසම්භිදාමග්ගපාලියේ මේ පිළිබඳ දැක්වෙන්නේ හරස්කියතක (කකචයක) උපමාවක් වේ. ඒ අනුව කියතකින් දැව කඳක් ඉරන පුද්ගලයෙක් සම බිමක (ලී ඉරන පට්ටලයක) තබන ලද දැව කඳක ඇඳගන්නා ලද දැලි ඉරක් දිගේ කපාගෙන යයි. එහි දී කියතේ ඉහළ පහළ ගිය දැති කෙරෙහි නොව කැපෙන තැන දැති පමණක් බලාගෙන සිටී. ඒ පුද්ගලයාගේ සිහිය කියත් දැති වලින් කැපෙන කැපෙන තැන් වල පමණක් එළඹ සිටී. කියතෙන් කැපෙන තැන දැති කෙරෙහි නොබලා ඉහළට ගිය හෝ පහළට ගිය දැති කෙරෙහි අවධානය යොමු කරගැනීමෙන් ඒ පුද්ගලයාගේ සිත වෙනතක ගොස් ඇඳගත් ඉර දිගේ කපාගත නොහැකිව වරදී.
එසේ ම ආනාපානසති භාවනාවේ නියැලෙන පුද්ගලයා ද හුස්මරැල්ල ඉහළට හා පහළට ගමන් කරන නාසිකා අග කියතෙන් කැපෙන ස්ථානය සේ සලකා එතැන පමණක් සිත තබාගත යුතු වේ. සිත අන් තැනකට රැගෙන යාමෙන් කියතෙන් කපන පුද්ගලයාට වරදිනවා මෙන්ම ආනාපානසති භාවනාව කරන පුද්ගලයාට ද වරදී. ඒ අනුව සම බිමක තබන ලද දැව කඳක් සේ ආශ්වාස-ප්‍රාශ්වාස සැලකීමට නිමිත්ත වූ නාසිකා දොරටුව අග සලකාගෙන, එහි ඇඳගන්නා ලද ඍජු රේඛාවක් දිගේ කියතකින් කපාගෙන යාමේ දී ඒ ඒ කැපෙන තැන කියත් දැත්ත කෙරෙහි සිහිය යොමු කරගන්නා සේ ඉහළ-පහළ යන හුස්ම රැල්ල කෙරෙහි සිහිය දියුණු කරගත යුතු වේ. එසේ කියතෙන් කැපෙන තැනින් ඉහළ-පහළ ගිය ඒ ඒ කියත් දැති සියල්ලක් දැකගත හැකි වේ. එසේම නාසිකා අගින් ඉහළට හුස්ම ගන්නා විට ආරම්භයේ පටන් අවසන් වන තෙක්ම සිහියෙන් බලාසිටිය හැකි වේ. පහළට හෙළන විට ආරම්භයේ පටන් අවසන් වන තෙක් ම බලා සිටිය හැකි වේ.
පටිසම්භිදාමග්ගපාලියේ විස්තර කෙරෙන ආකාරයට මෙහි දී ආශ්වාස-ප්‍රශ්වාස හුස්ම රැල්ලට නිමිති වන නාසිකා අග ද, ආශ්වාසය ද, ප්‍රාශ්වාසය ද යන තුනම එක් සිතට අරමුණු නොවේ. එහෙත් මේ තුනම අරමුණු කිරීම් වශයෙන් අවබෝධ කර නොගත් තැනැත්තාට ආනාපානසති භාවනාව සමෘද්ධ කරගැනීමට ද නොහැකි වේ. එබැවින් මෙහි දී නිමිත්ත, ආශ්වාසය, ප්‍රාශ්වාසය යන තුනම අරමුණු කරමින් අවබෝධ කරගැනීමට නම් ප්‍රධන් වීර්යය අවශ්‍ය වේ. එයින් නීවරණ විශ්කම්භනය වීමේ ප්‍රයෝගය සාධනය වී සංයෝජන ප්‍රහීණ වීම නැමති විශේෂය ද පැමිණේ.
මෙසේ ඇරඹූ වීර්යය ඇති පුද්ගලයා ආනාපානසති භාවනාව කරගෙන යාමේ දී සිත ටිකෙන් ටික සමාධිමත් වීමේ දී සිතත් කයත් දෙකම කර්මණ්‍ය වේ. කය සැහැල්ලු වී බොහෝ වේලාවක් භාවනාවේ සිටිය හැකි ලෙස දැනේ. එසේ සිතත් කයත් කර්මණ්‍ය වන විට මුළු ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය දියුණු කරගැනීමේ වීර්යය ඇති වේ. ඒ වීර්යයෙන් බොහෝ වේලා භාවනා කළ යුතු වේ. අතරමැද නතර කර නොදැමිය යුතු වේ. අතරමැද නතරකර දැමුවහොත් භාවනාව සමෘද්ධමත් නොවේ. එය ප්‍රධන් වීර්යය වේ. මෙම අවස්ථාවේ දී අතක් පයක් සෙලවීමක් වැනි කුඩා දෙයකට හෝ සිත යොමු නොකළයුතු වේ. හුස්ම රැල්ලටම සිත සමාධිමත් කරගත යුතු වේ. භාවනාවේ මුල් අවස්ථාවල දී අතපයේ වේදනා දැනෙන්නේ නම්, මඳක් ඉරියව් වෙනස් කරගැනීමේ වරදක් නැත. එහෙත් මෙම අවස්ථාවේ ඉරියව් වෙනස් කිරීමකි තොරව සිත එකම අරමුණට ගතයුතු වේ. එය වාහනයක ගමන් කිරීමේ දී වටපිට බැලීම හා සමාන වේ. වාහනය සෙමෙන් ගමන් කරන විට වටපිට බැලීමෙන් හානියක් සිදු නොවේ. එසේම භාවනාවේ ආරම්භක අවධියේ සෙමෙන් ගමන් කරන බැවින් ඉරියව් වෙනස් කිරීමාදියක් කළාට වරදක් නැත. එහෙත් සිතත්, කයත් කර්මණ්‍ය වී භාවනාව හොඳින් සිදුවන මෙවන් අවස්ථාවක වාහනය වේගයෙන් ධාවනය වන්නා සේ ය. එවිට වටපිට බැලීමෙන් අනතුරු වියහැකි සේ අතපය සෙලවීමට හෝ සිත අරමුණෙන් මිදීමෙන් භාවනාව දුර්වල වේ. එබැවින් කියතකින් දැව කඳක් කැපීමේ උපමාව සිතේ තබාගෙන නාසිකා දොරටු අග පමණක් සිත තබාගෙන හුස්ම රැල්ල සිහි කළයුතු වේ. සිත සිරුර ඇතුළට හෝ පිටතට ගෙන නොයා යුතු වේ. සිරුර ඇතුළට හෝ පිටතට සිත ගෙන යාමෙන් සිත විසිරේ. භාවනාව සමෘද්ධමත් නොවේ.
කියතෙන් කැපෙන තැන බලාගෙන සිහිය වැඩි කරගැනීමේ දී ද කියතේ මුල් කොටසෙන් කැපෙයි ද, මැද කොටසෙන් කැපෙයි ද, අග කොටසෙන් කැපෙයි ද යන්න අවධානයෙන් සිටිය හැකි වේ. එසේම නාසිකා අගින් ඉහළට හෝ පහළට යන හුස්ම රැල්ලේ මුල් කොටස, මැද කොටස, අග කොටස වශයෙන් සිහියෙන් බලා සිටිය හැකි වේ. එවිට ආශ්වාස-ප්‍රශ්වාස අරමුණේ සිහිය වැඩි දියුණු වී භාවනාව සමෘද්ධමත් වේ. මෙය බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය බැවින් ද නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආකාරයෙන් භාවනාව වැඩීම බොහෝ ප්‍රයෝජනවත් වන බව පටිසම්භිදාමග්ගපාළියේ මෙය විස්තර කරන තැන ගාථාවකින් මෙසේ සඳහන් වේ.
ආනාපානසතී යස්ස – පරිපුණ්ණා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා – යථා බුද්ධෙන දෙසිතා
සො ඉමං ලොකං පභාසෙති – අබ්භාමුත්තොව චන්දිමා
(ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් යමෙක් විසින් පරිපූර්ණ කරන ලද්දේ ද, අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේ ද, මනාකොට වඩන ලද්දේ ද, හෙතෙම වළාගැබින් මිදුණු පුන්සඳ මඬලක් සේ මේ ලෝකය බබළවයි)
එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නිවැරදිව ආනාපානසති භාවනාව වඩා කෙලෙස් ගිනි නිවා, නිවනෙන් සැනසෙන්නට ලැබේවා.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි ✍️
03 ලිපිය
ආනාපානසති භාවනාවේ නියැලෙන පුද්ගලයා තමන්ගේ සිහිය ආශ්වාස-ප්‍රශ්වාස හුස්මරැල්ල කෙරෙහි යොමු කරගෙන සියලු හුස්මරැල්ල සිහියෙන් යුතුව ග්‍රහණය කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී.
පළමුව ‘ගනිමි … හෙළමි’ යනාදි වශයෙන් හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවීමේ දී මෙන් නොව දිග කෙටි වශයෙන් ද, සියලු හුස්ම රැල්ල ද ග්‍රහණය කිරීමේ දී නුවණින් යුතුව බලා සිටී. එහි දී සිහියට අමතරව නුවණ යෙදේ. එසේ නුවණින් යුතු සිහියෙන් ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිත එකඟ කිරීමේ දී සිතත්, කයත් දෙකේම නොසන්සුන් බව පහව ගොස් සන්සිඳීම ඇති වේ. එසේ සන්සිඳීමත් සමඟම ආශ්වාස-ප්‍රාශ්වාස රැල්ල නොදැනී යන මට්ටමට අඩු වේ. මෙහි දී තව දුරටත් සිහිය දියුණු කරගත යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ආනාපානසති භාවනාවේ සතරවන පියවර ලෙස මෙසේ දේශනා කළහ.
පස්සම්භයං කායසඩ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඩ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
මෙහි කායසඩ්ඛාර යන වචනයෙන් අදහස් කරන්නේ ද ආශ්වාස-ප්‍රාශ්වාස හුස්මරැල්ල ම වේ. ආශ්වාස ප්‍රාශ්වාසය කය ඇසුරුකරගෙන හටගන්නා බැවින් ‘කායෙන සඩ්ඛරීයතීති කායසඩ්ඛාරො’ යන නිරුක්තියෙන් හුස්ම රැල්ලට කායසඩ්ඛාර යන නම ව්‍යවහාර වේ. ත්‍රිපිටකයේ තවත් තැන් වල මෙසේ හුස්ම රැල්ලට කායසඩ්ඛාර යන නම යෙදීම දක්නට ලැබේ. මෙහි කය යන වචනය තිබීමෙන් තමාගේ සිරුරේ සන්සිඳීම දෙස අවධානය යොමු කළයුතු යැයි වරදවා ගතයුතු නොවේ.
භාවනාව ආරම්භ නොකළ කාලයේ සිතත්, කයත් දෙකම පරිග්‍රහණයක් නැති බැවින් නොසන්සුන් වේ. ඉරියව්ව නොසන්සුන් බැවින් කිලිටි වූ සිතින් උපන් රූප කලාප ද නොසන්සුන් වේ. එවිට ශරීරය ද නොසන්සුන් වේ. එසේම කෙලෙස් ඉපදීමෙන් සිත ද කිලිටි වී නොසන්සුන් වේ. ආනාපානසති භාවනාව ආරම්භ කරමින් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්‍වා උජුංකායං පණිධාය’ යනුවෙන් කය පරිග්‍රහණය කරගන්නා ආකාරය කියන ලදී. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යැයි සිත පරිග්‍රහණය කරන ආකාරය කියන ලදී. මෙසේ සිතත් කයත් පරිග්‍රහණය කරගෙන භාවනාව ආරම්භ කිරීමෙන් ඒ සිතත් කයත් දෙකම සන්සිඳීමට පත් වේ.
සිතත් කයත් නොසන්සුන් කල්හි ඒ ඇසුරු කොටගත් ආශ්වාස-ප්‍රාශ්වාසය ද නොසන්සුන් වේ. බලවත්ව පවතී. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක් දිවගොස් හෝ බර දෙයක් ඔසවාගෙන ගොස් හෝ කන්දක් නැඟ හෝ එවැනි දෙයක් කළ පසු සිතත් කයත් දෙකම නොසන්සුන් බැවින් ඉතාම ඉක්මනින් හති වැටේ. නාසිකා දෙක ඉඩ මදිව මුඛයෙන් ද හුස්ම ගැනීමට සිදු වේ. එහෙත් ඒ වෙහෙස නිවාගෙන, සිහිල් පැනින් නාගෙන, පැන් බී, සිහිල් සලුවක් ද පෙරවාගෙන ගස් හෙවණක් යට සැතපී සිටියහොත් ටික වේලාවකින් සන්සුන් බවට පත් වේ. එවිට ආශ්වාස-ප්‍රාශ්වාසය ද සියුම් බවට පත් වේ. හුස්ම ගන්නේදැයි සොයා බැලිය යුතු තත්වයට පත් වේ. මෙසේ ම ආනාපානසති භාවනාවට වාඩි වී සිහිය හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සිතත් කයත් දෙකම සන්සිඳී හුස්ම නොදැනෙන මට්ටමට සියුම් වේ. ඒ සියුම් ව සන්සිඳීමට පත් වූ හුස්ම රැල්ල ද සිහියෙන් හා නුවණින් යුතුව අරමුණු කිරීම මෙම අදියරේ දී පැහැදිලි කෙරේ.
මුලදී ඔළාරිකව තිබූ ආශවාස-ප්‍රාශ්වාසය භාවනාව අරඹා ටික වේලාවක් යන විට ටිකෙන් ටික සියුම් බවට, සන්සිඳීමට පත්වේ. භාවනාවේ ඉදිරි පියවර වලට යාමේ දී වඩාත් සන්සිඳේ. එය ප්‍රථමධ්‍යානයට පත් වන විට තවදුරටත් සන්සිඳේ. ද්විතීය ධ්‍යානයේ දී ඊටත් වඩා සන්සිඳේ. මෙසේ පිළිවෙලින් ගොස් චතුර්ථ ධ්‍යාන අවස්ථාව වනවිට සම්පූර්ණයෙන් ම සන්සිඳීමට පත් වේ.
ධ්‍යාන ලැබීමට පෙර මෙම අවස්ථාවේ දී ඕළාරික ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳීමට පත් වුව ද ආශ්වාස-ප්‍රාශ්වාසය නැත්තේ නොවේ. සියුම් ව පවතී. එබැවින් ඒ සියුම් වූ ද ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කළයුතු වේ. මෙහි දී තමාගේ භාවනාව සමෘද්ධ නොවේ යැයි සිතා අතහැර දැමිය යුතු නොවේ. භාවනාව නවතා දමා කමටහන් දෙන ගුරුවරුන් සොයා යා යුතු නොවේ. එය ආනාපානසති භාවනාවේ ස්වභාවාය බව දැනගත යුතු වේ.
සෙසු සියලු කර්මස්ථාන භාවනාවන් කරගෙන යාමේ දී ටිකෙන් ටික කර්මස්ථානය ප්‍රකට වන බව වැඩි වේ. එහෙත් ආනාපානසතියේ දී ටිකෙන් ටික කමටහන සියුම් වේ. එයට හේතුව නම් භාවනා කිරීමේ දී සිතත් කයත් සැහැල්ලු වීමයි. නොසන්සුන් සිතත් කයත් ඇති ව පුටුවේ හෝ ඇඳේ හිඳගෙන හෝ නිදාගෙන සිටින විට ඒ ඇඳ-පුටුව බර වේ. මැදින් නැමෙයි. ශබ්ද කෙරෙයි. පැද්දෙයි. එහෙත් කෙලෙස් සන්සිඳී සන්සුන් මනසක් ඇති වූ විට එසේ නොවේ. රාත්‍රියේ නින්දට ගිය ආකාරයෙන් ම පහසුවෙන් නිදාගෙන පසුදින අවදි විය හැකි වේ. ඇතැම් විට ඇඳේ අතුරා ඇති ඇතිරිලි පොඩි වීමකින් හෝ තොර වේ. ඒ සිතත් කයත් දෙකම සන්සුන් වීම හේතුවෙනි. එසේම හුස්ම ගණන් කිරීමේ පටන් පිළිවෙළින් කමටහන වැඩීමේ දී ටිකෙන් ටික කයේ දැඩි බව සන්සිඳීම නිසා ආශ්වාස-ප්‍රාශ්වාස ද සියුම් වේ. ශරීරය අහසේ පාවෙන්නාක් සේ ඇතමෙක්ට වැටහේ.
ඔළාරික ආශ්වාස-ප්‍රාශ්වාසය සන්සිඳුනු කළ සියුම්ව ආශ්වාස-ප්‍රාශ්වාසය පවතී. එය ද සන්සිඳීමෙන් තව තවත් සියුම් ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන සිහිය පැවැත්විය යුතු බව වේ. මෙය උදාහරණයකින් මෙසේ දැක්විය හැකි වේ.
යම් පුරුෂයෙක් මහත් ලෝහ තලියකට තවත් ලෝහයකින් පහරක් දුනහොත් එක් ප්‍රහාරයෙන් ම මහත් ශබ්දයක් පැන නඟී. එවිට ඒ ඕළාරික ශබ්දය අරමුණු කොට සිත පවතී. එහෙත් ටිකෙන් ටික ඕළාරික ශබ්දය පහවීගෙන යන විට එය නිරුද්ධ වූ පසු සියුම් ශබ්දය අරමුණු කරගෙන සිත පවතී. එය ද නිරුද්ධ වීමේ දී තව තවත් සියුම් ශබ්දය අරමුණු කරගෙන සිත පවතී. මේ ආකාරයෙන් ආනාපානසති භාවනාවේ නියැළෙන පුද්ගලයා ද වඩ වඩාත් සියුම් වූ ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන සිහිය පැවැත්විය යුතු වේ.
ඇතැම් විට තමාගේ ආශ්වාස-ප්‍රාශ්වාසය සොයාගත නොහැකි තරමට සියුම් වේ. එවිට තමාගේ හුස්ම නොවැටේ දැයි සිතේ. එහෙත් එයින් නොනැවතී භාවනාව ඉදිරියට පැවැත්විය යුතු වේ. ගුරුවරයෙක් මුණගැසී විමසන්නෙමි යැයි නොනැගිටිය යුතු වේ. ඉරියව්ව වෙනස් නොකළයුතු වේ. අත්පා සෙලවීමක් හෝ නොකොට සිහිය වඩාත් දියුණු කරගත යුතු වේ. ඉරියව් වෙනස් කිරීමේ දී කමටහන නැවත නැවතත් අලුත් වේ. එබැවින් හිඳගෙන සිටි ආකාරයෙන්ම සිහිය දියුණු කරගෙන පෙර හුස්ම රැල්ල දැනුණු ස්ථානයම අරමුණු කරගෙන සිටිය යුතු වේ.
මෙසේ සිහිය දියුණු කරගන්නා ආකාරය උදාහරණ ඇසුරෙන් මීළඟට විස්තර කෙරේ.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි ✍️
Comments
Post a Comment