සම්බොධි පක්ඛිය සූත්‍රය


දේශනා 4ක් ඇතුලත් ය
පළමු කොටස





නමොතස‍්ස භගවතො අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස.





ගෞරවනීය අපේ ස්වාමීන්වහන්සේලාගෙන් අවසරයි, ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, කවුරුත් අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සුදානම් වෙන්නේ. අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා නිවන් ප්‍රතිපදාව සම්බන්ධයෙන් වැදගත්වන කරුණු කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. පින්වතුනි, ලොව්තුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ සෑම අංශයකින්ම නිවන කෙරෙහි වැදගත්වන, නිවන කෙරෙහි අත්‍යවශ්‍යවන කරුණු කාරණා අපට දේශනා කරලා තියෙනවා. එහිදී ගැඹුරු, සියුම් නුවණින් විමසිය යුතු ධර්ම කාරණාවන් වගේම ඉතාමත් ප්‍රායෝගිකව අපේ ජීවිතය සකස් කරගත යුතු පැති පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරලා අපට දේශනා කරලා තියෙනවා.





ඒ නිසා අද දවසේදී ඒ පැතිකඩකවල් කිහිපයක් පිළිබඳව, කාටත් ප්‍රයෝජනවත්වන, ඉතාමත් සරල තැනක ඉඳලම මේ කරුණු ටික සාකච්ඡා කරන්නට කියලා අපි කල්පනා කළා. පින්වතුනි අඞ්ගුත්තර නිකායේ, නවක නිපාතයෙහි අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සම්බොධි වර්‍ගයේ - සම්බොධි පක්ඛිය සූත්‍රය. සම්බෝධි පක්ඛිය කියලා කියන්නේ සම්බෝධි පාක්ෂික ධර්ම, එහෙම නැත්තම් සම්බෝධිය පිණිස හේතුවන ධර්ම කාරණාවන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයක්. එතකොට 'සම්බෝධිය පිණිස' කියලා කියන්නේ සම්මා සම්බෝධිය නෙවෙයි. සම්බෝධිය කියලා කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණය කියන එක. නැත්තම්, උතුම් අවබෝධය කියන එක. ඒ උතුම් අවබෝධය පිණිස පවතින ධර්ම කාරණා කිහිපයක් තමයි මේ විදියට මේ සූත්‍ර දේශනාව තුළ අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ.





එක දවසක්, භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේදි භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා, "මහණෙනි" කියලා. ආමන්ත්‍රණය කරලා භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා "මහණෙනි, ඔබලාගෙන් අන්‍ය තීර්ථකයෝ, අනිත් ආගම්වල ඇත්තෝ යම් විදියකින් ප්‍රශ්නයක් ඇහුවොත්, 'සම්බොධිපක්ඛියානං ආවුසො, ධම්මානං කා උපනිසා භාවනායා’ති' - 'සම්බෝධි පාක්ෂික ධර්මයන් වඩන්නට කවර වූ ධර්මයක්ද හේතු වෙන්නේ, කවර වූ ධර්මයක්ද උපනිශ්‍රය වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ. නිවන පිණිස කුමක්ද, කුමන භාවනාවක්ද, නැත්තම්, කුමන ක්‍රමවේදයක්ද උපනිශ්‍රය වෙන්නේ. කුමන හේතු ටිකක් තිබුනොත්ද ඒ නිවන අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ කියලා ඔබලාගෙන් ඇහුවොත් ඔබලා මොනවද කියන්නේ" කියලා අහනවා.





බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවහම භික්ෂූන් වහන්සේලා කියනවා, "ස්වාමීනි, අපේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේම අපට මේ කරුණ පැහැදිලි කරලා දේශනා කරන සේක්වා" කියලා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවෙදි, 'අහගන්නටයි' කියලා භික්ෂූන් වහන්සේලාට කරුණු කාරණා දේශනා කරනවා. යම්කිසි විදියකින් ඔබලාගෙන් අන්‍ය තීර්ථකයෝ අහනවා නම් 'මේ ශාසනයේ නිවන් දකින්න, සම්බෝධි පාක්ෂික ධර්මයන් වඩන්න කුමක්ද කළ යුත්තේ' කියලා, ඔවුන්ට කියන්න,





  1. කල්‍යාණ මිත්‍රයන් ඇති බව, කල්‍යාණ මිත්‍රයන් සහය කොට ඇති බව, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බව




"ඉධාවුසො, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. සම‍්බොධිපක‍්ඛියානං, ආවුසො, ධම‍්මානං අයං පඨමා උපනිසා භාවනාය" - මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව, නැත්තම් මේ ශාසනයේ හික්මෙන කෙනා කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන් සහයකොට ඇත්තෙක් වන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ. මේක තමයි භාවනාව පිණිස පවතින පළවෙනිම උපනිශ්‍රය ධර්මය කියනවා. සම්බෝධි පාක්ෂිය ධර්මයන්, ඒ කියන්නේ නිවන් දකින්න අවශ්‍ය ධර්මයන් වඩන්නට නම්, අපි කිව්වොත් භාවනා කරන්නට නම් මේක තමයි පළවෙනිම දේ.





ඒ කියන්නේ, 'කල්‍යාණමිත්තො' - කල්‍යාණ මිත්‍රයන් ඇති බව. "කල්‍යාණසහායො" - කල්‍යාණ මිත්‍රයෙක් සහය කොට ඇති බව. "කල්‍යාණසම‍්පවඞ‍්කො" - කල්‍යාණ මිතුරා කෙරෙහි නැමුණු බව. කල්‍යාණ මිත්‍රයෙක් ඇති බව කියලා කියන්නේ ලෝකෝත්තර ආර්‍ය් මාර්ගය පැහැදිලි කරන්නට සමර්ථ, ඒ වගේම ත්‍රිපිටක ධර්මය තුළම ඒ කරුණු කාරණා පෙන්වන්නට පුළුවන් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. අද දවස අනුව අපි ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අපේ එකම ශාස්තෲන් වහන්සේ වෙන්නේ ධර්මය. ඒ ධර්මය, සංගායනාවන්ගෙන් සංගෘහිතව, සංගීතව ලැබෙන්නේ අපිට ත්‍රිපිටකය තුළින්. එහෙනම් අපේ ශාස්තෲන් වහන්සේ අද දවසේදී ඒ උතුම් ත්‍රිපිටක ධර්මය.





ඒ ත්‍රිපිටක ධර්මය අනුව, ඒ කියන්නේ, අද දවසේදී ශාස්තෲන් වහන්සේ අනුව පවත්නා කෙනෙක්, ත්‍රිපිටක ධර්මය අනුව පවත්නා කෙනෙක්ට, අපි කියනවා "කල්‍යාණ මිත්‍රයෙක්" කියලා. ත්‍රිපිටක ධර්මය අනුව අරුත් පැහැදිලි කර දෙන්නට සමර්ථ, අරුත් පැහැදිලි කර දෙන්නට දක්ෂයෙක්ට "කල්‍යාණ මිත්‍රයෙක්" කියලා කියනවා. ඒ කල්‍යාණ මිත්‍රයෙක් ලැබීමත්, ඒ වගේම 'කල්‍යාණසහායො' - කලණ මිතුරෙක් සහයකොට ඇති බව. ඒ කල්‍යාණ මිත්‍රයෙක් සහයකොට ඇති බව කියලා කියන්නේ, තමාගේ උපකාරයට, තමාට දහම් කරුණක් විමසා දැනගැනීමට කල්‍යාණ මිත්‍රයෙක් සහායකොට ඉන්නවා. තමන්ට අවශ්‍ය දැහැමි කාරණාවක් බෙදා ගන්නට, කතා කරන්නට ඒ කල්‍යාණ සහායතාවය අවශ්‍ය වෙනවා.





ඒ විතරක් නෙවෙයි, වැදගත්ම දේ තමයි "කල්‍යාණසම‍්පවඞ‍්කො" කියලා කියන්නේ. "කල්‍යාණසම්පවඞ්කතා" කියලා කියන්නේ කලණ මිතුරා කෙරෙහි නැමුණු බව. බලන්න, බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අර්ථ ගැන්වුවේ ඒ විදියට. ඒ කියන්නේ,





*කල්‍යාණමිත්‍රතා - කල්‍යාණ මිත්‍රයන් ඇති බව
*කල්‍යාණ මිත්‍ර සහායතා - කල්‍යාණ මිත්‍රයන් සහය කොට ඇති බව
*කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතා - කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බව





කියන කාරණා තුනකින් තමයි කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක අර්ථ ගැන්වූවේ. 'කල්‍යාණසම‍්පවඞ‍්කතා' කියලා කියන්නේ කලණ මිතුරන් කෙරෙහි තමන් නැමුණු බව කියන එක. කලණ මිතුරෙක් හිටියත්, කලණ මිතුරන් ඇසුරු කරන්න ලැබුනත් වැඩක් නැහැ 'කල්‍යාණ මිත්‍ර සම‍්පවඞ‍්කතා' නැත්නම්. ඒ කියන්නේ, තමා කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමී පවතින්නේ නැත්තම්. තමාගේ අදහසට වඩා කලණ මිතුරාගේ අදහසට ප්‍රමුඛතාවය දෙන්නට තමන් දන්නේ නැත්නම් එයාට කියනවා 'කල්‍යාණසම්පවඞ්කතාවය' නැහැ කියලා. ඒ කියන්නේ, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පරිපූර්ණ නැහැ.





කල්‍යාණ මිත්‍රයෙක් හිටියත් වැඩක් නැහැ. කල්‍යාණසහායතාවය නැත්නම්. එයත් එක්ක අපිට සභාගව අපේ අදහස් හුවමාරු කරගන්න බැරි නම්, ධර්ම ගැටලු ආදිය සාකච්ඡා කරන්නට බැරි නම් ඒ කල්‍යාණ මිත්‍ර බවක් තිබුණත් ඒ කලණ මිතුරු බවෙහි තේරුමක් නැහැ. ඒ වගේම, ඒ කලණ මිතුරු බව තිබුණත්, කල්‍යාණ මිත්‍රයන් සහාය කොට හිටියත් කල්‍යාණසම්පවඞ්කතාවය නැත්නම් (තමා ඔවුන් කෙරෙහි නැමුණු බව නැත්නම්) කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා කල්‍යාණමිත්‍රතාවයත්, කල්‍යාණ මිත්‍ර සහායතාවයත්, කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතාවය කියන ගති තුනම ඇතුලත් වුනොත් තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන දේ ධර්මාවබෝධය පිණිස හේතුවෙන දෙයක් බවට පත්වෙන්නේ. එතකොට කල්‍යාණ මිත්‍ර සම්පවඞ්කතාවයේ ලක්ෂණය තමයි,





"නිධීනං 'ව පවත‍්තාරං - යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං;
නිග‍්ගය‍්හවාදිං මෙධාවිං, තාදිසං පණ‍්ඩිතං භජෙ;"





කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදියට ඔවුන් කෙරෙහි නැමුණු බව. ඒ කියන්නේ, 'නිධීනං 'ව පවත‍්තාරං - යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං';- යම් කිසි කෙනෙක් වටිනා නිධානයක් ඔය තියෙන්නේ ගන්න' කියලා පෙන්නලා දුන්නොත් ඒ වටිනා නිධානය අපි ගන්නවා වගේ, යම් සත්පුරුෂයෙකු විසින් වරදක් පෙන්නලා දෙනවානම්, ඒ සත්පුරුෂයෙකු විසින් පෙන්වා දෙන වරද, නිධානයක් පෙන්වා දෙන්නක් වගේ දකින්න කියනවා. 'නිග‍්ගය‍්හවාදිං මෙධාවිං, තාදිසං පණ‍්ඩිතං භජෙ' - නිග්‍රහ කොට වුවත් ඒ වරද කියාදෙන එබඳු වූම නුවණැත්තන් තව තවත් ඇසුරු කරන්න කියනවා. ඒ නිසා සත්පුරුෂයෙකු යම්කිසි විදියකින් තමන්ට අවවාදයක් කළත්, දෝෂයක් කිව්වත්, අපි 'කල්‍යාණමිත්‍ර සම්පවඞ්කතාවය' තියෙන කෙනෙක් විදියට අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ දේ අපේ යහපත පිණිස යොදාගන්නේ කොහොමද කියන එක.





ඉතින් මේ කාරණා ටික අපි අපේ ජීවිතය පැත්තෙන් නැවත වතාවක් හිතලා, නැවත වතාවක් කල්පනා කරලා බලන්නට ඕන දෙයක්. සත්පුරුෂයන් ආශ්‍රය කොට ඇති බව කියන එකෙන් අදහස් කරන දේ අපි තුළ පරිපූර්ණද කියන එක. මේක පුංචි කාරණාවක්. නමුත් මේ ඉතාම සුළු කාරණාව තුළ වුනත් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා අපේ ජීවිතය පැත්තෙන්. 'කල්‍යාණමිත්‍ර සම්පවඞ්කතාවය' කියන දේ සමහර වෙලාවට අද අපේ ජීවිතයෙන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා 'කල්‍යාණමිත්‍ර සම්පවඞ්කතාවය' ඉතාම වැදගත් වෙනවා අපේ ජීවිතයට.





  1. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා ආචාරගොචර සම්පන්නව කුඩා වරදෙහිද බිය දැකීම




"පුනචපරං, ආවුසො, භික‍්ඛු සීලවා හොති, පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සම‍්බොධිපක‍්ඛියානං, ආවුසො, ධම‍්මානං අයං දුතියා උපනිසා භාවනාය" - නිවන පිණිස භාවනාව පිණිස පවතින දෙවෙනි කාරණාව තමයි, ප්‍රාතිමෝක්ෂ සංවර ආදී සංවරයෙන් යුක්තව වාසය කිරීම. මෙතනදී කෙනෙක් හිතන්නට පුළුවන් 'භික්ඛු' කියලා තියෙන නිසා භික්ෂුවටද මේ ඔක්කොම කාරණා කියලා තියෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල බහුල ආමන්ත්‍රණය තමයි 'භික්ඛවෙ' කියන ආමන්ත්‍රණය. ඒ කියන්නේ 'මහණෙනි' කියන ආමන්ත්‍රණය.





ගිහි පිරිස් ඒ දේශනාව ශ්‍රවණය සඳහා පැමිණ සිටියත් 'භික්ඛවෙ' කියන ආමන්ත්‍රණයෙන් තමයි ආමන්ත්‍රණය කරන්නේ. මොකද, බුදුරජාණන් වහන්සේ ඉදිරිපසින් වැඩ ඉන්න ප්‍රධානම පිරිස භික්ෂු පිරිස නිසා 'භික්ඛවෙ' කියන ආමන්ත්‍රණයෙන් තමයි දකින්නේ. ඒක භික්ෂූණීන්ටත් අදාළයි, ඒ වගේම උපාසකයන්ටත් අදාළයි, උපාසිකාවන්ටත් අදාළයි. ඒ හැමදෙනාටම මේ කොටස අදාළයි. "භික්ෂු" කියන එක අර්ථ ගන්වනකොට 'උපසම්පදාලාභී භික්ෂුව' කියන එකෙන් වෙනමම අර්ථ ගන්වනවා, ඒක විනයට අදාළව.





ඒ වගේම තවදුරටත් චීවර ආදිය දරන නිසා "භික්ෂු" කියලා හඳුන්වනවා, ඒක භික්ෂුවගේ පැවැත්ම කියන තැනින්. ඒ වගේම, නිර්වාණය කෙරෙහි මෙහෙය වූ සිත් ඇතිව වාසය කරනවා කියන තැනින් හඳුන්වනවා, නිවන් දකින්නට අදාළ සියලුම අය පැත්තෙන් අරගෙන. ඒ නිසා "භික්ෂු" කියන තැනින් මේ කාටත් අදාළයි. එතකොට ගිහි ඇත්තන්ටත් පාතිමොක්ඛසංවර සීලයක් තියෙනවා. ඒ "පාතිමොක්ඛසංවරය" කියලා කියන්නේ පන්සිල් සමාදන් වෙනවා නම් පන්සිල් ටික, ආජීව අෂ්ඨමක සීල ආදිය සමාදන් වෙනවා නම් ආජීව අෂ්ඨමක සීලය ආදී සිල් ටික.





===මොකක්ද මේ ආචාරගොචර සම්පන්න බව යනු?





"ආචාරගොචරසම්පන්නො" - ආචාර ගෝචරයෙන් යුක්ත වෙන්නට ඕන. ආචාර ගෝචරය කියලා කියන්නේ, ගෝචර භූමිය (හැසිරිය යුතු තැන) සහ අගෝචර භූමිය (නොහැසිරිය යුතු තැන) පිළිබඳව තමන්ට අවබෝධයක් තියෙන්නට ඕනේ. යම් තැනකට යනකොට කෙලෙස් වැඩෙනවා නම්, හිත පාලනය කරගන්නට බැහැ නම්, හිත පාලනය කරගන්නට නොහැකි, කෙලෙස් වැඩෙන එබඳු තැන් 'අගෝචර භූමියක්' හැටියට දක්වනවා. තමන් ඉන්න මට්ටමෙන් පරිහානියට පත්වේ යැයි කියලා හෝ අදහසක් තියෙනවා නම්, මෙබඳු මිතුරන් ඇසුරු කිරීමෙන්, මෙබඳු තැන් ඇසුරු කිරීමෙන්, මෙබඳු පුද්ගලයින් ඇසුරු කිරීමෙන් පරිහානියක් වේ යැයි කියලා හිතෙනවා නම් ඒ හැම තැනක්ම 'අගෝචර ස්ථාන', ගෝචර ස්ථාන නෙවෙයි. ඒ නිසා ඒ අගෝචරය ඉවත් කරලා ගෝචර සම්පන්නව ගෝචර භූමියෙහි හැසිරෙන එකට කියනවා ආචාරගෝචර සම්පන්න භාවය කියලා.





ඒ වගේම 'අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු' - ස්වල්ප මාත්‍ර වරදෙහි බය දකිමින් ශික්ෂා පදයන් සමාදන්ව දැඩිවගෙන හැසිරෙනවා. මේ ශාසනයේ සීලය කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ 'සීලය' කියන එක ඉතාම වැදගත් වෙන්නේ, ඒ සීලය යම් පමණකට තියෙනවා නම් එපමණකටම ඔහුට සමාධි ප්‍රතිලාභය කිරීමේ පහසුව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීලය ඉතාමත් ගැඹුරු තැනකින් තමයි ඒ සීලය පනවලා තියෙන්නේ. අපිට සමහර වෙලාවක පේනවා සීලය කියන එක සරල දෙයක් ලෙසත් අර්ථ ගන්වනවා ඇතැම් පාර්ශව විසින්.





නමුත් මේ ශාසනය තියෙන්නේ නිවන් දකින්න යන කෙනාටනේ. ඒ නිවන් දකින්න යන කෙනාට අවශ්‍ය විදියට තමයි ඒ සීල මාර්ගය, සීල ප්‍රතිපදාවත් වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ, ඉතාම සුළු වරදක වුනත් එයාට බිය දකින්නට කියලා කියනවා. මහා වරදක් ලෙස සුළු වරදත් දැකලා, ඒ සුළු වරදෙහිද බියට පත්වෙලා ඒ දේ කරන්නේ නැත්නම්, අන්න ඒක තමයි සම්බෝධි පක්ෂය පිණිස, නිවන් දැකීම පිණිස හේතු වෙන්නේ. ඒක භික්ෂුවක් විදියට භික්ෂුවගේ පැත්තෙන් ගත්තත්, ගිහියෙක් විදියට ගිහියාගේ පැත්තෙන් ගත්තත් මේ දෙපිරිසටම ඒ දේ අදාළයි. එතකොට, 'විහිලුවට හරි බොරුවක් කිව්වට කමක් නැහැ, අපි ගිහි අයනේ, ආපහු පන්සිල් ගන්නවනේ' කියලා හිතන එක, ඒක සීලය පැත්ත නෙවෙයි.





ඒ වගේම භික්ෂුවක් හිතනවා නම්, කල්පනා කරනවා නම් 'මම මේ වරද කළාට කමක් නැහැ, මම මේ වරද කළාට මට ආපහු නිවැරැදි වෙන්න පුළුවන් නේ, මම ආපහු නිවැරැදි වෙනවා' කියලා කල්පනා කරනවා නම් ඒක සිල්වත් භාවය නෙවෙයි. එතකොට ඒ කෙනාට ප්‍රතිපදාව ඇහිරෙනවා. ඒ තුළ ඔහුට වැඩීමක් වෙන්නේ නැහැ, සීලය තුළ ඔහු ජීවත් වෙනකන්. ඒ නිසා තමයි සීලය කියන එක භික්ෂු ජීවිතයටත්, ගෘහාශ්‍රිත ගිහි කෙනාගේ ජීවිතයටත් අදාළව පවතින්නේ. වරදෙහි පොඩි ලොකු කියලා භේදයක් නැතුව ඉතා කුඩා වරදෙහිත් බිය දකිනවා. සතෙක් කෙරෙහි අපි තරහා ඇතිකර ගන්නත් බයයි නම්, තරහා ඇතිකර ගන්නෙත් නැතුව හික්මෙන්න උත්සාහවත් වෙනවා නම්, එයා සතෙක් මරණවා කියන තැන කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් වෙනවා.





ඒ වගේ ස්වල්ප මාත්‍ර වරදෙහිත් බය දකිමින් හැසිරෙන්නෙක් බවට පත්වෙනවා. මේ තමයි දෙවෙනි කාරණාව, ඒ කියන්නේ සිල්වත් බව. පළවෙනි එක හැටියට අපි කතා කළා කල්‍යාණ මිත්‍රතාවය. ඊට පස්සෙ සීලය කියලා කතා කළා. සීලය අපි කීප ආකාරයකින් කතා කළා. ඒ තමයි, සිල් පද ටික රකිනවා (ඒකට කිව්වා ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා), සුදුසු සහ නුසුදුසු ස්ථාන තීරණය කරගන්නවා අපි (ඒකට කිව්වා ආචාරගෝචර සම්පන්න භාවය කියලා) , 'අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී' - ස්වල්ප මාත්‍ර වරදෙහි බය දකිමින් ශික්ෂා පදයන් සමාදන් වෙලා ඒවගේ හික්මෙනවා. එතකොට මේ ටික සම්පූර්ණ නම් එයාට සිල්වතෙක් කියලා කියනවා, සිල් රකින කෙනෙක් කියලා කියනවා.





මතු සම්බන්ධයි





පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 ලබාගැනීමට
https://drive.google.com/file/d/1PkZ1S0Q2NqUutqk1fkmy9Al1WSuH-sah/view?usp=sharing





සම්බොධි පක්ඛිය සූත්‍රය 2 කොටස





  1. දස කතාවන්ගෙන් යුක්ත වීම




"පුනචපරං, ආවුසො, භික‍්ඛු යායං කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා, සෙය්‍යථිදං - අප‍්පිච‍්ඡකථා සන‍්තුට්‍ඨිකථා පවිවෙකකථා අසංසග‍්ගකථා වීරියාරම‍්භකථා සීලකථා සමාධිකථා පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණදස‍්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. සම‍්බොධිපක‍්ඛියානං, ආවුසො, ධම‍්මානං අයං තතියා උපනිසා භාවනාය"





යම් විදිහකින් භික්ෂුවක් යම් කතාවක ඉන්නකොට කෙලෙස් ගෙවීමට යනවා නම් ඒ කෙලෙස් දුරු වීමට හිත වූ කතාවන්ගෙන් එයා යුක්ත වෙනවා. ඒ කියන්නේ, සමථ විපස්සනා කියන චිත්තයන්ගේ විවර වීමක් තියෙනවා නම් ඒ කතාවන්ගෙන් යුක්තව වාසය කරනවා. අල්පේච්ඡ කතා, සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දස්සන කතා කියන මේ දස කතාවෙන් යුක්ත වෙනවා.
අප්පිච්ඡකථා





"අප්පිච්ඡකථා" කියලා කියන්නේ අල්පේච්ඡ බව පිළිබඳව කතාව. අපිට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍ය ධර්මයන් මහා පරිමාණයෙන් හොයමින් ඒ දේවල් පස්සේ යන්නේ නැතුව අපි දන්නවා කෙනෙකුට යැපෙන්න අවශ්‍ය ප්‍රමාණය. අපි ඒ ප්‍රමාණය දැනගෙන, පමණ දැනගෙන ඒ දේවල් පරිහරණය කරනවා. එකට අල්පේච්ඡ බව කියලා කියනවා.





සන‍්තුට්‍ඨිකථා





සතුට පිණිස පවතින කතා වලට කියනවා සන්තුට්ඨි කථා කියලා. 'සතුටු කතාව' කියලා කිව්වට ඒ සතුටු කතාව, අර කාමය පැත්තට බර සතුටු කතාව ගැන නෙවෙයි මේ කාතා කරන්නේ. ඒ කියන්නේ, අල්පේච්ඡ සන්තුට්ඨිබාවය අර 'ලද දෙයින් සතුටුවෙන බව' කියන තැනින් අදහස් කරන, යැපෙන්නන්ට ප්‍රමාණවත් කියලා දැනගැනීම නිසා ඇතිවෙන සන්තුෂ්ටි බව. ඒ වගේම තමාගේ සීලයෙහි පිරිසිදු බව ගැන හිතනකොට, ඒකටත් කියනවා "සන්තුට්ඨිකතා" කියලා.





පවිවෙකකථා





'පවිවේක කථා' කියලා කියනවා ප්‍රවිවේකය ගැන කතාවලට. (ප්‍රවිවේකය කියන්නේ 'උතුම් විවේකය' කියන එක). එතකොට උතුම් විවේකයට පත්වීම ගැන කතා කරනවා නම් ඒකට අපි කියනවා *පවිවෙකකථා කියලා. තමාගේ විවේකයට පත්වීමක් හෝ මහරහතන් වහන්සේලා විවේකය සපයා ගත් විදියක් ගැන හෝ කතා කරනවා නම්, ඒවා "ප්‍රවිවේක කතා".





අසංසග‍්ගකථා
'අසංසග‍්ගකථා' කියලා කියනවා කාමාදී සංසර්ගයන්ගෙන් තොරව වාසය කිරීම පිළිබඳව සිදු කරන කතාවලට.





වීරියාරම‍්භකථා
'වීරියාරම‍්භකථා' කියලා කියනවා වීර්‍යය පටන් ගැනීම සම්බන්ධ කතාවලට .





සීලකථා
'සීලකථා' කියලා කියනවා සීලය සම්බන්ධ කතාවලට.





**සමාධිකථා **
'සමාධිකථා' කියලා කියනවා සමාධිය පිලිබඳ කතාවලට.





"පඤ‍්ඤාකථා"
ප්‍රඥාව පිළිබඳව කතවලට





විමුත‍්තිකථා
විමුක්තිකතා" කියලා කියනවා නිවන පිළිබඳව කතා කරන එකට.





විමුත‍්තිඤාණදස‍්සනකථා
යම් විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා නම් ඒ ඥාන දර්ශනය පිළිබඳව කතාවලට.





මෙන්න මේ කතා "නිකාම ලාභීයි". ඒ වගේම මේ දස කතා බොහොම සුලභව අහන්න ලැබෙනකොට මෙන්න මේක උතුම් අවබෝධය පිණිස පවතින තුන්වෙනි කාරණාව කියලා කියනවා.පළවෙනි කාරණාව කල්‍යාණ මිත්‍රතාවය, ඊටපස්සේ දෙවෙනි කාරණාව සිල්වත් බව, තුන්වෙනි කාරණාව ලෙස අපිට හම්බවෙනවා කෙලෙස් ගෙවෙන කතාව නැවත නැවත අසන්නට ලැබීම කියන උතුම් අවබෝධය පිණිස පවතින මුල් කාරණා තුන විදිහට.





  1. විර්යය ආරම්භ කිරීම




"පුනචපරං ආවුසො භික‍්ඛු, ආරද‍්ධවීරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. සම‍්බොධිපක‍්ඛියානං, ආවුසො, ධම‍්මානං අයං චතුත‍්ථී උපනිසා භාවනාය"





එයා කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස, කුසල ධර්මයන් දියුණු කරගැනීම පිණිස වීර්‍යය කරනවා අකුසල ධර්මයන් දුරු කරලා. තව පැත්තකින් චතුරංග සමන්නාගත වීර්‍යය පිළිබඳව තමයි ආරද්ධ වීර්‍යය කියලා කියන්නේ. ඒ කියන්නේ, නූපන් අකුසල නූපදවන්නත්, උපන් අකුසල් දුරු කරන්නත්, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න කියන මේ හතර පැවැත්මට තමන්ගේ ජීවිතය කැප කරනවා.





"වීර්‍යය" අපේ ජීවිතයේ බොහොම අඩුයි. වීර්යය අඩුයි කියන එකෙන් අදහස් කරන්නේ ඔබ භාවනා කරන්නේ නැහැ කියලා නෙවෙයි. ඔබ ජීවිතයේ බොහොම කැපවීමෙන් භාවනා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ යුතුකම් වගකීම් ආදියත් දැඩිව දරාගෙන ඒ දේවලුත් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ වෙහෙසෙනවා. නමුත් හිත රැකීම පැත්තෙන් කරන වීර්‍යය බොහොම අඩුයි. 'හිත රැකීම පැත්තෙන් කරන වීර්‍යය' කියලා කියන්නේ හැම වෙලේම ඉඳගෙන භාවනා කරන්නට ඕනේ කියන එක නෙවෙයි. තමන්ගේ හිතේ ඇතිවෙන විතර්කයන් පිළිබඳව හොඳට තේරුම් අරගෙන ජීවත් වීම. එතකොට අකුසලයක් උපදිනවා නම් ඒ අකුසලය දැනගෙනම ප්‍රහානය කරන්නට ඕනේ.





අකුසල ධර්මයක් උපදින්නට පෙරම, ඊට සුදුසු පරිසරය සැකසෙනවා කියලා තේරෙනවා නම් මේ හේතුවෙන් මට හිතේ අකුසල‍යක් වන්නට පුළුවන් කියලා ඒකට අපිට පුළුවන් පෙර සූදානමක් වන්නට, ඒ අවස්ථාවෙදි අපි කොහොමද ඉවසීම පුරුදු කරන්නේ, ඒ වෙලාවෙදි අපි කොහොමද ඒ අකුසලය නූපදින විදියට මනසිකාරය කරන්නේ කියලා අපිට කලින් අභ්‍යාස කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අභ්‍යාස කිරීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි යනකොට, එනකොට, එදිනෙදා කටයුතු සිද්ධ කරගන්නකොට වීර්‍යය කිරීම අවශ්‍යයි. මේකට කියනවා ආරද්ධ වීර්‍යය කියලා. ඒ වීර්‍යය ඕනේ අපිට ඉඳගෙන භාවනා කරන්න විතරක් නෙවෙයි. ඒ වීර්‍යය අවශ්‍ය, ධර්ම ශ්‍රවනයෙන් උපදවා ගන්න දේ තමන්ගේ ජීවිතය පුරාවටම පතුරුවන්නට, ජීවිතය පුරාවටම අරගෙන යන්නට. එහෙම නැත්තම් ඒකට අපි කියනවා වීර්‍යය නැති ජීවිතයක් කියලා. එක මොහොතකට විතරක් වීර්‍යය කිරීම තමන්ගේ සමස්ථ දර්ශනයම වෙනස් කිරීමට තරම් ප්‍රාමාණික වෙන්නේ නැහැ. ඒ නිසයි මේ විදියට වීර්‍යය කියන දේ අවශ්‍ය වෙන්නේ.





  1. පංච උපාදානස්කන්ධයේ උදය වැය දකින නුවණින් යුක්ත වීම




"පුනචපරං, ආවුසො භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත‍්ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා සම‍්බොධිපක‍්ඛියානං, ආවුසො, ධම‍්මානං අයං පඤ‍්චමී උපනිසා භාවනාය"





මැනවින් දුක් ගෙවීමට යන, ආර්‍ය් වූ, නිවන පිණිස පවතින, උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වන්නට ඕනේ. "උදයත්ථගාමිනී ප්‍රඥාව" කියලා කියන තැනදී "උදය" කියලා කියනවා "සමුදය" කියන එකට. "අත්ථ" කියලා කියනවා 'අස්ථංගමයට යෑම' කියන එකට. එතකොට මේ "උදය" සහ "අස්ථංගමය", නැත්තම් "සමුදය" සහ "වැය" පිණිස පවතින ප්‍රඥාව වැඩීම.





ඔන්න දැන් ඔබට පැහැදිලි ඇති කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු පැවැත්ම තුළ ඉඳලම අපි ක්‍රමානුකූලව ආවා දැන් 'උදයත්ථගාමිනි ප්‍රඥාව' දක්වාම. අපි විපස්සනාව, නුවණ, ප්‍රඥාව පිළිබඳව කතා කරනවා. අන්න ඒ ප්‍රඥාව වඩන්න ඕනේ, භාවනාව දියුණු කරන්න ඕනේ. සතිපට්ඨානය නම්, සතිපට්ඨාන භාවනාව අපි වඩන්නේ කොහොමද, කොයි තැන දක්වාද වඩන්නට ඕනේ කියලා අපි තීරණය කරන්නට ඕනේ. මුල් ධර්මතා හතර තිබුණොත් තමයි අපිට මේ පස්වෙනි ධර්මතාවය ප්‍රධාන ලෙසම වැදගත් වෙන්නේ. ඒ හින්දා ඒ කලින් සදහන් කළ ධර්මතා හතර සුළු කොට තකන්න එපා.





1) කලණ මිතුරන් පිළිබඳව,





2) සීලය පිළිබඳව,





3) දස කතාව - ඒ වගේම තමාට නිතර ඇහෙන කතාබහ පිළිබඳව (සත්පුරුෂ ආශ්‍රය තුළ අහන්න ලැබෙන දස කතා හරිම වැදගත් වෙනවා. ඒක නොතේරුනත්, අහගෙන ඉඳීමත් වැදගත් වෙනවා.)





4) ආරද්ධ වීර්‍යය ඇති බව - වීර්‍යය කරන බව





5). උදයත්ථගාමිනී ප්‍රඥාවත් එතන යුක්ත වෙනවා නම් එයා සම්බෝධිය පැත්තට යන කෙනෙක් බවට පත් වෙනවා.





උදයත්ථගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ, අපි කිව්වා උදය වැය දකින නුවණ කියලා. ඒ කියන්නේ, ස්කන්ධයන්ගේ සමපනස් ලක්ෂණය දකින කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. මට මතක විදියට අපි මීට පෙරත් යම් මට්ටමකින්, ස්කන්ධයන්ගේ සමපනස් ලක්ෂණය පිළිබඳව කතා කළා, ස්කන්ධයන්ගේ සමපනස් ලක්ෂණය දැකීම කියන තැනදී අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර හා නිබ්බත්ති ලක්ඛණ කියන ටික අපි ඒ ඔස්සේ කතා කළා.





"අවිද්‍යාව" කියන දේ රූපය හටගැනීමට හේතුයි, "කර්මය" කියන එක රූපය හටගැනීමට හේතුයි, "තණ්හාව" කියන එක රූපය හටගැනීමට හේතුයි. "ආහාරය" කියන එක රූපය හටගැනීමට හේතුයි. ඒ වගේම, නිබ්බත්ති ලක්ඛණ දැකීම කියන එක රූපයේ සමුදය දැකීමට හේතුයි. මෙතන, අපි තේරුම් ගන්න අවශ්‍ය කාරණා කිහිපයක් පිළිබඳව ටිකක් කතා කරමු. 'අවිද්‍යාව' කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය ගැන නොදන්නාකම. 'කර්මය' කියලා කියන්නේ අපි ඒ චතුරාර්ය සත්‍යය ගැන නොදන්නාකම නිසා කුසල, අකුසල ආදී වශයෙන් රැස්කර ගැනීමට කියනවා කර්ම රැස්කර ගන්නවා කියලා.





'තණ්හාව' කියලා කියනවා නිකාන්ති තණ්හාවට. එහෙම නැත්තම් අපි නැවත නැවතත් ස්කන්ධයන් කෙරෙහි නැඹුරුව, ස්කන්ධයන් පිළිබඳව තණ්හාව පැවැත්වීමට කියනවා තණ්හාව කියලා. 'ආහාරය' කියලා කියනවා සතර ආහාරයක පැවැත්මක් පිළිබඳව. අවිද්‍යාව රූපය හටගැනීමට හේතුයි. කර්මය රූපය හටගැනීමට හේතුයි. තණ්හාව රූපය හටගැනීමට හේතුයි. ආහාරයන්ගෙන් කබලිංකාර ආහාරය රූපය හටගැනීමට, රූපය පවත්වන්නට හේතුයි. මේක දෙපැත්තකින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ, පරියායන් දෙකක් විදියට ප්‍රධාන ලෙස අපිට කතා කරන්න පුළුවන්.





**පළමුවන පරියාය **





'රූපය හැදෙන්නෙ හේතුව අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර' කියනකොට, රූපය සැකසෙන ආකාරය පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. මේ ජීවිතයේ විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා කියන මේ ධර්මතා ටික ගොඩනැගෙන්නට අවිද්‍යා, කර්ම, තණ්හා හේතු වුනා කියන එක. ඒ කියන්නේ, අතීතයෙදී අපි චතුරාර්‍ය සත්‍ය ධර්මය නොදන්නාකම නිසා (අවිද්‍යාව කියලා කියනවා) කුසල අකුසල වශයෙන් රැස්කර ගත්ත කර්ම නිමිත්තකට තණ්හා උපාදාන භව වශයෙන් කෙලෙස් ටිකක් රැස්කර ගැනීම නිසා වර්තමානයෙහි මේ විදියට ආහාර කයක් (ආහාරය නිසා හටගත්ත, කබලිංකාර ආහාර ප්‍රත්‍යයෙන් උපන් කයක්) උපාදාන වශයෙන් අල්ලා ගත්තා. එතකොට මේ රූපයක් හටගන්න පැත්ත කියනකොට පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ සන්තතිය තුළ 'මේ කය හටගත්ත ආකාරය' කියන තැනින් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා.





දෙවන පරියාය





ඒ වගේම, අපිට රූපය හමුවෙන තැන පිළිබඳව, එක් ක්ෂණිකව අපිට මේ ඔස්සේ කතා කරන්න පුළුවන් කමත් තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික ආහාරය මතට පතිත වෙනකොටයි මේ ටික ඇතිවුනේ කියලා. ඒ කියන්නේ, ඔබට පැහැදිලි ඇති කලින් පරියායේදී අපි කතා කළේ පෙර ජීවිතයේ අවිද්‍යාවෙන්, ඇත්ත නොදන්නාකම නිසා කුසල් වශයෙන්, අකුසල් වශයෙන් කර්ම රැස්කර ගෙන, ඒ රැස්කර ගත්ත කර්ම නිමිත්තකට, ගති නිමිත්තකට තණ්හා කරපු නිසා තමයි විඤ්ඤාණය රූපයකට බැසගත්තහම මේ කයක් උපාදාන වශයෙන් අල්ලගෙන මේ ජීවිතයේදී උප්පත්තිය ගත්තේ කියලා මේ විදියටත් 'රූපය හටගත්තා' කියලා අපිට කතා කරන්න පුළුවන්.





ඒ වගේම අනිත් කාරණාව තමයි, ඇහැට මේ මොහොතේ ඇහැට වර්ණ සටහනක් ගැටෙනකොට, ඒ වර්ණ සටහන දැනගැනීමට තමයි එතන සිත වැය වෙන්නේ. ඒ කියන්නේ, රූපය දැනගැනීමට එතන සිත වැය වෙනවා. ඇහැ පිළිබඳව තමයි තමයි ඒ සිත හටගන්නේ. එතකොට ඇහැ පිළිබඳව හටගන්න ඒ සිතෙන් දැනගන්නේ රූපයෙහි ගැටීම පිළිබඳව.(එහෙම නැතිනම්, වර්ණ සටහනෙහි ආපාතාගමය, වර්ණ සටහනේ ඇහැට පැමිණීම). ඒ හිතට පුළුවන්කම තියෙන්නේ වර්ණ සටහන ඇහැට ආපු බව දැනගන්නට විතරයි. ඊටපස්සේ ඒ ඇහැට ආපු අරමුණ පිළිබඳව නැවත හිතෙන් දැනගත්ත දේත් එක්ක එකතු කරලා අපි මනසට ඔසවා තබනවා. ඒකට අපි කියනවා "මනෝ ධාතු සිතක්" කියලා.





මං හිතනවා කවුරුත් අහන්නට ඇති කියලා අපි කතා කරපු මහානිධාන සූත්‍රය අපි පොහොය දවසේදී සාකච්ඡා කළ. ඒ සාකච්ඡාවේදී කතා කළා, 'අධිවචන සම්ඵස්සය' සහ 'පටිඝ සම්ඵස්සය' කියලා කාරණා දෙකක්. අපි කතා කළා, 'නාම කයේ පැනවීමක් නැත්නම් රූප කයෙහි අධිවචන සම්ඵස්සයත්, ඒ වගේම රූප කයේ පැනවීමක් නැත්නම් නාම කයෙහි පටිඝ සම්ඵස්සයත් පෙනේද කියලා මේ දෙපැත්තට මාරු කරලා අහන්නේ ඇයි කියන කතාව. එතකොට මේ කතා කරන්නේ, නාමය නිසා රූපය ඇති බවට යනවා, රූපය නිසා නාම ධර්මතා ටික ඇති බවට ප්‍රකට වෙනවා කියන එක පැහැදිලි කරගන්නට තමයි මේ දෙපැත්තට මේ කාරණා දෙක මාරු කරලා අහන්නේ.





රූප කයෙහි ගැටීමක් ඇති තැනක තමයි නාම ධර්මතා ටිකක පහළවීම වෙන්නේ. නාම ධර්මතා ටික ඇති තැනක තමයි රූප කයෙහි ප්‍රකට වීම වෙන්නේ. මොකද මහානිධාන සූත්‍රයේ මේ භූමියට, මේ ජීවිතයට සාපේක්ෂවනේ අපි කතා කරගෙන යන්නේ. ඔබට මතක ඇති, විඤ්ඤාණය මව් කුසකට බැස ගන්නවා, 'ළදරු කුමරෙකුගේ හෝ කුමරියකගේ ඒ විඤ්ඤාණය ක්ෂය වෙනවා නම්' අදී තැන්වලින් කතා කරන නිසා මේ භූමියට අදාළව, මේ මනුෂ්‍ය ජීවිතයට අදාළව අපිට කතා කරන පටිච්චසමුප්පාද න්‍යායක් තමයි එතන දකින්න පුළුවන්කම තියෙන්නේ.





එතකොට ඒ විදියට අපි පටිච්චසමුප්පාද න්‍යාය කතා කරනකොට එතනදී පටිඝ සම්ඵස්සය සහ අධිවචන සම්ඵස්සය කියලා කතා කරේ නාමරූප සම්මිශ්‍රණය. නාමරූප සම්මිශ්‍රණයක් කියලා කිව්වේ, නාමය නිසා තමයි රූපය පිළිබඳව ප්‍රකට වෙන්නේ. රූපය නිසා තමයි නාම ධර්මතා ටිකේ පැවැත්මක් සිද්ධ වෙන්නේ, නාම ධර්මතා ටික පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. මේ අන්‍යෝන්‍ය සම්මිශ්‍රණය මෙතන තියෙනවා. අන්න ඒ විදියටම ඇහැට ගැටුනු රූපය පිළිබඳව අපි හිතින් හිතලා, හිතින් තමයි දැනගන්නේ. හිතින් හිතලා හිතින් දැනගන්නකොට ඒකට කියනවා මනෝ විඤ්ඤාණ ධාතු සිත කියලා.





අර, ඇහැට ගැටුනු සිදුවීම පිළිබඳව දැනගත්තා චක්ඛු විඤ්ඤාණ සිතෙන්. ඒ චක්ඛු විඤ්ඤාණයේ කෘත්‍යය තමයි ඒ රූපය ගැන දැනගන්න එක. මනෝ ධාතු සිතයි ඊළගට පහළ වෙන්නේ. මනෝ ධාතු සිතේ ලක්ෂණය තමයි අර චක්ඛු විඤ්ඤාණයෙන් රූපය ගැන දැනගත්ත ධර්මතා ටිකම අරමුණු කරගෙන මනෝ විඤ්ඤාණයට දැනගන්න පුළුවන්වෙන විදියට අරමුණු ටික ඒකරාශී කරලා දෙනකම, එකතු කරලා දෙනකම, ඔසවා දෙනකම. ඊටපස්සේ මනෝ විඤ්ඤාණ ධාතු සිතේ ලක්ෂණය තමයි අර ඔසවා දීපු අරමුණ දැනගන්නවා කියන එක. ඒකත් විපාක ධර්මයක්.





එතකොට ඒ මනෝ විඤ්ඤාණ ධාතු සිත වැයවෙලා තියෙන්නේ අර මනෝ ධාතු සිතෙන් ගෙනත් දීපු ටික එකතු කරලා, ඒ තමන්ගේ ටිකත් එක්ක දැනගන්නවා කියන එකට. ඒකට කියනවා මනෝ විඤ්ඤාණ ධාතු සිත විපාකයි කියලා. මෙන්න මේ විපාක මනෝ විඤ්ඤාණ ධාතු සිත අරඹයා තමයි කර්ම සිතක් හටගන්නේ. විපාක සිත් ඔක්කොම සිද්ධ කළේ තම තමන්ගේ වැඩේ, දැන් කර්ම සිතේ ලක්ෂණය තමයි අනුන්ගේ දේ බලන එක. අනුන්ගේ දේ බලන එක කියලා කිව්වෙ ආපහු අර රූපය තියෙනවා කියලා තමයි එයා කල්පනා කරන්නේ. රූපය තියෙනවා කියන බාහිරට යොමුවෙන මානසික මට්ටම ඇති වෙන්නේ කර්ම සහගත මට්ටමකින්.





ඒ රූපය පිළිබඳව විපාක මනෝ විඤ්ඤාණ සිතෙන් දැනගත්තා. ඒ දැනගත්ත දේ අරඹයා බාහිර පවතින බවට මෙනෙහි කරනවා. ඒකට කියනවා කර්ම මනෝ විඤ්ඤාණයක් කියලා. ඒ කියන්නේ කර්ම රැස්කර ගැනීමක්. කුසල වශයෙන් අකුසල වශයෙන් අපිට කර්ම රැස්කර ගැනීමක් තියෙන්නේ අන්න එතන. අන්න එතනදී තමයි නැවත රූපය ඇති බවට අපි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ, අර දැනගත්ත 'අම්මා' බාහිර ඉන්නවා කියලා හිතෙන මට්ටම, 'දරුවා' බාහිර ඉන්නවා කියලා හිතෙන මට්ටම. දැනගත්ත රූප බාහිර තියෙනවා කියලා අපි කල්පනා කරනවා, එතකොට ඒ දැනගත්ත 'පුද්ගලයා' ඉන්නවා කියලා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරන කෙනාට කියනවා - ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්ඛු විඤ්ඤාණය තියෙනවා කියලා අපි කතා කරනවා.





අනාථපිණ්ඩිකොවාද සූත්‍රය අපි නිතර මතක් කරනවා. ඔබට මතක ඇති එතනදී, අනේපිඬු සිටුතුමාට උපදෙස් දෙන්නේ "නුඹේ විඤ්ඤාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, විඤ්ඤාණයට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, විඤ්ඤාණයට විඤ්ඤාණය ඇසුරු වෙන්න දෙන්න එපා" කියලා කියනවා. එතකොට විඤ්ඤාණයට ඇසයි, රූපයයි, විඤ්ඤාණයයි මේ ඔක්කොම ඇසුරු වෙන්න දෙන්න එපා කියනවා. ඒ කියන්නේ, මේ ඇති හැටියට ඇසුරුවෙන කෙලේසයට ඉඩ දෙන්න එපා කියන එක. කර්ම මනෝ විඤ්ඤාණයෙන් මේ ධර්මයෝ ඇති බවට ගන්නවා කියලා කිව්වනේ අපි. අන්න ඒකට ඉඩ දෙන්න එපා කිව්වා.





එතකොට යම් කෙනෙකුට "රූපය" තියෙනවා නම්, රූපය හටගැනීම ගැන පෙන්නන්න වෙන්නේ අර අපි මුලින් කතා කරගෙන ආවනේ, දැන් ඇහැට රූපය ගැටිලා තම තමන්ගේ වැඩේ කරගත්ත ටිකක් වූ විපාක ධර්ම ටිකකුත් තිබුණා, තම තමන්ගෙ වැඩේ කරගත්ත ටික නොදන්නා කෙනෙක් අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන තැනක් ගැන අපි ඊටපස්සේ කතා කළා. ඒ කියන්නේ, කර්මය තමයි අනිත් දේවල් "ඇති බවට" ගෙනැල්ලා දුන්නේ. අන්න ඒ කර්මය හැදුනේ නිකන් නෙවෙයිනේ. අර නිරුද්ධ වුන, අතීතයට ගියපු, නැතිවෙලා ගියපු ධර්මයෝ නැති වෙනවා කියලා නොදන්නාකම හා නොදකිනකම නිසා. ඒකට කියනවා අවිද්‍යාව කියලා. සංඛත ධර්මයන්ගේ සංඛත ලක්ෂණය දැක්කේ නැහැ. ඒ අවිද්‍යාව නිසා තමයි ඒ දේවල් 'ඇති බවට' කල්පනා කළේ.





එතකොට කෙනෙකුට 'රූපය එළියේ (බාහිර) තියෙනවා' කියලා රූපය ඇසුරු කරන්නට රූපය හමුවෙන තැනක එයාට තියෙනවා අවිද්‍යාවේ ලක්ෂණය. රූපය ඇති බවට හමුවෙන තැනක එයාට තියෙනවා කර්මයේ ලක්ෂණය. (කර්මය කියලා කිව්වෙ, ඇසුරු කරන දේ අරඹයා හොඳ නරක වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම. කර්ම ලක්ෂණය කියලා කියනවා ඒකට). තණ්හාව කියලා කියනවා අර කර්මය විදියට සකස් කරගත්ත ඒ නිමිත්තට අපි ආස කරනවා, තණ්හා කරනවා. ඒ ස්කන්ධ ටිකට ඇලෙන එකට කියනවා තණ්හාව කියලා.





එතකොට ඒ අවිද්‍යාව, තණ්හාව, සහ කර්මය කියන ටික සම්පූර්ණයෙන්ම රූපයේ පැනවීමට හේතුයි. තවද ආහාරය කියන එකද රූපයෙහි පැනවීමට හේතුයි එතනදී. ආහාරය කියන්නෙ, මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ ඔක්කොම අපි පවත්වලා තියෙන්නේ කුමක් ඇති තැනකද? ඇහැ, රූප කියන කබළිංකාර ආහාර කෘත්‍යය ඇති තැනක. කබලිංකාර ආහාරය කියලා කියන්නේ, ඇසෙහි ප්‍රසාදය සකස් කරන, රූපය ප්‍රසාදය කෙරෙහි පතිත කරගන්න, ඒ කබලිංකාර ආහාර කෘත්‍යය ඇති තැනකදී තමයි අපි මේ කාරණාවේ ඇත්ත නොදැන කර්ම හා කෙලෙස් වලින් ඇසුරු කරනවා කියන දේ සිද්ධ කරන්නේ.





ඒ නිසා රූපයෙහි හටගන්න බවට, රූපය ඇති බවට ගන්න තැනක අවිද්‍යාව හේතුවක්, කර්මය හේතුවක්, තණ්හාව හේතුවක්, ආහාරය හේතුවක්. එතකොට අපිට දකින්නට වෙනවා රූපයේ ඇති බවට හමුවන තැනකදී කොටස් කිහිපයක්. අවිද්‍යාව, කර්මය, තණ්හාව ආහාරය නිසා හටගත්තා, ඊට අමතරව මේ හේතු ටිකේ එකතුවෙනුයි රූපය ඇති බවට හම්බ වුනේ කියලා දකින එකට කියනවා නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා, රූපයේ සමුදයට හේතු ටික දකිනවා කියලා. එයා රූප උපාදානස්කන්ධයේ හටගැනීම නැත්නම් ඉපදීම දකිනකොට මේ කාරණා පහක් පිළිබඳව දකිනවා. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයත් මේ ලක්ෂණ හතර නිසා රූපය හටගත්තා කියලා දකින එකට කියනවා නිබ්බත්ති ලක්ඛණ දැකීම කියලා, රූපයේ හටගැනීම දකිනවා කියන තැන ධර්මතා පහක දැකීමක් එයාට තියෙනවා.





මතු සම්බන්ධයි





පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 ලබාගැනීමට
https://drive.google.com/file/d/1PkZ1S0Q2NqUutqk1fkmy9Al1WSuH-sah/view?usp=sharing





සම්බොධි පක්ඛිය සූත්‍රය 3කොටස





වේදනාව සැප දුක් වශයෙන්, නැවත වේදනාව පිළිබඳව නැඹුරු වී වේදනාව ඇසුරු කරන මට්ටමේදිත් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ඛණ දැකීම කියන ටික දකිනකොට වේදනාවේ හටගැනීම එයා දකිනවා. ඒ විදියටම සංඥාව, සංස්කාරය සහ විඤ්ඤාණය කියන මේ ස්කන්ධත් "අවිද්‍යාව නිසාත් හටගන්නවා, කර්මය නිසාත් හටගන්නවා, තණ්හාව නිසාත් හටගන්නවා, ආහාරය නිසාත් හටගන්නවා, නිබ්බත්ති ලක්ඛණ දැකීම" කියලා කියන මේ කාරණා ටික නිසා පංච උපාදානස්කන්ධයේ සංඥාව, සංස්කාරය සහ විඤ්ඤාණයේ හටගැනීම දකිනවා. (පංච උපාදානස්කන්ධය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා හටගැනීම දකිනකොට නිබ්බත්ති ලක්ඛණ දැකීම කියලා කියනවා.) එතකොට ස්කන්ධ පහට, හේතු ප්‍රත්‍ය පහ බැගින් පංච උපාදානස්කන්ධයේ හටගැනීම ලක්ෂණ විසි පහකින් කතා කරනවා.





==පංච උපාදානස්කන්ධයේ නිරෝධය==





රූපයෙහි නිරෝධය දකින පැත්තට කතා කරනකොට, අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධයි, කර්මය නිරෝධයෙන් රූප නිරෝධයි, තණ්හා නිරෝධයෙන් රූප නිරෝධයි, ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි කියලා මේ විදියට ඒ හේතූන්ගේ නැතිවීම නිසා අපි රූපයේ නැතිවීම පිළිබඳව දකිනකොට, නිබ්බත්ති ලක්ඛණයන්ගේ නිරෝධය අපිට පේනකොට රූප නිරෝධය පේනවා. රූප නිරෝධය ඒ විදියට පේනවා කියලා කියන්නේ එයා රූපය අස්ථංගමයට යන ආකාරයනේ දකින්නේ. (අනෙක් ස්කන්ධ ටික පිළිබදවත් ඒ ආකාරයෙන් දතයුතුයි), ස්කන්ධයන්ගේ උදය (හටගන්නා ආකාරය) දැක්කා විසිපස් ආකාරයකින්. වැයවෙන ආකාරය දකිනවා විසිපස් ආකාරයකින්. එතකොට මේ ටිකට කියනවා 'ස්කන්ධ ධර්මයන්ගේ සමපනස් ලක්ෂණයකින් යුත් උදය වැය දකිනවා' කියලා.





ස්කන්ධ පහ අනුව මේ ධර්මතා පහේ හටගැනීමට සහ වැයවීමට බෙදුනහම 'ස්කන්ධයන්ගේ උදය වැය සමපනස් ලක්ෂණයකින් බලනවා' කියලා කතා කරනවා. සම පනස් ලක්ෂණයකින් ස්කන්ධයන්ගේ උදය වැය මෙනෙහි කරන එකට කියනවා 'උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි' කියලා. ඒ උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් යුතු බවත් ධර්මාවබෝධයට අවශ්‍යවන දෙයක්, ධර්මාවබෝධයට වැදගත්වන දෙයක්. මේ කාරණා ටික කෙනෙකුට අත්‍යාවශ්‍යයි අවබෝධයට පත්වෙන්න. ඒ කියන්නේ, ධර්මය අවබෝධ කරගන්නට.





==පඤ්ඤා ඉන්ද්‍රියේ නානත්වය මත==





කෙනෙකුට හිතෙන්නට පුළුවන් සමහර වෙලාවට පුංචි ගාථාවක් අහලා නිවන් දැකපු අයත්, පුංචි බණ පදයක් අහලා නිවන් දැකපු අයත් ඔය ටික දැනගෙනමද නිවන් දැක්කේ කියලා. ඉන්ද්‍රිය නානත්වය තමයි එයට හේතුව. 'ඉන්ද්‍රිය වෙමත්තතාවය' කියලා කියනවා ඒකට. ඒ කියන්නේ, "තික්ඛපඤ්ඤ පුද්ගලයන්ට" බොහොම සුළු දේකිනුත් ඒ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම "නෙය්‍ය පුද්ගලයින්ට" ධර්මය ටිකක් අපහසුවෙන් නමුත් වඩලා අවබෝධ කරගන්නට තියෙනවා. ඉතින් 'නෙය්‍ය පුද්ගලයෙක්' හිතනවා නම් තමන් 'තික්ඛපඤ්ඤ පුද්ගලයෙක්ය' කියලා, ඒ තුළ දහම සරල කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ.





ඒ නිසා 'තික්ඛපඤ්ඤ පුද්ගලයින්' බොහෝ විට භාග්‍යවතුන් වහන්සේ සම්මුඛවම නිවන් දැකීම තමයි සාමාන්‍යයෙන් සිද්ධවෙන කාරණාව. ඒක තමයි 'තික්ඛපඤ්ඤ පුද්ගලයින්ගේ' ස්වභාවය, ඒ වගේ "විපංචිතඤ්ඤු පුද්ගලයාගේ" ස්වභාවයත් මීට සමානයි. මෙන්න මේ විදියට අපිට මාර්ගය පිළිබඳව විදර්ශනාව වඩන කෙනෙකු විසින් පැවතිය යුතු පැතිකඩ මේ ආකාරයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මෙහෙම මේ කාරණා පහක් සම්පූර්ණ කරගත්ත කෙනෙකු විසින් මත්තෙහි කළ යුතු දේවල් ටිකකුත් පෙන්නනවා.





==වැඩිය යුතු ධර්මතා හතර==





"තෙන ච පන, භික්ඛවෙ, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා" - මේ ධර්මතා පහේ පිහිටපු කෙනා,ධර්මතා හතරක් ඊට පස්සේ වඩන්න ඕනේ. මොනවද ධර්මතා හතර?





  1. 'අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය' - රාගයාගේ ප්‍රහානය පිණිස අසුභය වැඩිය යුතුයි.
  2. 'මෙත්තා භාවෙතබ්බා ව්‍යාපාදස්ස පහානාය' - මෛත්‍රිය වැඩිය යුතුයි ව්‍යාපාදය දුරුවීම පිණිස.
  3. 'ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය' - ආනාපානසතිය වැඩිය යුතුයි විතර්ක උපච්ඡේදය (විතර්ක සිඳීම) පිණිස.
  4. 'අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය' - අනිත්‍ය සංඥාව භාවිතා කළ යුතුයි අස්මි මානය දුරු කිරීම පිණිස.




'අනිච්චසඤ්ඤිනො භික්ඛවෙ භික්ඛුනො, අනත්තසඤ්ඤා සණ්ඨාති' - මහණෙනි, අනිත්‍ය සංඥාව වඩන භික්ෂුව විසින් අනාත්ම සංඥාව තුළ පිහිටා සිටිනවා. 'අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති' - අනාත්ම සංඥාව තියෙන කෙනා අස්මි මානය සමුග්ඝාතයට පැමිණෙනවා. 'දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති' - දිටු දැමියෙහිම එයා නිර්වාණයට පැමිණෙනවා. ඔන්න අපිට බුදුරජාණන් වහන්සේ මත්තෙහි කළ යුතු දේවල් ටිකත් පෙන්නුවා. මත්තේ කළ යුතු දේවල් ටික මොකක්ද?





==අසුභ භාවනාව කුමක් සදහාද? ==





'අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය' - අසුභය වඩන්න කිව්වා රාගය ප්‍රහානය කරන්නට. එතකොට රාගය ප්‍රහානය කරන්නට අසුභය පෙන්නුවේ. එහෙනම් අසුභ භාවනාව තියෙන්නේ 'මේක පිළිකුල් පිළිකුල් පිළිකුල්' කිය කියා හිත හිත ඉන්නට නෙවෙයි. රාගය දුරු කරගන්න පැවැත්මකට යන්නට. ඒ නිසා සතිපට්ඨානයේදී පවා අසුභය ගැන කතා කරන්නේ රාගයට ප්‍රතිවිරුද්ධව යන්නට අවශ්‍ය තැනකදදී අසුභ භාවනාව වඩන්න, භාවිතා කරන්න අවශ්‍යවන කාරණාවක් විදියට. එහෙම නැත්තම්, ඒ අසුභ නිශ්‍රිතව ගන්න කර්මස්ථානයම හේතු කරගෙන එයාට කසිනය පැත්තට නැඹුරුව වඩලා හිත එකඟ කරන්න පුළුවන්කම තියෙනවා, වර්ණ භාවනාවක් පැත්තට හිත එකඟ කරන්න පුළුවන්කම තියෙනවා.





එතකොට, භාවනා කරන කෙනෙකු විසින් තමන්ගේ හිත පිළිබඳව හොඳ කල්පනාවකින්, ඉතා හොඳ අවධානයකින් පසුවිය යුතුයි. තමාගේ හිතෙහි යම්කිසි දෙයක් පිළිබඳව ඇලීමට යනවා නම්, ඒ ඇලීමට යන දෙයෙහි නොඇලීම පිණිස, එහි කළකිරීම පිණිස බැලීම අනිවාර්යයෙන් සිද්ධ කළ යුතු දෙයක් වෙනවා. ඒ කියන්නේ, පංච කාම ගුණිකත්වය මත යම්කිසි දෙයක ඇලෙනවා නම්, අපිට කෙනෙක් පිළිබඳව රාගාදී චේතනාවක් පහළ වෙනවා නම් එතකොට ඒ කයෙහි අසුභ නිශ්‍රිත බාවය සහ ඒ කයෙහි ඇති අපිරිසිදු බාවය ආදිය වැඩීම ඉතාම ප්‍රායෝගිකව අපිට භාවිතා කරන්නට පුළුවන්.





සාමාන්‍යයෙන් පිටින් දැකලා කෙලෙස් සහිතව හැසිරෙන මනසක් ඇති කෙනෙකුට ඊට ඔබ්බෙන් හිත තියලා එයාට පුළුවන් පේන දේට එහා ගිය නුවණක්, නැත්නම් සංඥාවක් නිතර නිතර භාවිතයට ගන්න. එතකොට එයාට පුළුවන් නම් තමන්ට ඇහැට පේන රූපයේ හම කියන දේ විනිවිද ගිහිල්ලා හම ගහපු රූපයක් විදියට ඒක දකින්නට, එයාට අර අසාවට පෙනෙන සංඥාව ටිකක් විපරීත කරලා දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෙදී, රළු වශයෙන් තියෙන රාගය දුරු කරගන්නට තමයි දැන් මේ අසුභය කියන දේ පෙන්නන්නේ. එහෙම නැතිනම් අසුභය අනුවම නිතරම ඒ තුළ භාවිත කරන්නට නෙවෙයි ඒ කාරණාව පෙන්නන්නේ.





විතර්ක වශයෙන් නැගී සිටිනකොට, ඒ විතර්ක වශයෙන් නැගී සිටින කෙලේසය අපි දුරු කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ, දැන් 'රාගයක් ඇති වුනා කියලා දැනගෙන ඉන්න' කියලා නෙවෙයි මේ කියන්නේ. රාගය ඇතිවුනා නම් ඊට ප්‍රතිපක්ෂ දෙයක් අපි භාවිතයට ගන්න ඕන. ගින්දරක් ඇති වුනා නම් අපි ගින්දර නිවීම පිණිස වතුර හෝ ගිනි නිවන ද්‍රව්‍යයක් අපිට උපකාරය පිණිස ගන්න වෙනවා. ඒකට ප්‍රතිපක්ෂ දෙයක් තමයි අපි උපකාරය පිණිස ගන්නේ. එතකොට රාගය ගින්නක් නම් රාගයට ප්‍රතිපක්ෂව යන දෙයක් ගන්නට ඕන. ඒ වගේම, 'රාගය' කියනකොට අපිට පුද්ගලයන් අනුව යන රාගයම නොවෙන්නට පුළුවන්, අපිට වෙනත් ආකාරයකින් අනෙක් ද්‍රව්‍යයන්ට, වස්තූන්ට ඇලීම වෙන්නට පුළුවන්.





ඒ හැම තැනකදිම අසුභය වෙනුවට, අසුභය හා සමගාමී වන ආදීනවානුපස්සනාව අපිට තියෙන්නට ඕනේ. ඒ දේවල් වලින් අපේ ජීවිතයට එන්න පුළුවන් ආදීනව පැත්ත පිළිබඳව අපි කල්පනා කරන්නට ඕන. ඒ විදියට ආදීනව පැත්ත පිළිබඳව කල්පනා කරන කොටත් කෙනෙකුට නුවණක් ඇතිවෙනවා ආදීනවය නිසා ඒ දේවල් කෙරෙහි නැඹුරු නොවී සිටින්නට. ඒකත් කියන්නේ මේ දිගටම අපිට ඒ තුළම වාසය කරන්නට අවශ්‍ය නිසා ආදීනවය බලනවා කියන එක නෙවෙයි. ආදීනවානුපස්සනාවෙන් අපි අදහස් කරන්නේ ඒ කෙනාට ඒ තුළ තියෙන රළු සහගත කෙලේසය, රළු සහගත ඇලීම, රළු සහගත කැමැත්ත දුරු වෙන්නට ආදීනවය එයා මෙනෙහි කරනවා. එතකොට එයා අසුභය වඩනවා රාගය දුරු කරගන්න.





==මෛත්‍රිය වඩන්නේ කුමක් පිණිසද?==





"මෙත්තා භාවෙතබ්බා ව්‍යාපාදස්ස පහානාය". - ව්‍යාපාදය දුරු කරගන්නට අවශ්‍ය නම් එයා මෛත්‍රිය වඩනවා. හිතෙහි අමනාපය ඇතිවෙනවා නම්, පටිඝය, නිතර නිතර ගැටීම් සහගත ස්වභාවය ඇතිවෙනවා නම් ඒක නිවනට ප්‍රතිපක්ෂ ධර්මයක්, නිවනට ප්‍රතිවිරුද්ධව තියෙන ධර්මයක්. එහෙනම් නිවනට ප්‍රතිවිරුද්ධ ඒ දේ නසා දැමිය යුතුයි. ඒ නිවනට විරුද්ධවන ධර්මය ඉවත් කළ යුතුයි. ඒක ඉවත් කරන්නට නම් අපිට මෛත්‍රිය වඩන්නට වෙනවා. මෛත්‍රියෙන් හිත මොළොක් නැත්නම් වදින වදින තැන ටිකක් රිදෙනවා. ඒ හින්දා ඒ වදින වදින තැන රිදෙන්නේ නැති වෙන්න අපි ටිකක් හිත මොළොක් කරලා තියාගන්නට අවශ්‍යයි.





එහෙනම් අරමුණුවල රළු විදියට අපි ගැටි ගැටී ජීවත් වෙන්නේ නැති වෙන්නට නම් අන්න අපිට අවශ්‍ය වෙනවා ඒ අරමුණුවල නොගැටෙන භාවනාවක් අපිට දියුණු කරන්න. ඒකට තමයි 'මෛත්‍රිය' කියලා කියන්නේ. මෛත්‍රිය අපි විශේෂයෙන්ම අරමුණු කරන්නේ සත්ත්ව පුද්ගලයින් ඇසුරු කරගෙන. 'සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා…' ආදී වශයෙන් සත්ත්වයින් පුද්ගලයින් ඇසුරු කරගෙන තමයි අපි මෛත්‍රිය කියන දේ ප්‍රගුණ කරන්නේ. හැබැයි ඒ විදියට අපි සියලු සත්ත්වයින් ඇසුරු කරගෙන මෛත්‍රිය වැඩුවත් හිතට ඇතිවෙනවා මෙත්තා ගතිය. මෙත්තා ගතිය කියන එකෙන් අදහස් කරන්නේ ද්වේශයට ප්‍රතිපක්ෂව ගියපු මෛත්‍රී සහගත සංකල්පනාව.





ඒ මෛත්‍රී සහගත සංකල්පනාව තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට අජීවී දෙයක් කෙරෙහි වුනත් එයා ගැටීමකට යන්නේ නැහැ, එයාගේ මෛත්‍රී සහගත සංකල්පනාව නිසා. ඒක ඇති කරගන්නේ අපි ජීවී සත්තවයන් කෙරෙහි. හැබැයි ජීවී සත්ත්වයන් කෙරෙහි වුවත් ඇති කරගත්ත මෛත්‍රී සංකල්පනාව එයාව මෘදු මොළොක් කරනවා අජීවී දෙයක වුනත් නොගැටී ඉන්නට තරම්. මේ පිළිබදව ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනෙක් දන්නවා. මෛත්‍රිය කියන දේ පවතින්නේ අන්තිමටම සත්ත්ව පුද්ගලභාවයෙන් අපි අනිත් අයව අරමුණු කළාට, මෛත්‍රිය කියන දේ ඇත්තටම පවතින්නේ තමාගේ සන්තානගතව. සියලු ආරම්මණයන් කෙරෙහි මෛත්‍රී සහගතව වාසය කරන්නට තමන්ට පුළුවන්කම ලැබෙනවා කියන එක.





== ආනාපානසතිය කුමක් පිණිසද? ==





"ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය"- ආනාපානසති භාවනාව වඩන්නට කියනවා විතර්කයන් සංසිඳුවන්න. එතකොට ආනාපානසතිය කියලා කියන්නේ විතර්ක සංසිඳවන කර්මස්ථානයක්. 'ආනාපානසතිය' කියන මෙතනදී, විතර්ක සංසිඳවීම පිණිස හේතුවෙන, විතර්ක සංසිඳවීමට හැකි සියලුම කර්මස්ථානයන් මෙතනදී සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ආනාපානසතියෙන් තමයි ප්‍රධාන ලෙසම විතර්ක සංසිඳවන්නේ, විතර්කයන් සිඳලා දාන්නේ. ඒ නිසා ආනාපානසතිය මෙතනදි කතා කරනවා. එහෙනම් අපිට අවශ්‍යයි සමාධි නිමිත්තක් ආසේවනය කරන්න. ඒ සමාධි නිමිත්තේ ආසේවනය තමයි 'ආනාපානසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය' කියන එකෙන් අදහස් කරන්නේ. විතර්ක උපච්ඡේදය තමයි ඊළගට අවශ්‍ය කාරණාව.





අපි ලෝභයෙන් හිත නිදහස් කළා, ඒකට කිව්වා 'රාගය දුරු කළා' කියලා. ද්වේශයෙන් හිත දුරු කළා, අපි කිව්වා ඒකට 'ව්‍යාපාදය දුරු කරනවා' කියලා. සතිපට්ඨානය ගැන කතා කරනකොට ඔබට මතක ඇති අපි කිව්වා " විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං" - පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ අභිජ්ඣා දෝමනස්සය තමයි එයා දුරු කරන්නේ. "අභිජ්ඣා " කියනකොට - විෂම ලෝභය. "දෝමනස්සය" කියනකොට - තරහව, පටිඝය කියන එක. සතිපට්ඨාන භාවනාව කියන තැනදීත් කතා කළේ ඒ දේම තමයි. 'අභිජ්ඣා දෝමනස්සය' දුරු කරන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි අපේ මූලිකම අදියර, භාවනාවක් පටන් ගන්නකොට ප්‍රධානම දේ තමයි අර රළු විදියට ඇලෙන සහ රළු විදියට ගැටෙන තැන් ටික අපි ඉවත් කරගන්න එක.





ඒ රළු විදියට ඇලෙන ගැටෙන ටික අපිට ඉවත් කරගන්නට වෙන්නේ අපිට විතරක් ආවේණික අපේ කර්මස්ථානය මගින් නෙවෙයි, පොදු ධර්මතා ටිකකින්, අංගෝපාංග ටිකකින්. ඒකට තමයි අපිට අසුභය අනුව බලන්න තියෙන්නේ, මෛත්‍රිය අනුව බලන්න තියෙන්නේ අන්න ඒ කාරණාව නිසා. ආනාපානසතිය අවශ්‍ය වෙනවා අපිට විතර්ක උපච්ඡේදනය (විතර්ක සංසිඳුවීම) සඳහා. මේ සම්පූර්ණම අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් සතිපට්ඨානයකින් සිද්ධවෙන කාරණා ටික පිළිබඳව. ඒ කියන්නේ, යම් අරමුණක සිහිය පිහිටුවා තැබීමෙන්, ඒ මනාව සිහිය පවත්වන ඒ ආරම්මණයේදී රාගය දුරු වෙනවා, ද්වේශය දුරු වෙනවා, විතර්ක උපච්ඡේදයට යනවා.





යම්කිසි කෙනෙකුට ආනාපානසතිය තුළ හිත තැබීමෙන්ම රාගය දුරු වෙනවා නම්, ව්‍යාපාදයට ඉඩ නැත්නම් ඒකත් ප්‍රමාණවත් ඒ කෙනාට විතර්ක උපච්ඡේදයත් එතනින්ම සිදුවෙන නිසා. ඒ වගේම ධාතු කර්මස්ථානය තුළ හිත තිබ්බහම එයාට රාගයට ඉඩ නැත්නම්, මෛත්‍රිය නැමති මුදු මොළොක් බව තුළ හිත පිහිටා සිටිනවා නම්, ආනාපානසතියෙන් ලැබෙන විතර්ක උපච්ඡේදයත් එතනදී සිද්ධ වෙනවා නම් ඒක එයාට ප්‍රමාණවත් ඒ කර්මස්ථානය වැඩීම පිණිස. එතකොට මේ ධර්මතා තුනෙනි මූලික ලෙසම භාවනාව ගැන කතා කළාට මේ කාරණා තුනෙන් කතා කරන්නේ ප්‍රධාන ලෙසම සමථය පැත්ත කොහොමද දියුණු කරන්නේ, සතිපට්ඨානයක අපි සිත පිහිටුවන්නේ කොහොමද කියන කාරණා ටික.





නමුත් අදියරවල් කීපයකට අපිට පෙන්නනවා රාගය දුරු කරගන්න, ද්වේශය දුරු කරගන්න, ඊට පස්සෙ විතර්ක සංසිඳව ගන්න, හිතට ඇතිවෙන නොයෙක් විතර්ක සංසිඳුවා ගන්න. ඒ කියන්නේ, සරල ලෙසම ඔබ ඔබේ ජීවිතයෙන් කතා කරනවා නම්, ඕනෑවට වැඩිය අපි ලෝකය කෙරෙහි තියෙන ඇලීම් සහ ගැටීම් කියන දෙක ඉස්සෙල්ලා සංසිඳුවා ගන්න, ඊට පස්සේ ඔබට පුළුවන් හිතේ ඇතිවෙන විතර්ක උපච්ඡේදය සිද්ධ කරගන්නට අවශ්‍ය කර්මස්ථානයක් වඩන්න. ඒකෙදී ආනාපානසතිය ප්‍රධානයි. ඒ නිසා, විතර්ක සංසිඳුවන්නට අවශ්‍ය නිසා ආනාපානසතිය වඩන්න.





මතු සම්බන්ධයි





පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 ලබාගැනීමට
https://drive.google.com/file/d/1PkZ1S0Q2NqUutqk1fkmy9Al1WSuH-sah/view?usp=sharing





සම්බොධි පක්ඛිය සුත්‍රය 4





== අනිත්‍ය සංඥාව කුමක් පිණිසද? ==





"අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය"- අනිත්‍ය සංඥාව වඩනවා අස්මිමානය දුරුකර ගැනීම සඳහා. 'අස්මිමානය' කියලා කියන්නේ 'වෙමි' යි කියන හැඟීම. 'වෙමි' කියන දේ යම්කිසි කෙනෙකුට තිබුණොත් තමයි 'වෙමි'යි කියන හැඟීම සමඟ ඇතිවෙන සියලු කෙලෙසුන්ගේ පැවැත්ම එයාට තියෙන්නේ. 'අස්මිමානය' කියන දෙයින් අපේ හැම තැනකම පැතිරී පවතින ආත්ම දෘෂ්ඨිය දක්වාම අද අපිව අරගෙන යනවා. හැබැයි අස්මිමානය දුරු කරන්නට වෙන්නේ අන්තිම තැනදී. අර්හත් මාර්ගයෙන් නේ අස්මිමානය දුරු වෙන්නේ. අස්මිමානය මත ඇති කරපු 'ආත්ම දෘෂ්ඨි' සංඛ්‍යාත දේ තමයි ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ අස්මිමානයේ තියෙන රළුම ටික.





එතකොට ඒ මට්ටමේ ටික අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට අවශ්‍යයි. අස්මිමානය කියන එක දුරු කරන්නට හේතු වෙනවා අනිත්‍ය සංඥාව. ඇයි එහෙම කිව්වේ? 'වෙමි' යි කියන හැඟීම පවතින්නේ නිත්‍ය සංඥාව මත. 'නිත්‍ය සංඥාව' කියලා කියන්නේ "ලෝකයෙහි පවතින බවට" අපිට ඇති සංකල්පනාව. එතකොට ඒ නිත්‍ය සංකල්පනාව පවතින්නේ කොහෙද? නිත්‍ය සංකල්පනාව පවතින්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටිකේ. ඒකේ ලක්ෂණය - ඔබට කලින් දැකපු දේ දැන් ආපහු දකින්න පුළුවන් කියලා ඔබට යම් තැනක් සිහිපත් කරලා එතනට යන්න පුළුවන්කම අද තියෙනවා. ඔබට දිගින් දිගට, දිගින් දිගට ඒ දැකපු අහපු දේවල් පිළිබඳව ඇති බවට කල්පනා කරන්න පුළුවන්. මේ තමයි නිත්‍ය බවේ ලක්ෂණය.





නිත්‍ය බවේ ලක්ෂණය නිසා ඔබට ඇතිවෙලා තියෙන දේ මොකක්ද? 'කලින් රූපය දැකපු "මම" මෙතන ඉන්නවා', ඒ වගේම 'කල්පනා කරපු තැනට යන "මම" මෙහි ඉන්නවා', ඒ වගේම 'කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් "මම" මේ පැත්තේ ජීවත් වෙනවා'. එහෙනම් ඒ ටික අපිට ඇති බවට ගෙනාපු එකෙන් පුද්ගලභාවය සහ අද අපේ ජීවිතය නිර්මාණය වෙලා තියෙනවා. නුවණක් අපිට පවත්වන්නට පුළුවන් නම් "නිරුද්ධ වුන දේ නිරුද්ධමයි" කියලා, හටගත්ත ධර්මය ඉතුරු නැතිව නැතිවෙලා ගියපු බවට අපිට පවත්වන්නට පුළුවන් නම්, අපිට යම් අවබෝධයක් නිසා ඒ දේවල් වලට නැඹුරු නොවනවා නම්, අන්න ඒ අවබෝධය ඇතිකර ගන්න පුළුවන් කම තියෙනවා.





ඒ කියන්නේ, ඇහැ සහ රූපය පිළිබඳව අපිට හොඳට නුවණයි නම්, කන සහ ශබ්ද පිළිබඳව අපිට හොඳට නුවණ පවතිනවා නම් පින්වතුනි අපිට මේ ටික හොඳටම ප්‍රමාණවත් ඒ ඒ ආයතනයන්ගේ ස්වභාවය තේරුම් ගැනීම තුල නිත්‍ය සංඥාව පවත්වන්නේ නැති වෙන්න. අපි නිත්‍ය සංඥාව පවත්වන්නෙම දැකපු දේ දැනගන්නකොට, ඒ දැනගන්න දේ අපි දැනගන්නේ 'දැකපු දේ තියෙනවා' කියලා. එතකොට ඒ 'දැකපු දේ තියෙනවා' නම් 'දැකපු කෙනා'ත් ඉන්නවා. 'අහපු දේ තියෙනවා' නම් 'අහපු කෙනා'ත් ඉන්නවා. 'විඳපු දේ තියෙනවා' නම් 'විඳපු කෙනාත්' ඉන්නවා. ඒකට කියනවා 'අස්මිමානය හා සමඟ යනවා' කියලා. මෙතන ප්‍රශ්නය වෙන්නේ දැනගැනීම නෙවෙයි.





දැනගැනීම කියන තැනින්ම ප්‍රශ්නය කියලා හිතන්න එපා. 'දැනගත්ත දේ පවතින දේයි' කියලා හිතන එකයි ප්‍රශ්නය. දැනගැනීම කියන එක ඇත්තටම විපාක ධර්මයක් විදියට හම්බවෙන දෙයක්. ඒ නිසා දැනගැනීමෙහි නෙවෙයි ගැටලුව තියෙන්නේ. 'දැනගත්ත දේ බාහිර පවතින දේ යි' කියලා නැවත බාහිර පැත්තට නැඹුරු වෙනකම තියෙනවා නම් අන්න ඒ නැඹුරු වෙනකම තමයි මෙතන තියෙන ගැටලුව. ඒ කියන්නේ, නිරුද්ධ වුන ධර්මය පිළිබඳව ඇති හැටියට කල්පනා කරන විපල්ලාසයක්, හිතේ පෙරලුණ සංඥාවක් තමයි අපිට පවතින්නේ. ඒ 'පවතින බව' තුළ සිද්ධවෙන දේ තමයි ආත්ම සංකල්පනාවක් ගොඩනැගෙනවා. ඇයි?





දැන් ඔබ ඉදිරිපසින් ඇති දේ ඔබට පෙනෙනවා, ඉදිරිපසින් ඇති දේ ඔබට පේනකොට 'ඒ දේ දකින "කෙනා" මේ පැත්තේ ඉන්නවා' කියලා තමාව නිර්මාණය කරගෙන, තමා ඉන්න බවට අරගෙන ඉවරයි. ඊට පස්සේ මේ ශබ්දය අහනකොට 'ආ ඒ රූප දැකපු "මම" තමයි දැන් මේ බණ අහන්නේ'. එතකොට ඒ තුළ තමන්ව නිර්මාණය කරගෙන ඉවරයි. ඊටපස්සේ 'ඒ අහපු "කෙනා" තමයි මේ විඳින්නේ' කියලා "විඳින කෙනා" නිර්මාණය කරගෙන ඉවරයි. දැකපු, අහපු, විඳපු "මම" කියන එක ඉතුරු වෙනවා. එතකොට ඒ ගතිය ඉතුරු වෙනවා කියන එකෙන් අදහස් කළේ ඒ ටික ඔක්කොම එකතු කර කර නැවත නැවත අපි ඇසුරු කරනවා. ආපහු ප්‍රතිචාර දක්වන්නේ ඒ ධර්මතා ටික එකතු කරගෙන.





එතකොට ඒ ආශ්‍රව ධර්මතා ටික, 'පුරුදු කරපු ධර්මතා ටික' නිසා තමයි ආත්ම සංකල්පනාවක් පවතින්නේ අපිට. ආත්ම සංකල්පනාව පවතින්න ප්‍රධානම හේතුව - හටගත්ත ධර්මය නිරුද්ධ වුන බවට නොදන්නාකම නිසා ඒ ධර්මය ඇති බවට ගන්න වැරදි සහගත සංකල්පනාව. අපිට ඒ වැරදි සහගත සංකල්පනාව දුරු කරගන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්න කියලා කියන්නේ. "අනිත්‍යයි" කියලා කියන්නේ, 'හටගත්ත දේ ඉතුරු නැතිව නැතිවුනා' කියන එක. ඒ නිසා තමයි, බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් බහුල ලෙස අහපු ප්‍රශ්නය තමයි, 'මහණෙනි, ඇස නිත්‍යද අනිත්‍යද?, රූපය නිත්‍යද අනිත්‍යද?, චක්ඛු විඤ්ඤාණය නිත්‍යද අනිත්‍යද? 'අනිච්චං භන්තේ' - 'ස්වාමීනී, අනිත්‍යයි'.





'අනිත්‍ය' කියන එක නිතර භාවිත වුනා. 'අනිත්‍ය' කියන එක නිතර ප්‍රගුණ වුනා. 'අනිත්‍ය' කියන එක නිතර භාවිත වුනේ ලොකු අර්ථයක් කියලා දෙන්නට අවශ්‍ය නිසා. නිවනට අවශ්‍ය ප්‍රධානම දේ තමයි අනිත්‍යානු දර්ශනය, අනිත්‍ය අනුව දැකීම. අනිත්‍ය දැක්කොත්, "අනිච්චසඤ්ඤිනො, භික්ඛවෙ භික්ඛුනො, අනත්තසඤ්ඤා සණ්ඨාති" - ඒ කෙනාට තමයි අනාත්ම සංඥාව පිහිටා සිටින්නේ. යම්කිසි කෙනෙක් අනිත්‍ය දැක්කොත්, අනිත්‍ය දකින කෙනාට තමයි අනාත්ම සංඥාව එන්නේ. ඒ කියන්නේ, පුද්ගලයෙකුගේ පැවැත්මක් මෙතන නෑනේ.'හටගත්ත දේ ඉතුරු නැතිව නිරුද්ධ නම්, ඒ දේ සමඟ තමන් ඉන්නවා කියන්න බැහැනේ'.





ඒ හේතු ඵල ධර්මයන්ගේ නිරෝධය දකිනවා. නාමරූපයන්ගේ නිරෝධය දකිනවා. ඇහැ රූප ඉතුරු නැතිව නිරුද්ධ වුන බව දකිනවා. ඇහැ රූප දෙක ඉතුරු නැතිව නිරුද්ධ වුන බව දකින නිසාම ඒ දේවල් කෙරෙහි නැවත නැඹුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අස්මිමානය නැති කරන්නට යන කෙනෙකු අනිත්‍ය සංඥාව වඩනවා. අනිත්‍ය සංඥාව වඩන ඒ කෙනාට මොකද වෙන්නේ? අනාත්මය පිහිටා සිටිනවා. ඒ කියන්නේ, අනාත්මය නොවැඩුවත් අනිත්‍ය දකිනවා නම් එයාට පෙනෙන්නේ 'ආත්ම වශයෙන් ගන්න තැනක් නැහැ' කියන අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව එයාට වැඩුණොත් අනාත්ම සංඥාව වැඩෙන කෙනා, 'අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති' - අස්මිමානය සමුග්ඝාතනය කරනවා. ඇයි?





එයාට ඒ ඒ ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙනවා හැම ආයතනයක් පාසාම. හැම ආයතනයකින්ම අස්මිමානය සමුග්ඝාතය සිද්ධ කරනකොට අන්න ඒ කෙනාට දැන් පවත්වන්නට ක්ශේස්ත්‍රයක් නැහැ, බිමක් නැහැ. ඇහැ පැත්තෙන් ගත්ත අරමුණු ඉතුරු නැතිව නිරුද්ධයි කියලා දකිනවා. කන පැත්තෙන් ආපු අරමුණු ඉතුරු නැතිව නිරුද්ධයි කියලා දකිනවා. ඇහැ ඉතුරු නැතිව නැති වුනා, කන ඉතුරු නැතිව නැති වුනා කියලා දකිනවා. දකින ඒ කෙනාට, අපි කියනවා, ඇහැ නිරුද්ධයි කියලා. ඇයි? ඇහේ නිරෝධය තමයි දකින්නේ. 'ඇහැ හටගෙන නිරුද්ධ වුනා' කියලා.





අපි කලින් කිව්වානේ ඒ ඒ වෙලාවට ඒ ඒ කෙනාට (විපාක ධර්මතා වලට) පුළුවන් තමන්ගේ දේ කරන්න විතරයි කියලා. එතකොට රූපයට පුළුවන් ඇහැට පතිත වෙන්න. ඇහැට පුළුවන් රූපය පතිත කරගැනීම කරන්න. ඊට පස්සේ චක්ඛු විඤ්ඤාණයේ හැකියාව තිබුණේ අර ඇස පිළිබඳව යොමුවෙලා රූපය පිළිබඳව දැනගැනීමට. එතකොට මේ එක එක්කෙනා එක එක්කෙනාගෙ වැඩේට වැය වෙලා. ඒ ටිකේ එකතුව ගෙනැල්ලා දෙන්න විතරයි මනෝ ධාතු සිතට පුළුවන් වුනේ. මනෝ විඤ්ඤාණ ධාතුවට පුළුවන් වුනේ මනෝ ධාතු සිතෙන් ඒ ඔසවලා දීපු දේ දැනගන්න එක කරන්න විතරයි.





විපාක මනෝ ධාතු, විපාක මනෝ විඤ්ඤාණ ධාතු ආදී මේ තමන්ගේ වැඩේ බලාගත්ත ටික ඉවර වෙනකොටම, ටිකක් අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන කෙනෙක් විදියට 'කර්ම මනෝ විඤ්ඤාණ ධාතුව' ඇතිවෙනවා. ඒ කෙනා, අර හටගෙන නිරුද්ධ වුන ඔක්කොම ස්කන්ධ ටික 'ඇති බවට' නැවත ඇසුරු කරනවා. එතකොට, අන්න ඒ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන, නැතිනම්, අනිත් ඒවා ඔක්කොම ඇති බවට කල්පනා කරන ඒ වැරදි සහගත සංකල්පනාව යම් කෙනෙක් දුරු කර ගත්තොත් එයා අස්මිමානය සමුග්ඝාතනය කරනවා. ඒ වැරදි සංකල්පනාව දුරු කරගන්නේ නිකන්ම නෙවෙයි, අර නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියලා පෙන්නලා තමයි ඒක ඇතිකර ගන්නේ.





එතකොට නිරුද්ධ වෙච්ච ඇහැ (ඒ කියන්නේ, එයා ඇහැ නැති තැනකනේ මෙච්චර කල් ඇහැ ඇසුරු කළේ) නැති වුනා කියලා දන්නවා. රූපය නැති වුනා කියලා දන්නවා. චක්ඛු විඤ්ඤාණය නැති වුනා කියලා එයා දන්නවා මේ දේවල්වල අනිත්‍ය දැකීමෙන්. එතකොට මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව අනිත්‍යයි කියන්න එයා දන්නවා. 'අනිත්‍යයි' කියන්නේ හටගෙන නැතිවෙන ධර්මතාවයක් කියලා එයා දන්නවා. අන්න ඒ හේතුඵල දහම දකින කෙනා, (එක එකකට හේතුවක් වෙමින්, ඒ ඒ ඵලයන් නැතිවෙලා යෑමේ හේතුඵල දහම දකින කෙනාට) 'ඇහැ' හම්බ වෙන්නේ නැහැ. 'රූපය' හම්බ වෙන්නේ නැහැ. 'චක්ඛු විඤ්ඤාණය' හම්බ වෙන්නේ නැහැ. 'මනෝ ධාතුව' හම්බ වෙන්නේ නැහැ. 'මනෝ විඤ්ඤාණ ධාතුව' හම්බ වෙන්නේ නැහැ.





හම්බ වෙන්නේ මොකක්ද? ඒ සියලු ධර්මයන්ගේ නිරෝධය පමණයි. එතකොට ඒ සියලු ධර්මයන්ගේ නිරෝධය හම්බවෙන කෙනාට ලෝකයේ කවුරු ගැන හිතලද ශෝක වෙන්න පුළුවන්? දැන් එයාට ඇසුරු කරන්න අර ආත්ම සංඥාවෙන් ගත්ත 'දරුවෝ, අම්මා, තාත්තා,…' කියලා දේවල් ඇත්තේ නෑනේ. එයාට ශෝක වෙන්න අරමුණු නැහැ. 'මට මේ දේවල් තියෙනවා' කියලා සතුටු වෙන්න, එයාට පුද්ගල බව පනවන්න ඇහැක් නැහැ, පුද්ගල බව පනවන්න කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයක් නැහැ, මනසක් නැහැ. ඒකට කියනවා සළායතන නිරෝධයි කියලා.





සළායතන නිරෝධයි කියලා කියන්නේ, 'දැනගන්නත් බැහැ' කියනවා නෙවෙයි. 'දැනගැනීම' කියන දේ සිද්ධ වෙලා. දැනගත්ත දේ එළියට (විපාක ධර්මයන් පැත්තට) දාලා ඔක්කොම එකට ගැට ගහලා අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන කම ඇත්තේ නැහැ. ඒ නිසා, ඒ නුවණ පවත්වලා තියෙනවා ආයතන දෙකකින්. එතන තියෙනවා 'මනායතනය' හා 'ධම්මායතනය' කියන ආයතන දෙක. එකම විඤ්ඤාණ ධාතුවයි, මනෝ විඤ්ඤාණ ධාතුව පමණයි, ඒ නුවණ පැවැත්මට අවශ්‍යවෙන නිසා. එයා සළායතන නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. ඒකයි කිව්වේ අනිත්‍ය දැක්කොත් එයා අනාත්මය දැකලා, ඒ අනාත්මය දැකීම තුළ එයා අස්මිමානය දුරු කිරීමට යනවා.





'අස්මිමානය දුරු කළා' කියලා කියන්නේ මොකක්ද? 'දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති' - එයා දිටු දැමියෙහිම නිවන අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට දිටු දැමියෙහිම නිවන අවබෝධ කරගත්ත කෙනෙක් නම්, ඒක තමයි කළ යුතුම දේ වෙලා තියෙන්නේ. 'එයා කළ යුත්ත කළා, ආයේ මත්තෙහි කළ යුත්තක් එයාට ඇත්තේ නැහැ'. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව තුළ ඔබ හිත මෙහෙයවනකොට, ප්‍රතිපදාව තුළ ඔබ මනස අරගෙන යනකොට මේ කතා කරපු භාවනාව සම්බන්ධයෙන්, මේ කතා කරපු විදියටමද කරන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.





කලින් කියපු අසුභ භාවනාවම, අපි ඒ විදියටම කළා හෝ නොකළා කියන දේ නෙවෙයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද, සමථ පූර්වාංගම විපස්සනාව වඩනවා කෙනෙක්, විපස්සනා පූර්වාංගමව සමථය වඩනවා තව කෙනෙක් ආදී වශයෙන් චරිත නානත්වයන් ලෝකේ තියෙනවා. කෙනෙකුට පුළුවන් සමථය වඩන්නේ නැතුවම විදර්ශනාව පැත්තටම හිත බර කරලා හිත දියුණු කරගෙන යන්න. එතකොට අනිත්‍ය සංඥාව කියන දේ ප්‍රගුණ කරන්නට යන ඒ කෙනාටත් හැබැයි ඉස්සෙල්ලාම වැඩෙන්නේ මනසිකාර ප්‍රතිබද්ධව, මනසිකාරය තුළම. ඒ කියන්නේ, කුසල නිශ්‍රිත මනසිකාරය තුළ එයාගේ රාගය යටපත් වෙලා, ද්වේශය යටපත් වෙලා, ඊට පස්සේ ඒ සංඥාව තුළම විතර්ක උපච්ඡේදය වෙලා තමයි නිවනට එයා එන්නේ.





ඒ කියන්නේ විදර්ශනාව වැඩුවත් රාගාදී විතර්ක සංසිඳිලාම තමයි එයා නිවනට එන්නේ. ඒ කියන්නේ, එයා විදර්ශනාවෙන් පටන් ගත්තත් සමථයේ අර කියපු ලක්ෂණ ටිකට පත්වෙලා තමයි නිවනට ආවේ. සමථය වඩාගෙන අර පිළිවෙලට ගියත් එයා එන්නේ අර විදියටම විතර්ක උපච්ඡේදය කරලා, අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව වඩලම තමයි නිවන කරා එන්නේ. ඒ කොහෙන් ගියත්, කොයි චරිතයෙන් ධර්මය වැඩීම පටන් ගත්තත් ඔය කියන කාරණාව තුළ ඒකරාශී වීම සිද්ධ වෙනවා. එතකොට, 'අවබෝධ ගොඩක් නෙවෙයි', එකම නිවන අවබෝධ කිරීම තමයි සිද්ධ වෙන්නේ.





මේ කියන කාරණා ටික තුළ ඔබට අවබෝධයක් ලබාගන්න පුළුවන් කම තියෙනවා. අපි බොහොම ගැඹුරු කාරණා ටිකක් කතා කළත් ඒ කාරණා ටික කතා කරන්නේ මොන පුද්ගලයෙකුටද? කල්‍යාණ මිත්‍ර සහායතාවය ඉතාම වැදගත් දෙයක්. සීලය කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම අපිට මිත්‍යා දෘෂ්ඨි කතාවන්ගෙන්, දෙතිස් කතා ආදියෙන් තොරව දැහැමි කතාවක් නිතර නිතර අහන්න ලැබීම, නිතර නිතර සාකච්ඡා කරන්න ලැබීම, නිකන් ඇහි ඇහී තිබුණත් ඒක හොඳ ගතියක්, ඒක අවශ්‍ය දෙයක්. ඒ වගේම ආරද්ධ වීර්‍යය - පටන් ගත් වීර්‍යය තියෙනවා. එයා කෙලෙස් හිතට එන්න දෙන්නේ නැහැ, ඒ කෙලෙස් ධර්මයන් හිතට එන එක වළක්වන්න හැමවෙලාවෙම උත්සාහවත් වෙනවා. ඒ වගේම විදර්ශනා සහගත උදයත්ථගාමිනී ප්‍රඥාවෙන් එයා යුක්තයි. උදය-වැය දර්ශනය එයා ළඟ තියෙනවා. අන්න ඒ තියෙන කෙනෙක් තමයි අර විදියට ප්‍රතිපදාව වඩන්නේ.





ඒ විදියට ප්‍රතිපදාව වඩන කෙනෙක් විසින් පමණමයි ධර්මය අවබෝධ කරන්නේ. එහෙම නැතිනම් ධර්මය අවබෝධ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. චරිත නානත්වය අනුව එක්ෂණිකව අවබෝධ කළත් උදයත්ථගාමිනී ප්‍රඥාව අනුව ගිහිල්ලා තමයි නිවන් දකින්නේ. එතකොට ඒ තුළ, ඊට කලින් එයා සීලයක පිහිටීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඒ කියන්නේ, ශික්ෂා පද විදියට කිය කියා සමාදන් නොවෙන්නත් පුළුවන්. නමුත් එයා ඒ නුවණ තුළ සංවරයට පත්වීම එක මොහොතක හරි සිද්ධවෙලා තමයි නිවන් දකින්නේ. ඒ කියන්නේ, 'එක මොහොතක අර්හත්වයට පත්වුනා' කිව්වත් එයා සෝවාන් වෙලා, සකෘදාගාමී වෙලා, අනාගාමී වෙලාමයි අර්හත්වයට පත්වෙන්නේ.





එක පාර, සෝවාන් ඵලය, සකෘදාගාමී බව, අනාගාමී බව මගහැරලා රහත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ඒ ආර්ය භූමියට, සෝවාන් මාර්ගයට පත්වෙනවා කියන එකට අවශ්‍ය සත්පුරුෂ බව, සීල ප්‍රතිපදාව ආදියත් එක්ෂණිකව වුනත් එයාගේ හිතේ සම්පූර්ණ වෙලා තමයි සෝවාන් මාර්ගය උපදින්නේ. සෝවාන් මාර්ගයට අනතුරුව තමයි සෝවාන් ඵලය. ඊට අනතුරුව තමයි සකෘදාගාමී ආදී වශයෙන් ඉතුරු මාර්ග ඵල ටිකත්. අපි එකපාර රහත් වුනා කියලා කියනවා. හැබැයි රහත් වුනත් මේ ධර්මතා ටික පිළිවෙලින් ගිහිල්ලා තමයි ඒ අර්හත්වය කියන දේ ලබලා තියෙන්නේ. 'එහෙනම් මේ අතීතයේ හිටපු අයත් සිල් රැකලාද නිවන් දැක්කේ' කියලා සමහර වෙලාවට මාර්ග ඵල ලැබූ තීක්ෂණ නුවණින් යුත් උත්තමයන් වහන්සේලාගේ චරිත අරගෙන කෙනෙක් තර්ක කරනවා, හැබැයි ඒක අහන්න නොසුදුසු දෙයක්.





මොකද, මේ විදියේ අනුපූර්ව ක්‍රමයකටම තමයි නිවන් ප්‍රතිපදාව තියෙන්නේ. කෙනෙකුට ඒ ධර්මයන් පිරීමට ගිහිල්ලා තියෙනවා, කෙනෙකුට පිරීමට ගිහිල්ලා නැති නිසා පුරවන්න තියෙනවා, හිත වඩන්න තියෙනවා. ඒක අපි මීට පෙර දවසකත් සිහිපත් කළා, හරියට 'පොකුණක් ඇතුලේ තියෙන නෙළුම් පොහොට්ටුවක් පොකුණෙන් උඩට මතුවෙලා පිපෙන්න යනවා වගේ' කියලා. ඒ කියන්නේ, වතුරේ තියෙන නෙළුම් පොහොට්ටුවක් වතුරෙන් උඩට මතුවෙලා තියෙනකොට ඉර එළිය වැටීමෙන්ම ඒ නෙළුම් මල පිපීමට යනවා. හැබැයි වතුර ඇතුලේ තියෙන පොහොට්ටුවකුයි වතුරෙන් උඩට ඇවිත් තියෙන පොහොට්ටුවයි දෙකම පොහොට්ටු නම් තමයි, හැබැයි පොහොට්ටු වුනාට දෙකේ මුහුකුරා ගියපු බව වෙනස්.





වතුරේ යට තියෙන පොහොට්ටුව එක පාරට පිපෙනවා කියලා කියන්න බැහැනේ, ඒක තව මුහුකුරන්න තියෙනවා. ඒ වගේ, ප්‍රඥා ඉන්ද්‍රිය වුනත් මුහුකුරන්න අපිට බොහෝ දෙයක් කරන්නට තියෙනවා. හේතුව, අනන්ත සසරක ඉඳලා පුරුදු කරපු ආශ්‍රව තියෙනවා. වැරදියි දේකට පුරුදු කරපු හිත ගලවලා නිවැරැදි දේකට පුරුදු කරනවා කියන එක එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකත් හරි අපහසු දෙයක්. ඒ නිසා, නිවන් දකිනවා කියන එක කරන්න බැරි දෙයක් නෙවෙයි, කාටත් කරන්න පුළුවන් දෙයක්. හැබැයි උත්සාහය සහ වීර්‍යය අපිට අවශ්‍ය වෙනවා. ඒ උත්සාහයට සහ වීර්‍යයට අවශ්‍ය දේවල් ටික තමයි අපි මුලින් කතා කළේ.





ඒ ධර්මතා ටික නැවත නැවත ඇසුරු කරන්න. සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ ඉඳලා කතා කරපු ධර්මතා ටිකට පුළුවන් තරම් අප්‍රමාදීව උත්සාහවත් වෙන්න. ඒ ටිකට උත්සාහවත්වෙන ගමන් අර විදියට ප්‍රතිපදාවද තමන්ගේ ජීවිතයේ එදිනෙදා භාවිතයට ගන්න. භාවිතයට ගන්නකොට වේගයෙන් කෙලෙසුන් සහ ආශ්‍රව ධර්මයන් ගෙවීමට යනවා. ඒක තමන්ටම අත්විඳිය හැකි මට්ටමෙන් තමන්ටම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි විවිධ මිත්‍යා මතවලට, මිත්‍යා දෘෂ්ඨි වලට එල්ඹිලා 'මම සෝවාන්, සකෘදාගාමී…' ආදී වශයෙන් හිතන් ඉන්නට අවශ්‍ය නැහැ. ඇත්තටම ඒ තත්ත්වය තමා තුළ අත්දකින්නට පුළුවන්, උපදවාගන්න පුළුවන් තමන්ටම මේ කියන ධර්මය ඇසුරු කිරීම තුළින්. ඒ නිසා කවුරුත් ඒ සත්පුරුෂ ගුණ ධර්මයන් තමන් තුළ උපදවා ගන්නට කියලා හැමෝටම කල්‍යාණ මිත්‍ර බාවයෙන් සිහිපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි!





දේශනාව නිමි





පූජ්‍යපාද කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් 12.05.2020 දින සම්බොධි පක්ඛිය සූත්‍රය ඇසුරෙන් සිදු කළ ධර්ම දේශනාව ඇසුරෙන් පිටපත් කිරීමකි.





දේශනාවේ mp3 ලබාගැනීමට
https://drive.google.com/file/d/1PkZ1S0Q2NqUutqk1fkmy9Al1WSuH-sah/view?usp=sharing


Comments