දුර්ලභ කරුණු පහක්…


"භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"





තේරුම: පින්වත් මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි.





මෙය බුදු රජාණන්වහන්සේ විසින් දිනපතාම කරන අනුශාසනයකි.





  1. බුද්ධොත්පාදය දුර්ලභය -




බුදු බව ලැබිය හැක්කේ අඹුදරුවන් හා ධනයද ශරීරාවයවයන්ද ජීවිතයද පරිත්‍යාග කරමින් පාරමිතා පුරන කෙනෙකුන්ටය. එබඳු පුද්ගලයෝ ලෝකයේ සුලභ නොවන අතර ලොව පහල වීමද අතිශයින් දුර්ලභය.





  1. මිනිසත් බව ලැබීම දුර්ලභය -




අපාය යනු පින් කිරීමට ඉඩක් තබා පින් කිරීම පිළිබඳ නුවණක් හෝ පහළ නොවන ස්ථානයකි. සත්ත්වයෙක් වරක් එහි ඉපදුනහොත් එහිදීද පව්කම් කොට නැවත නැවතත් එහිම උපදින්නේය. නැවත මිනිසත් බව ලැබ ගන්නේ ඉතාම දීර්ඝ කාලයකින්ය.





  1. ක්ෂණ සම්පත්තිය දුර්ලභය




සත්ත්වයන්ට පින් කිරීමට සර්වාකාරයෙන්ම අවස්ථාව නොලැබෙන්නා වූද පින් කිරීමට දුෂ්කර වූද කල් අටක් ඇත්තේය. එම කල් අටනම්;





නරකයට වැටී සිටින කාලයතිරිසන්ව සිටින කාලයප්‍රේතව සිටින කාලයසිත මිස කය පමණක් ඇති අසංඥ භවයට පැමිණ සිටින කාලයබුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් නොපැමිණෙන ප්‍රත්‍යන්ත ( පිටිසර ) ප්‍රදේශවල ඉපිද සිටින කාලයමිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටින කාලයහොඳ නරක තෙරුම් ගත නොහැකි මෝඩයෙකු වී සිටින කාලයඅබුද්ධෝත්පාද කාලය





මෙම දුෂ්කර වූ අවස්ථා අටෙන් තොරවූ අවස්ථාව හෙවත් ක්ෂණසම්පත්තිය ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.





  1. පැවිදි බව දුර්ලභය




බුදු සස්නේ පැවිද්ද ලද හැක්කේ බුද්ධොත්පාදය, මිනිසත්බව, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුනම ලද තැනැත්තාටය. එම තුනම ලද ද පැවිදි වීමට සිත නැමෙන්නේ ඉතාම ටික දෙනෙකුටය.





  1. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය




තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධොත්පාද කාලයක මිස අන් කලෙක අසන්නට නොලැබේ. දුර්ලභ වූ බුද්ධොත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නොලැබේ. ලදත් අසන්නෝ ඉතා අල්පය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතාම ටික දෙනෙකි.





මේ අනුව බලන කල අප ලද මේ වටිනා දුර්ලභ අවස්ථාවෙන් නොපමාව ප්‍රයෝජන ගත යුතුය.





(උ. ගැ. - බෞද්ධයාගේ අත්පොත (පි. 210) - රේරුකානේ චන්දවිමල මහා නා හිමි.


Comments