රූපය පෙණපිඩක්, වේදනාව දියබුබුළක්, සංඥාව මිරිඟුවක්, සංස්කාර කෙසෙල් කඳක්, විඥානය මායාවක්






මහණෙනි, රූපය පෙණ පිඩක් බදුය,වේදනාව දිය බුබුලක් බදුය,සංඥාව මිරිගුවක් බදුය,සංඛාර කෙසෙල් කඳක් බදුය,විඤ්ඤානය මායාවක් බදුය යන්න දකින ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනයෙහි ද කලකිරෙයි, සංඥායෙහි ද කලකිරෙයි, සංස්කාරයෙහි ද කලකිරෙයි, විඥානයෙහි ද කලකිරෙයි.කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (පස් කඳෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්‍රත්‍යුවෙක්ෂා ඥානය) වෙයි. ජාතික්ෂය විය. මහබඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
(1) රූපය පෙණපිඩක් වැන්න, වේදනාව දියබුබුළක් වැන්න, සංඥාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳක් වැන්න, විඥානය මායාවක් වැන්නැ යි ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී.
(2) යමෙක් එය නුවණින් දකී ද, යම් යම් පරිද්දෙන් එය සිතා ද, නුවණින් පිරික්සා ද, එපරිද්දෙන් හිස් වූවක් බොල් වූවක් වෙයි.
(3) බුදුරජාණන් වහන්සේ විසින් ගැරහිය යුතු කොට දේශිත, (ආයු ආදී) දහම් තුනෙක ප්‍රහාණය ඇති, සොහොනෙහි දමන ලද රුපස්කන්ධ සංඛ්‍යාත මේ කාය යමෙක් දක්නේ ද,
(4) ආයුෂත් (ජිවිතෙන්ද්‍රියත්) උණුසුමත් (කර්මජතේජෝධාතුවත්) විඥානයත් යම් කලෙක මේ කය හර දමා ද, එ කල්හි බැහැර කරණ ලද්දේ (කෘමිගණාදි) මෙරමා හට බත් ව අචේතන ව හොවී යි (දකියි)
(5) (මළහු පිළිබඳ) මේ ප්‍රවේණිය (ක්‍රියාවලිය) මෙ බඳු ය. මේ විඥානය බාලයන් ලවා මැනැවැ යි කියවන මායවෙකි. තෙල ස්කන්ධ (ඔවුනොවුන් නසාලන අර්ථයෙන්) වධයෙකැ යි පවසන ලදී. මෙහි හරයෙක් නැති.
(6) ඇරැඹූ වෙර ඇති මහණ ඉඳින් දහවල් හෝ රැය හෝ මනා නුවණ ඇත්තේ එළඹ සිටි සිහි ඇත්තේ ස්කන්ධයන් මෙසේ බලන්නේ යි.
(7) අච්‍යුත සඞ්ඛ්‍යාත නිවන පතනුයේ සියලු සංයෝජන දුරු කරන්නේ යැ, තමහට පිහිටක් කර ගන්නේ යැ, හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ යි.






Comments