අනාත්ම සංඥාව වැඩීම පිණිස මෙය කමටහනක් වේවා


ප්‍රශ්නයක්:-
යමක් සිතින් සිහිකරනවා, සිහිවෙනවා කියන අවස්ථාවේදී කෙසේ දැක්ක යුතුද කියා පහදා දෙන්න.





පිළිතුර:-
එතැනදී අභිධර්ම පිටකයයේ විභඞ්ගප්පකරණයේ බොජ්‌ඣඞ්‌ගවිභඞ්ගය කියලා කොටසක් තියෙනවා. බොජ්‌ඣඞ්‌ග ධර්ම කියලා කියන්නේ බෝධි අංග ධර්ම කියන එක තමයි බොජ්‌ඣඞ්‌ග ධර්ම වෙලා තියෙන්නේ. බෝධි තුනක් තියෙනවා. සම්මා සම්බුද්ධ බෝධිය, පච්චේක බෝධිය, අරහන්තක බෝධිය කියලා. මේ තුන් බෝධියේ අංගයක් වූ ධර්මයන්ට බොජ්‌ඣඞ්‌ග ධර්ම කියලා කියනවා. ඔය බොජ්‌ඣඞ්‌ග ධර්ම වඩන තැනදි සති සම්බොජ්‌ඣඞ්‌ගය කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ.





"චිරකතම‍්පි, චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා". බොහෝ කල් සිට කිවුවා වූ, කළා වූ දේවල් සිහි කරන්න, මනාව සිහි කරන්න. "පරමෙන සති නෙපක‍්කෙන සමන‍්තාගතො හොති". උතුම් සිහි නුවණින් යුක්තව තමන් ජීවිතය පුරාවට කරපු දේවල්, කියපු දේවල් හොඳට සිහිකරගන්න කියනවා. ඒ සිහිකරන එකට තමයි කියන්නේ සති සම්බොජ්‌ඣඞ්‌ගය කියලා. "සො තථා සතො විහරන‍්තො තං ධම‍්මං පඤ‍්ඤාය විචීනති, පවිචීනති පවිචරති". ඒ කියන්නේ එයා ඒ මනා සිහි ඇතුව ඒ සිහිකරගත්ත අරමුණේ ඒ ධර්මය නුවණින් හොඳින් විමසනවා. ඒකට කියනවා ධම‍්මවිචයසම්‍බොජ‍්ඣඞ‍්ගය කියලා.





තමන් කළ කී දේ සිහිකර ගන්නවා.ඒ සිහිකර ගත්ත අරමුණේ මුලාවට පත්වෙන්නේ නැහැ.. ඒකයි "පරමෙන සති නෙපක‍්කෙන සමන‍්තාගතො හොති" කියලා උතුම් සිහි නුවණින් යුක්තවයි ඉන්නේ. අපි වගේ සිහිකරගෙන අඩන්නේ නැහැ. අපි වෙනදාට කරන්නේ "චිරකතම‍්පි, චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා" කියලා බොහෝ කල් සිට කිවුවා වූ, කළා වූ දේවල් සිහිකරගෙන සිහි මුලාවෙනවා. සිහිමුලා වෙලා අපරාදේ මම ඒක කිවුවේ, අපරාදේ මම ඒක කළේ, අපරාදේ මම බැන්නේ කිය කියා අපි පසුතැවෙනවා නේ. ඒ වෙනුවට තමන් කියපු කරපු දේවල් හොඳට සිහි කරගන්නවා. සිහිකරගෙන ඒ සිහිකර ගත්ත දේ හොඳට නුවණින් මෙනෙහි කරන්න කියනවා.





එහෙම මෙනෙහි කරන එකට ධම‍්මවිචයසම්‍බොජ‍්ඣඞ‍්ගය කියනවා. ඒ කියන්නේ අපි කියමු, යහළුවෙක් සිහිවුනා කියලා, යහළුවෙක් මට බැන්නා කියන තැනදී බැනුම් අහපු තමනුයි, බැන්න කෙනයි දෙන්නාම සිහිකරගෙන එතනද ආර්ය සුඤ්ඤතාවය මතුවෙන විදිහට "නිස‍්සත‍්තො නිජ‍්ජීවො සුඤ‍්ඤො" සත්ව. පුද්ගල ආත්මභාවයෙන් තොර සුඤ්ඤත සමාධිය මතුවෙන, ලෝකයේ සුඤ්ඤතභාවය මතුවෙන විදිහට අපි බලන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ හිතන්න පුළුවන්, සිහිකරන්න පුළුවන් පරිසරයක තව පුද්ගලයෙක්, තව සත්වයෙක්, තව කෙනෙක් එක්ක කරපු කටයුත්තක් තමයි හම්බවෙන්නේ. ඒ කියන්නේ තව අය, තව පුද්ගලයෝ ඉඳලා තියෙනවා.





ඒ වගේ වේලාවකදී අපි කියපු කරපු දේවල් සිහි කරනවා. සිහි කරලා, ඒ සිහිකර ගත්ත අරමුණෙ ඇත්ත ඇතිහැටිය හොඳට පෙන්නනවා.කොහොමද ඒක කරන්නේ? මට කෙනෙක් කියලා පෙනුනාට ඒ රූපය කනබොන ආහාරයෙන් හැදෙන සතර මහා ධාතුයිනේ කියලා පෙන්වනවා. එබඳු වූ කනබොන ආහාරයෙන් හැදුනු, සතර මහා ධාතු, කුණුප කොටස් ටිකකින් යුක්ත රූපයක් තමයි ඇස් ඉදිරිපිටට ආවා නම් ආවේ, එනවා නම් එන්නේ. එබඳු රූපයක් හම්බ වුනහම ඒ රූපය සත්ව පුද්ගලභාවයට පේන කෙලේසය යෙදුන හින්දා මම ඒ රූපය අත්තවාද උපාදානයෙන් උපාදාන කරලා නේද කියලා බලනවා.





අත්තවාද උපාදානය කියලා කියන්නේ මොකක්ද? රූපය ආත්මයක්, රූපය සත්වයෙක් හැටියට දකින, පෙන්වනකමට කියනවා අත්තවාද උපාදානය. 'රූපං අත‍්තතො සමනුපස‍්සති' - රූපයම ආත්මය වශයෙන් දකිනකම, 'අත‍්තනි වා රූපං' - රූපය ආත්මයට හිත එකක් කියලා දකිනකමට, 'රූපවන‍්තං වා අත‍්තානං' - ආත්මය රූපවත් එකක් හැටියට, 'රූපස‍්මිං වා අත‍්තානං' - රූපයේ ආත්මයක් තියෙනවා කියලා දකිනකමට තමයි කියන්නේ අත්තවාද උපාදානය කියලා. ඒ විදිහට පෙන්වන්න පුළුවන්කම කෙනා කෙනාගේ මනසේ තියෙන හැකියාවක්.





ඇස් ඉදිරිපිටට ආපු රූපය අත්තවාද උපාදානයෙන් උපාදාන කළහම, දැන් ඒ රූපය ඕගොල්ලොන්ට කෙනෙක්. ඊටපස්සේ අවිද්‍යාවේ අඩියටම ගිහිල්ලා අපි දෙවනුවට කෙනෙක් එක්කම ගනුදෙනු කරනවා. අපි මේ ගනුදෙනු කරන්නේ අපේම මනසත් එක්ක. අපේ මනසත් එක්ක කියලා කියන්නේ ඔක්කොම හිතේ කියන එක නෙමෙයි. ඒ කියන්නේ, ස්කන්ධ ටිකක් තියෙනවා - සත්ව පුද්ගල ආත්මභාවයෙන් සුඤ්ඤයි. ඒ අනාත්ම රූපයට අපිම පුද්ගලයෙක් හැටියට හිතලා දැන් අපි අපේ මනසේ ඡායාවටම මුවාවෙලා. අපේ ගාව තියෙන කෙලේසයේ ස්වභාවය තමයි හිතනවා නෙමෙයි, මේ විදිහට පෙනෙනකම.





අත්තවාද උපාදානය කියන එකේ ස්වභාවය තමයි හිතුවත්, නැතත් අරමුණක් පෙනෙන්නේ පුද්ගලයෙක් විදිහටයි, සත්වයෙක් විදිහට, කෙනෙක් හැටියටයි ඕගොල්ලොන්ට. එතකොට රූපය පුද්ගලභාවයට පෙනෙනකම, පෙන්වනකම අපේ මනසේ පැත්තේ තියෙන්නේ කියලා අපි හඳුනාගෙන නැහැ කවදාවත්ම. ඊටපස්සේ පෙනෙන දේ, සත්වයෙක් පුද්ගලයෙක් කියන තැනකින්ම අපි ගනුදෙනු කරනවා. ඒකටම රූපයත් ඒ විදිහටම සැකසිලා තියෙනවා. ඔය රූපවල තියෙනවා තව වෙනසක්. රූප ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා.





"උපාදින්න උපාදානීයා රූප හා අනුපාදින්න උපාදානීයා රූප" කියලා. දැන් මේ වගේ රූපයක් ගත්තොත් ( වටාපතක් පෙන්වමින්) මේ රූප වලට කියනවා "අනුපාදින්න උපාදානීයා රූප" කියලා. අනුපාදින්න කියලා කියන්නේ කර්මයෙන් සකස් නොවුණු උපාදානයට හිත රූපයක්. නමුත් තව තියෙනවා "උපාදින්න උපාදානීයා රූප" කියලා. කර්මයෙන් සක්ස් වෙච්ච උපාදානයට හිත රූප. මෙන්න මේ "උපාදින්න උපාදානීයා" රූපවල තමයි අපිට ආත්ම සංඥාව බැසගන්නේ. මේ රූප ටිකත් (සවිඤ්ඤාණක රූපයක් පෙන්වමින්) කර්මයට සකස් වෙලා තියෙන්නේ. සතර මහා ධාතුයි, සතර මහා ධාතු වුනාට මේ සතර මහා ධාතුව මේ විදිහට රාශිවෙලා තියෙන්නේ කර්මජ ගති ටිකක් නිසා.





කර්මයෙන් හටගත්ත, කර්මයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු රූපය තමයි අපිට හැම වෙලාවකදීම අත්තවාද උපාදානයට හිත. අපි අත්තවාද උපාදාන වශයෙන් ගන්න තැනක සතර මහා ධාතුවත්, ඒ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින විඤ්ඤාණය කියන ධර්මතාවයන් දෙකක් තියෙනවා. තව පැත්තකින් ගත්තොත් සතර මහා ධාතුවයි, විඤ්ඤාණ ධාතුවයි, අවකාශ ධාතුවයි කියලා අපි පුරුෂයෙක්, පුද්ගලයෙක් හැටියට දකින තැනක පවතින යථා ස්වභාවය හැටියට සය ධාතුවක් තමයි තියෙන්නේ. අපි මේ සය ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා පුද්ගල සංඥාවක් ඇතිකරගෙන පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස නිසා කථා කරනවා 'කවුද ඔතන ඉන්නේ කියලා'?.





එතනත් සය ධාතුවක් තියෙන්නේ. සතර මහා ධාතුවයි, විඤ්ඤාණ ධාතුවයි, අවකාශ ධාතුවයි තියෙන්නේ. එතැනත් අවිද්‍යාව තියෙයි. මේ ශබ්ද රූපය ස්පර්ශ වෙනකොට මේ ශබ්ද රූපය දැනගැනීමේ හැකියාව එතන තියෙනවා. එතන විඤ්ඤාණයෙන් ඒක දැනගෙන එතැන අවිද්‍යාව නිසා " ආ මේ මොනවා හරි ඇහුවා තමයි කියන අදහස ඇතුව මමයි මෙතන ඉන්නේ" කියනවා. එතකොට ඒ ශබ්දය මෙතැන සය ධාතුව තියෙන තැනක විඤ්ඤාණයෙන් දැනගන්නවා." ආ මේ මම කිවුව එකට උත්තර දුන්නා තමයි" මේ කියලා පුද්ගලභාවයෙන් තනියම හිතා ගන්නවා. ඊටපස්සේ "කවුද මමයි කියන්නේ කියලා" අහනවා. එතකොට මේ අවිද්‍යාව ඇතුලේ ගනුදෙනුවක් තියෙන්නේ.





ඒ හින්දා අපිට කෙනෙක් ඉන්නවාමයි, ඒකට උත්තර දෙන්නත් පුළුවන් ඒ හින්දමයි කියලා අපිට සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවාමයි කියන බව තහවුරු වෙන විදිහටයි තියෙන්නේ අවිද්‍යාව ඇතුලේ නිසා.නමුත් මෙතන වචන ඇහෙන බවත් ඒකට උත්තර දෙන බවත් ධර්මතාවයක්. පුද්ගලයෙක් හින්දා නෙමෙයි. ඕකට නිදසුනක් වශයෙන් ලංකාවේ නම් නැහැ, පිටරටවල වචනෙට වචනේ කියන රොබෝවරු ඉන්නවා. ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවොත්? මගේ නම විල්සන් කියලා කියන්න පුළුවන්. විල්සන් කොහේ ඉදන්ද ආවේ කියලා ඇහුවොත් ඒකට උත්තරේ කියයි. ඔයාට පුළුවන්ද මට මේ වැඩේ කරලා දෙන්න කියලා ඇහුවොත් , ආ මට පුළුවන් කියලා අහන අහන දේට උත්තර දෙන්න හැකියාව තියෙනවා.





සමහර හෝටල්වල ඉන්නේ රොබෝවරු. පෙනෙන දේ හඳුනාගෙන ඒකට හිතීම්, කීම්, කිරීම් කරන්න පුළුවන් ධර්මතාවයක් එතන තියෙනවා. හැබැයි සත්වයෙක්, පුද්ගලයෙක් නෙමෙයි. මේ කථා කරන දේ අහනවා, ඒ ශබ්ද සංඥාව අරගෙන ඒකට හිතීම්, කීම්, කිරීම් කරන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා. එහෙම ධර්මතාවයක් තිබුන පමණකින් ඒක කෙනෙක් නෙමෙයිනේ. රොබෝ කියන්නේ යකඩ කෑලි ටිකක් තියෙයි, වයර් කෑලි ටිකක් තියෙයි, ප්ලාස්ටික් ටිකක් තියෙයි.නමුත් ඒ පෙනෙන දේ, ඇහෙන දේ, ස්පර්ශවෙන දේ අරඹයා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ප්‍රතිචාර දක්වන්න පුළුවන් විද්‍යුත් ක්‍රමයක් හැදිලා තියෙනවා නේද?





ඒ වගේම මේ සවිඤ්ඤාණක කයේත් පෙනෙන දේ, ඇහෙන දේ අරඹයා ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා.නමුත් ඒ සිද්ධාන්තය අනාත්මයි. රොබෝටත් ඇහෙන ශබ්දය අරඹයා ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් බවක් තියෙනවා. හැබැයි අනාත්මයි. මේ ආත්ම සංඥාව ගෙවුනොත් ඕගොල්ලොන්ට සත්ව පුද්ගලභාවයෙන් තොරව ක්‍රියාකරන රොබෝ කෙනෙකුයි, සය ධාතුවකින් යුක්ත සවිඤ්ඤාණක කයේත් කිසිදු වෙනසක් දකින්නේ නැතිවෙයි. ඒ රොබෝ ක්‍රියා කරන්න යම් විද්‍යුතයක් ඕනෙනේ. අපි හැම කෙනෙකුගේම ශරීරයේ ආහාරපානයෙන් හදන වෝල්ට් 40ක විද්‍යුතයක් තියෙයි. එබඳු විද්‍යුතයක් නිසා තමයි මේ හැම ක්‍රියාවක්ම වෙන්නේ.





අපි මේ රොබෝ යන්ත්‍රයකින් සිද්ධවෙන ගනුදෙනුව දන්නේ නැතුව සත්ව පුද්ගලභාවයකින් බැඳුනහම කර්ම රැස්වෙනවා. මේ ඉන්න සත්වයාට බනින්න ඕනේ, ගහන්න ඕනේ මට මෙහෙම කිවුවා කියලා ඇලීම්, බැඳීම් තියෙන්නේ මේ පුද්ගල සංඥාව මත. මේ අනාත්ම ධර්මයක් ඇති තැනක අපි ආත්ම සංඥාවක් හදාගෙන තියෙන්නේ. ආත්ම සංඥාව ගෙවුනා කියලා පෙනෙන දේට හිතන්න, ඇහෙන දේට හිතන්න, ඒකට ප්‍රතිඋත්තර දෙන්න බැරි නැහැ. වචනෙට වචනෙට ප්‍රතිඋත්තර දෙන රොබෝලා දෙන්නෙක් ගන්න. ඒ රොබෝලා දෙන්නෙක් එකතු වුනහම කරන කතාවක් වගේ. ඇත්තටම යතාර්ථය ඒක. නමුත් මේ රොබෝට ඒ රොබෝ ගැනවත්, ඒ රොබෝට මේ රොබෝ ගැනවත් බැඳීමක් නැහැ.





පෙනෙන දේට උත්තර දෙනවා. ඇඟේ හැප්පෙන්න ගියොත් අයින් වෙයි. යමක් ගෙනත් දෙන්න කිවුවොත් ගෙනත් දෙයි. නමුත් කිසිවෙලාවක අනික් රොබෝ විනාශ වෙනකොට අර රොබෝට දුක එන විදිහේ සංයෝජනයක් ගොඩනැගිලා නැහැ. නමුත් ඒ දෙන්නාටම පැවැත්මක් තියෙනවා. මේ කෙලෙස් අඩු වුනහම රොබෝ කෙනෙක් වගේ රළු කර්කශ පැවැත්මක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා බ්‍රහ්ම විහරණ මතුවෙනවා. අනුකම්පාව, දයාව කියන එක ඇතිවෙනවා. හැබයි එයද මේ සත්ව පුද්ගලභාවයෙන් දුක් විඳිනකම අයින් කරලා දෙන්න ඕනේ කියන තැනකින් මිසක අපි වගේ ඇලීමකින් ඇතිකර ගත්ත බැඳීමකින් ගනුදෙනු කරන්නේ නැහැ,





අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් 07.04.2019 දින සිදු කල දේශනාවක් ඇසුරෙන්.
සම්පුර්ණ දේශනාව ශ්‍රවණයට
https://www.mediafire.com/file/tlwx6h3wap7kdo6/Basawakkulama_07.04.2019_Q%26A.m4a/file


Comments