ඉතා පැරණි සිංහල බණ කතා

මෙසේ අසන්නට ලැබේ. සිංහල ද්වීපයේ අනුරාධපුරයෙහි තිස්ස නමැති සන්නාලියෙක් ඇඳුම් මැහීමේ කර්මාන්තයෙන් ජීවත් වෙයි. හෙතෙම තිසරණගතව පන්සිල් රකින්නෙකි. බුදු සස්නෙහි පැහැදුණු ශ්‍රද්ධා ඇත්තෙකි. තමාගේ ශරීරයේ දැලි නූලක් ගසා බෙදා වෙන් කොට ‘මාගේ සිරුරෙහි අඩක් මවුපියන්ට වේවා, අඩක් මට වේවා’ යි කියා මැහීම කරයි. ඉර උදා වූ තැන් පටන් මධ්‍යාහ්න කාලය දක්වා වැඩ කොට යමක් ලබයි නම් එය භික්ෂු සංඝයාට දී මධ්‍යාහ්නයේ පටන් ඉර අවරවීම දක්වා යමක් ලබයි නම් එයින් මවුපියන් පෝෂණය කරයි.
හෙතෙම දිනපතා දන් දෙන්නේ ඇතැම් විට දස නමකට ද ඇතැම් විට විසි නමකට, තිස් නමකට, හතළිස් නමකට, පනස් නමකට, සියක් නමකට ද ඇතැම් විට ඊටත් වැඩි ගණනකට ද දන් දෙයි, සිවුරු ආදියත් දෙයි. මෙසේ ජීවත් වෙන ඔහුට මවුපියෝ මෙසේ කියති.
(1) * ‘ඔබට විවාහයක් කර දෙන්නෙමු. එය ගිහි මිනිසුන්ගේ ධර්මතාවයකි. ඈ ඔබගේ ශරීරය පිළිදැගුම් කිරීම සඳහා වන්නීය’ තිස්ස තෙමේ මෙසේ කියයි. (2) මෑලා ධාර්මිකව ජීවත් වන්නෙකුට අන්තරාය කරන්නියෝය. මගේ සිත දන් දීමෙහි හා සිල් රැකීමෙහි ඇලුණි. මට පවුල්වීමෙන් වැඩක් නැත.
(3) මේ ස්ත්‍රිය නම් හූලක් වැනිය, ඇලෙන ලාටුවක් වැනිය, මඩ ගොහොරුවක් වැනිය, (ශරීරයේ) ගෙඩියක් වැනිය, රෝගයක් වැනිය, දක්ෂ පුද්ගලයා අන්තරායකර වූ ඇය දුරු කරයි. (4) ඇය මිනිසුන් අන්ධ කිරීමක් යයි ද ඇස් නැති කිරීමක් යයි ද අඥානයන් කිරීමක් යයි ද කියත්. ඇය නිසා ප්‍රඥාව නැති වේ, (5) උගත් දෙය විනාශ වේ.
ශීලය ද නැසේ, හිරි ඔතප් වැනසෙති, මිත්‍ර ධර්මය නොපිහිටයි (6) ධ්‍යානලාභීව අභිඥාපස ලැබ අහසින් යෑමෙහි සමර්ථ වූ මහේසාක්‍යයෝ අල්පේසාක්‍යයෝ වෙති. (7) කාමයන්හි දොස් දක්නා ඔවුහු ද අන්‍යායෝ ද, ජීවත්වෙනු කැමැත්තෙන් විෂ වර්ගයක්දුරු කරන්නා සේ, කාමයන් දුරු කළහ. (8) ඇඳුම් පැලදුම් ආහාරපාන විලවුන් ආදියෙහි ස්ත්‍රීන්ගේ තෘප්තියක් නැත. (9) ඉදින් මට භාර්යාවක් වේ නම් දරුවෝ ද උපදින්නා හ.
අඹු දරුවන් නිසා ප්‍රමාද වන්නහුට කුසල් කිරීමට අවකාශ නැත. (10) ඉදින් කුසල් කිරීම අත්හැර කාමයන්හි ප්‍රමාද වන්නේ නම් ඒ අඥාන පුද්ගලයා සද්ධර්මය හැර දමා පසුව තැවෙන්නේය.
මෙකී දේ අසා තිස්සගේ මවුපියවරු නිශ්ශබ්ද වූහ. හෙතෙම බිරියක් පාවා ගැනීම අත්හැර බ්‍රහ්මචර්යාවෙහි හැසුරුණි. සිල්වත් වූ ඔහුගේ කීර්තිය ‘අනුරාධපුරයේ තිස්ස තෙමේ ශ්‍රේෂ්ඨ සිල්වතෙකි’ ශරීරය දෙකට බෙදාගෙන මවුපියන් පුදන්නෙකැ’ යි පැතිර ගියේ ය.
එකල රහත් තෙරුන් තුසිත දෙව්ලොවට ගොස් ප්‍රමුඛ විමානයන් බලා දෙවියන්ගෙන් විචාල විට ‘මේ විමන් දෙක සද්ධාතිස්ස රජු සඳහාත් තිස්ස සන්නාලිය සඳහාත් මැවී තිබෙත්’ යයි කීහ. ඒ තෙරවරු අනුරාධපුරයට ඇවිත් ඒ කාරණය මිනිසුන්ට කීහ. මිනිසුන් සද්ධාතිස්ස රජුට දැන්නූ විට රජතුමා ඒ සන්නාලිය කැඳවා ‘තෝ මෙසේ මෙසේ කෙරෙහිදැ’යි ඇසී. ‘එසේය දේවයන් වහන්සැ’ යි කී විට ‘මට පින් කොටසක් දෙව‘ යි කීහ.
‘දේවයන් වහන්ස, ඔබ වහන්සේට ද අන් හැම සත්ත්වයන්ට ද පින් දෙමි’ යි හෙතෙම කීය. රජතුමා ඔහුට හැම උපකරණයන්ගෙන් යුත් ගෙයක් සිය මාලිගය අසළින් දී වස්ත්‍ර සිවු පණස් දහසක් ද දහසක් අය උපදනා ගමක් ද දුණි. හෙතෙම මහාදානපතියෙක් විය. එතැන් පටන් භික්ෂූන්ට සිවුරු ආදිය දුර්ලභ නොවීය.
ඔහුගේ මරණ කාලයේදී බණ අසමින් සිටියදී මොනවාදෝ කී බැවින් ‘මේ තෙමේ ප්‍රලාප දොඩන්නේය’ යි ඇතැම් කෙනෙක් කීය. එවිට තිස්ස තෙමේ (16) මම ප්‍රලාප නොදොඩමි; දේවතාවන් ඇවිත් මට ඉක්මන් කරන්ට කියන බැවින් මම ඔවුන්ට බණ අසනකල් බලාපොරොත්තු විය යුතුය යි කීවෙමි. (17) තාම්‍රපර්ණි ද්වීපයෙහි යම් පමණ බුද්ධ ශ්‍රාවකයෝ වෙසෙත් නම් ඒ සියල්ලන්ට තුන් වරක් සිවුරු දුනිමි. (18) දහස් වරක් පහන් දහස බැගින් දැල්ලුවෙමි. නොකල්හී ධර්ම දේශනා දහසක් කෙරෙව්වෙමි. (19) මී පැණි ගිතෙල් තලතෙල් පැණි හා ඖෂධ වර්ග නොයෙක් විට දෙන ලදී.
ඒ නිසා මම කුමකට විලාප කියම් ද ? (20) බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධරත්නයන් සම්බන්ධ නොයෙක් කුසල් කෙළෙමි. (21) ශාක්‍ය සිංහයන්ගේ සස්නෙහි නොයෙක් කුසල් කොට ප්‍රීති සොම්නස් ඇත්තේ වෙමි; මට තැතිගැනීමක් නැතැ යි කීය. (22) දෙව්ලොවින් ආ උතුම් රථයෝ දැන් මා ඉදිරියෙහි වෙති. ඒ දෙව්ලෝවලින් කුමක් යහපත් ද ? (23) රහතුන් වසන නගරයක් වැනි වූ තුසිත දෙව්ලොවෙහි නිතර ධර්ම කථා පැවැත්වෙයි.
ඒ ඉතා යහපත් දෙව් ලොවැ අජිත නමින් පෙර විසූ මෙතේ බෝසත් ද වෙයි. (24) මෙසේ සන්නාලි තෙමේ බුදු සස්නෙහි බොහෝ කුසල් කොට තුසිත දෙව් ලොවින් ආ රථයෙහි නැගී අහසින් ගියේය. (27) මෙසේ යමෙක් අකුසල් දුරුකොට හැමකල්හි කුසල් කෙරේ නම් අපිරිමිත සැප ලබා සුවසේ ලොව්තුªªරා සැපද ලබන්නේය.
- මේ ඉලක්කම් පාළි පොතේ ගාථාවල අංකයි.
(සිහළ වත්ථුප්‍රකරණයේ සිංහලානුවාදය)
(පදානුගත අනුවාදයක් නොවේ)
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.
දෙව් ලොව ගිය තිස්ස සන්නාලියා
මීට බොහෝ කලකට පෙර අනුරාධපුරයේ ඇඳුම් මැසීම ජීවනෝපාය කරගත් තරුණයෙක් සිටියේ ය. ඔහු තිසරණයේ පිහිටමින් පන්සිල් ආරක්ෂා කරන උපාසකයෙකි.
බුදුසසුන කෙරෙහි පැහැදුණු, ශ්‍රද්ධාවන්ත මේ උපාසක දිනපතා උපයන දේ කොටස් දෙකකට බෙදාගෙන වියදම් කරයි. ඉර උදා වූ වෙලාවේ සිට මධ්‍යාහ්නය දක්වා ඇඳුම් මසා යම් මුදලක් උපයයි ද, එය භික්ෂුන් වහන්සේගේ පරිහරණය සඳහා වෙන් කරන්නේ ය. මධ්‍යහ්නයේ සිට ඉර අවරට යන තෙක් යමක් උපයන්නේ ද, එයින් මව්පියන් පෝෂණය කරන්නේ ය.
ඔහු දිනපතා දස නමකට, විසි නමකට, තිස් නමකට, හතළිස් නමකට, පනස් නමකට හෝ සියක් නමකට ද නැතිනම් ඊට වැඩි භික්ෂූ පිරිසකට ද ආදී ලෙස මහත් වූ ශ්‍රද්ධාවෙන් දන් පූජා කරන්නේ ය. සිවුරු පිරිකර ද වෙනත් අවශ්‍ය දෑ ද සොයා බලා පූජා කරන්නේ ය.
දිනක් මවුපිය දෙදෙනා තිස්සට කතා කළේ ය.
”පුතේ! ඔබ අප නිසා බොහෝ සේ වෙහෙස මහන්සි වෙයි. නිතරම අප ගැන සොයා බලයි. එහෙත් අප නැතිදාක ඔබට පිහිටට ඉන්නේ කවුරුන් ද? ඒ නිසා සුදුසු විවාහයක් කර ගන්න. පුතුනි, එය ගිහි ගෙදර වසන අපගේ යුතුකමක්. ඇය ඔබට යහපත් බිරිඳක් වේවි.”
”මෑණියනි, මම වගේ ධාර්මිකව ජීවත් වෙන්නෙකුට බොහෝ අය කැමැති නො වෙති. මගේ සිත දන් දීමෙහි කැමැති ය. සිල් රැකීමට කැමැති ය. ස්ත්‍රිය නම් පුරුෂයෙකුට උලක් වැනි ය. ඇලෙන ලාටුවක් වැනි ය. මඩ ගොහොරුවක් සේ ය. ශරීරයේ හටගත් ගෙඩියක් සේ ය. රෝගයක් වැනි ය. ඇය නිසා මාගේ ප්‍රඥාාව අහිමි වෙයි. උගත් දේ විනාශ වෙයි. ශීලය ද නැසේ. හිරිඔතප් වැනසෙයි. ධ්‍යානලාභීව අහසින් ගමන් කළවුන් ද ස්ත්‍රිය නිසා අල්පේශාක්‍ය වූ බව මම අසා ඇත්තෙමි. ඇඳුම් පැළඳුම්, ආහාරපාන, විලවුන් ආදියෙහි ස්ත්‍රින්ගේ තෘප්තියක් නැත. මෑණියනි, කාමයේ ආදීනව දකින්නෝ විෂ වර්ගයක් දුරු කරන්නා සේ ස්ත්‍රිය පිටු දකින්නේ ය. මටත් භාර්යාවක් සිටියහොත් දරුවන් උපදී. අඹුදරුවන් නිසා ප්‍රමාද වීමට සිදුවෙයි. කුසල් රැස් කිරීමට අවස්ථාව අහිමි වෙයි.
ඉතින් කුසල් රැස් කිරීම අත්හැර, කාමයන්හි ප්‍රමාද වුවහොත් ඒ අඥාන පුද්ගලයාට බොහෝ සේ පසුතැවීමට සිදුවෙනු ඇත. ඔහු මෙලොවත්, පරලොවත් ශෝක කරති” යි මවුපියන්ට පහදා දුන්නේ ය. තිස්ස බ‍්‍රහ්මචාරීව, සිල්වත්ව ජීවත් විය.
එකල වැඩසිටි රහත් භික්ෂූන් වහන්සේ නමක් නිතර දෙව්ලොව සංචාරය කළ සේක. දිනක් සුන්දර වූ දිව්‍ය විමාන දෙකක් දැක උන්වහන්සේ දෙව් පුත්‍රයෙකුගෙන් මෙසේ ඇසූ සේක.
”දේවපුත්‍රය, දිව්‍ය ලොව පහළ වී ඇති මේ දිව්‍ය විමාන දෙක ඉතා සුන්දර යි. සිත්කළු යි. ඒත් මේ විමානවල අයිතිකරුවෙකු සිටින බවක් නො පෙනේ. දේවේන්ද්‍රය, මේ විමාන කාට අයත් ඒවා ද?”
”ස්වාමිනි, මේ විමාන දෙකේ ම අයිතිකරුවෝ තවමත් මනු ලොව ජීවත් වන්නෝ ය. මේ එක් විමානයක් සද්ධාතිස්ස රජු වෙනුවෙන් ද, අනෙක් විමානය අනුරාධපුරයේ වෙසෙන තිස්ස නමැති සන්නාල තරුණයා වෙනුවෙන් ද පහළ වී තිබේ”.
රහතන් වහන්සේ මිනිස් ලොවට වැඩම කොට අනුරාධපුරයේ චාරිකාවේ යෙදෙන අතරතුර දී එම පුවත මිනිසුන්ට පැවසූහ. ඔවුහු ඒ පුවත සද්ධාතිස්ස රජතුමාට හෙළි කළේ ය. රජතුමා තිස්ස සන්නාලියා කැඳවා ඔහුගෙන් විස්තර විමසා, පැහැදී සියලු සැප සම්පත් සහිතව මාළිගාවක් ද, වස්ත්‍ර ද, මහා ධනය ද, ගම් නිදියක් ද ලබා දුන්නේ ය. එ පමණක් නොව ඔහු මහාදානපතියෙක් ලෙස නම් කළේ ය. එදා පටන් මේ තරුණයා සංඝයා වහන්සේ උදෙසා කැමැති කැමැති දේ පූජා කරමින් ජීවිතයට බොහෝ පින් රැස්කර ගත්තේ ය.
කලක් ගත විය. ඔහු මරණාසන්න විය. ස්වාමින් වහන්සේ ඔහු වෙත පැමිණ ධර්මය දේශනා කරමින් සිටින අතරතුර දී තිස්ස උඩ බලාගෙන ප්‍රලාඵ කියවන බව අවට සිටි පිරිස දුටුවේ ය.
”අනේ මේ තිස්ස බොහෝ සේ පින්දහම් කළ අයෙක් නේ. මව්පියන් පෝෂණය කරමින්, මහසඟ රුවනට දන් පූජා කරමින්, ගෞරව කරමින් උපස්ථාන කළ අයෙකි. එසේ පින් කළ මොහු මරණාසන්න මොහොතේ දී මෙසේ නන් දොඩවන්නේ කිනම් කරුණක් නිසා ද? අනේ මේ කිනම් වූ අභාග්‍යයක් ද? කියමින් මැසිවිලි කියන්නට වූහ.
”මම මේ නන් දොඩනවා යැයි නො සිතන්න. දිව්‍ය ලෝක හයේම දේවතාවුන් ඇවිත් මට ඉක්මණින් මනු ලොවින් තම තමන්ගේ දෙව් ලොවට එන ලෙස ආරාධනා කරයි. නමුත් ධර්ම දේශනාව අවසන් වනතුරු පැමිණිය නොහැකි බවයි මම කියා සිටියේ. මම මේ ජීවිතයේ දී බොහෝ සේ පින් කළ අයෙක් වෙමි. මා මේ ද්වීපයේ වෙසෙන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා කෙනෙක් වසන්නාවූ ද, උන්වහන්සේ උදෙසා තුන් වරක් තුන් සිවුරු පිදුවෙමි. දහස් වරක් පහන් දහස බැගින් දැල්ලුවෙමි. ධර්ම දේශනා දහසක් කෙරෙව්වෙමි. මී පැණි, ගිතෙල්, තලතෙල් පැණි හා ඖෂධ වර්ග බොහෝ වර පුජා කළෙමි. එවන් පින්කළ මම කුමටනම් නන් දොඩන්නේ ද? ත්‍රිවිධ රත්නය මුල් කරගෙන නොයෙක් කුසල් කළෙමි. බුද්ධ ශාසනය උදෙසා බොහෝ කුසල් සිදුකොට පී‍්‍රති වුණෙමි.
දැන් මට යාමට කාලය පැමිණ ඇත. රහතුන් වසන නගරයක් වැනි වූ තුසිත දෙව්ලොවෙහි නිතර ධර්ම කථා ඇසේ. ඒ මනරම් දෙව්ලොව පෙර අජිත නමින් විසූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ සිටින සේක. ඒ නිසා තුසිත දෙව්ලොව යමියි කියා ඒ දෙව්ලොවින් ආ රථයට ගොඩ විය.
යම් කෙනෙක් අකුසල් දුරලමින් නිරන්තරයෙන් කුසල් කරයි ද, ඔවුන් අපරිමිත සැප ලබා සුවසේ නිවන් සුවය ලබන්නේ ය.
- නයනා නිල්මිණි
බුදුසරණ පුවත්පත
උතුම් තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
ධර්ම දනය පිණිස බෙදා හරින්න.
මෙවැනි රසවත් කතා තවත් කියවීමට පිවිසෙන්න:
https://www.facebook.com/සම්මා-වායාම-Samma-Wayama-103159161435225/
Comments
Post a Comment