දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ තමන් විසින් කළ කුසල අකුසල කර්ම, එය කළ වර්තමාන ස්කන්ධ පර්ම්පරාවටම විපාක දීමයි.
තවත් විදිහකට කිවහොත් මේ ආත්ම ආත්මභාවයේ දී කළ කුසල අකුසල කර්ම, මේ ආත්ම භාවයේදීම විපාක දීම දිට්ඨධම්මවේදනීය කර්මය වේ.
චිත්ත වීථියක ජවන් සිත් හතක් තිබේ. එයින් පළවෙනි ජවන් සිතට විපාක දිය හැක්කේ ඒ කර්මය කරගත් මේ ජීවිත කාළයට පමණි. එයට හේතුව පළවෙනි ජවන් සිත අනෙක් ජවන් සිත් වල ආසේවන ප්‍රත්‍ය නොලැබූ නිසා ය. මේ ජවන් සිතට ප්‍රතිසන්ධියක් ලබා දිය නොහැක. ලබා දිය හැක්කේ මේ ජීවත්වන භවයේදීම ප්‍රවෘත්ති විපාක පමණ ය. යම් හෙයකින් ප්‍රවෘති විපාක නොදුනහොත් එය අහෝසි කර්මයක් වේ.
දිට්ඨධම්මවේදනීය කර්මය වන්නේ, ජවන් සිත් හතෙන් පළවෙනි ජවන් සිතට ලැබෙන ප්‍රවෘත්ති විපාක වේ. උපපජ්ජවේදනීය කර්මය වන්නේ හත්වැනි ජවන් සිතට ලැබෙන විපාකය යි. අපරාපරිය වේදනීය කර්ම වන්නේ මැද ජවන් සිත් පහට ලැබෙන විපාකය යි.
දිට්ඨධම්මවේදනීය කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
1. කුසල දිට්ඨධම්ම වේදනීය කර්මය.
2. අකුසල දිට්ඨධම්මවේදනීය කර්මය.
කුසල දිට්ඨධම්ම වේදනීය කර්මයක් මහත්ඵල මහානිසංස විපාක ලබා දීමට කරුණු හතරක් සම්පූර්ණ විය යුතු ය.
1. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නමක් ලැබීම.
2. ධාර්මික දාන වස්තුවක් ලැබීම.
3. ප්‍රතිග්‍රාහකයන් වහන්සේ එම දවසේම නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම.
4. දායක පින්වතුන් ද පූර්ව චේතනාව, මුඤ්චන චේතනාව, අපර චේතනාවන්ගෙන් පිරිසිදු වූ සම්පූර්ණ වූ සද්ධා, වීර්‍ය්‍ය, ප්‍රඥාවන්ගෙන් යුක්ත වීම.
මේ දිට්ඨධම්මවේදනීය කර්මය ඉඩක් ලැබුනොත් ඒ භවයේදී ම විපාක දෙයි. ඉඩක් නොලැබුණොත් අහෝසි වී යයි. දිට්ඨධම්ම වේදනීය කුසල කර්මය මහත්ඵල ලෙස විපාක දුන් අවස්ථා කිහිපයක් පහත දක්වමි.
රජගහ නුවර සිටි කාකවලිය නම් දුප්පත් තැනැත්තාගේ බිරිඳ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට ඇඹුල් කැද පූජා කර එහි ආනිශංස ලෙස දින හතකට පසු නිධානයක් පහළ වී කාකවලිය නම් මහා සිටු තුමා විය.
පූර්ණික නම් දුගියා ඔහුගේ බිරිඳත් සමඟ සැරියුත් මහ රහතන් වහන්සේට දැහැටි දඬු, පැන් සහ බත් පූජා කර එහි ආනිසංස ලෙස රත්තරන් නිධානයක් පහළ වී බහුධන සිටුතුමා ලෙස සිටු තනතුරු ලැබිය. ඔවුන් දෙපළ සහ ඔවුන්ගේ උත්තරා නම් දියණිය ද ධර්ම ශ්‍රවණය කළ සෝවාන් මාර්ගයටද පත්විය.
මේ දිට්ඨධම්ම වේදනීය අකුසල කර්මය විපාක දුන් අවස්ථා කිහිපයක් මෙසේයි.
චිංචිමානවිකාව බුදුරජාණන් වහන්සේ ඉදිරියට දර මිටියක් බැඳගෙන විත් අපහාස කිරීමේ අකුසලය ඒ මොහොතේම විපාක දුන්නේ ඇය එතනින් සුළු දුරක් ඉදිරියට ආපසු, පණ පිටින්ම අවීචි මහා නරකාදියට ඇද වැටීමෙනි.
යසෝදරා දේවියගේ පියා වූ සුප්පබුද්ධ ශාක්‍ය රජතුමාද බුදුරජාණන් වහන්සේට නිකරුණේ දොස් කියමින්, පිණ්ඩපාතයේ වැඩම කරන්නට ඉඩ නොදී, මඟ අවුරාගෙන සිටීමේ අකුසල කර්මය නිසා, ඉන් දින හතකට පසු තමාගේ මාලිගාවේ යට මාළයේ පඩිපෙළ පාමුල පොළොව පළාගෙන පනපිටින් නිරයට ගියේ ය.
දෙව්දත් තෙරුන් නිරයෙහි ඉපදුනේ ද දිට්ඨධම්මවේදනීය අකුසල විපාක ශක්තියෙනි.
කෝකාලික තෙරුන් ද, නන්ද නම් ගව ඝාතකයාද, සැරියුත් තෙරුන්ගේ හිසට පහරක් ගැසූ නන්ද නම් යක්ෂයා ද, උප්පලවන්නා තෙරණිය දූෂණය කළ නන්ද නම් මානවකයා ද පණ පිටින් අපායට ගියේ දිට්ඨධම්මවේදනීය අකුසල කර්ම නිසා ය.
ඉහත සඳහන් කළේ දිට්ඨධම්ම වේදනීය බරපතළ කුසලාකුසල කර්ම ගැනයි. නමුත් සෑම චිත්ත වීථියක ම පළවෙනි ජවන් සිතට දිට්ඨධම්මවේදනීය විපාකය ලැබෙයි. එම කර්මය ජීවත්ව සිටියදී විපාක දෙන්නට අවස්ථාව නොලැබුණහොත් අහෝසි කර්මයක් වෙයි.
*Buddhist Life ☸️*
Comments
Post a Comment